ආදරය නෑ එකවගේ

ආදරය නෑ එකවගේ

තරුණ සිත්සතන්හි පිළිසිඳ ගන්නා ආදර සිතුවිලි ප්‍රේම සම්බන්ධයක් දක්වා දුර දිග ගිය කල තරුණ තරුණියන් ඒ මිහිරිතම අත්දැකීම විඳගන්නේ ප්‍රීතියෙනි. “අපේ ආදරය ලෝකෙ කිසිම පෙම්වතුන් යුවළකට සමාන නොවන තරමට සුවිශේෂියි” කියා නොසිතනා පෙම් යුවළක් මිහිපිට නොමැති තරම් ය. එහෙත්, ආදරය පිළිබඳ නිරන්තරයෙන් විද්‍යාත්මක පර්යේෂණවල නියැළෙන පිරිස දරන්නේ එයට හාත්පසින්ම වෙනස් වූ අදහසකි.

සෑම පෙම්වතුන් යුවළක්ම ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයේදී අවේණික ලක්ෂණ පෙන්නුම් කරන බව සත්‍යයකි. එහෙත්, එම ආවේණික ලක්ෂණ ලෝකයේ කොතැනක සිටින පෙම් යුවළකට වුවත් ආදේශ විය හැකි බවත් ලෝකයේ පෙම්වතුන් යුවළවල් ප්‍රධාන වශයෙන් කාණ්ඩ හයකට වර්ග කළ හැකි බවත් මිනිස් සබඳතා පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයෝ පවසති.

මිනිස් සබඳතා පිළිබඳ විද්‍යාත්මක උපදේශකයෙකු වන වෝල් සැම්ප්සන් පවසන ආකාරයට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යාමේදී අදාළ යුවළගේ කුඩා කාලයේ අත්දැකීම්වල ප්‍රබල බලපෑමක් තිබේ.

“ඕනෑම ආදරවන්තයන් යුවළක් අලුතින් ප්‍රේම සම්බන්ධයක් පටන් ගනිද්දී හිතන්නෙ ජීවිතේ අලුත් පිටුවක් පෙරලුනා. ඒක අපි අලුත්ම විදියකට විඳිනවා කියලා තමයි. ඒත් අපි පුංචි කාලේදී අපේ අවට සිදුවන දේවල් ඉතාම තදින් හිතට කා වැදෙනවා.

පසුකාලීනව අපේ ආදර ජීවිතයට එය සෘජුවම බලපෑම් කරනවා. උදාහරණයක් ලෙස ඔබේ මව දිනපතා පියාට වඳින කෙනෙක් නම් ඔබ ඔබේ පෙම්වතිය හෝ බිරියගෙන් එම දෙය බලාපොරොත්තු වීම ඉතාම ස්වභාවිකයි.

ඔබේ මවුපියන් බොහොම ආදරණීයව හොඳ සන්නිවේදනයකින් ඔවුන්ගේ ආදරය පවත්වා ගන්න දෙදෙනෙක් නම් ඔබත් එවැනි ආදරයකට අනිවාර්යයෙන්ම ප්‍රිය කරනවා. අහිතකර මානසික බලපෑම් පවා ඔබේ ප්‍රේම සම්බන්ධය කවර කාණ්ඩයකට අයත් එකක්ද කියා අවබෝධ කර ගැනීම වටිනවා”වෝල් සැම්ප්සන් කියා සිටියි.

ඔහුට අනුව ලෝකයේ ප්‍රේම සබඳතා වර්ග හය මෙලෙස කාණ්ඩ ගත කිරීමට හැකිය.

1. Cat and Dog බළලකු සහ බල්ලෙකු වැනි ප්‍රේමය

2. Thrill of the chase ලුහුබැඳීමේ සතුට රැඳි ප්‍රේමය

3. pareat and child මව්පිය දූදරු ප්‍රේමය

4. Idol and fan තරුවක් සහ රසිකයෙකු අතර ප්‍රේමය

5. Babes in the Wood හොඳම යහළුවන් අතර ප්‍රේමය

6. The Grown ups වැඩිහිටි ප්‍රේමය

1. Cat and Dog බළලෙකු හා බල්ලෙකු අතර වැනි ප්‍රේමය

මේ නම් ඇසෙද්දී සිහිපත් වන්නා සේම මෙවැනි පෙම්වතුන් යුවළක් නිරන්තරයෙන්ම එකිනෙකා සමඟ රණ්ඩු ඇතිකර ගනී. එය පෞද්ගලිකව ඔවුන් දෙදෙනාට පමණක් සීමා වන අවස්ථා මෙන්ම ප්‍රසිද්ධියේ සිදුවන අවස්ථා ද සුලබ ය. මෙවැනි යුවළක් ඔබ ඉදිරියේ රණ්ඩු කරද්දී “ඇයි ඔබලා මේ විදියට රණ්ඩු කරන්නෙ?” කියලා ඇහුවොත් “ඔබට පිස්සුද?” කියා ඔවුන් ඔබෙන් අසාවි. ඒ ගැන පුදුම විය යුතු නැහැ. ඒ තමයි ඔවුන්ගේ ආදරය. මනෝචිකිත්සකවරයෙකු වන එච්. සැමුවෙල් කියා සිටියි. මෙවැනි ප්‍රේම සම්බන්ධයකදී පෙම්වතා සහ පෙම්වතිය එකිනෙකාට ආකර්ෂණය වන්නේ දෙදෙනා තුළ පවතින රණ්ඩු කිරීමේ හැකියාවටම ය. ඔවුන් අතිශය සරාගී පෙම්වතුන් යුවළක් ලෙසද කැපී පෙනෙයි.

“වැරැදිලාවත් මේ වර්ගයේ පෙම්වතෙකු හෝ පෙම්වතියක් කිසියම් රැවටීමක් කිරීමට උත්සහ කළොත් ඒ තමයි මෙවැනි සබඳතාවක උච්චතම ගැටුම් අවස්ථාව. එතකොට ඇතිවන ගැටුම ඇත්තෙන්ම අනාරක්ෂිතයි. ඒ වගේම සම්බන්ධය බිඳී යන්නෙ හොඳටම නරක විදියකට වෙන්නත් පුළුවන්.” මනෝ වෛද්‍ය සුසන් කසුලියම් කියා සිටියි. එසේම එවැනි සබඳතාවකට කදිම උදාහරණයක් ලෙස ඇය සුපිරි නිළි එළිසබෙත් ටේලර් සහ රිචඩ් බර්ටන් අතර ප්‍රේමය පෙන්වා දෙයි.

2. Thrill of Chase ලුහුබැඳීමේ සතුට රැඳි ප්‍රේමය

එකිනෙකා ලුහුබඳිමින් පෙම් කිරීම මේ වර්ගයේ පෙම්වතුන්ගේ සිරිතයි. ඔවුන් එකිනෙකාගේ අවධානය සහ ආකර්ෂණය තමන් වෙත රඳවා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවේ. මෙවැනි පෙම්වතුන් එකිනෙකා ගැන හොඳටම දැනුවත්. එක්කෙනෙක් අනිත් කෙනා ගැන යම් පසුබෑමකින් හිතුවත් එය ඔවුන්ට දැනෙනවා. ඒ නිසාම ඒ ඇපැහැදිලිතා මඟහරවා ගැනීමේ හොඳම විසඳුම පවා ඔවුන් දන්න නිසා ගැටලු ඇතිවීම ඉතාම අඩුයි. අවශ්‍ය ඕනෑම මොහොතක ඔවුන් එකිනෙකා වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම දුර්වල අවස්ථාවක තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය මත යැපීමට ලැබීම මෙවැනි පෙම්වත් යුවළකට හිමිවන වාසනාවක්. ලෝකයම වසඟ කළ සේවිඩ් බෙකම් සහ වික්ටෝරියා බෙකම් එවැනි ප්‍රේමයක ජීවමාන උදාහරණ වෙනවා.” සුසන් ක්‍යුලියම් කියා සිටින්නීය.

3. parent and child මව්පිය දූදරුවන් අතර වැනි ප්‍රේමය

“මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. ඒ මම කසාඳ බැඳපු මහත්තයාත් එක්ක” මේ වර්ගයේ පෙම්තියත්, බිරියත් එහෙම කියන්නෙ තමන්ගෙ සහකරු ගැන හැබෑම සෙනෙහසකින්. ඔවුන් තම සහකරු පෝෂණය කිරීම, රැක බලා ගැනීම තම වගකීමක් ලෙස සලකනවා. “අපි විනාඩියකින් පිටත්වෙනවා. ඔයා කෝට් එක ගත්තද ?” මෙවැනි සබඳතාවකදී එවැනි දෙබස් ඉතා සුලබයි” මෙතැනදී මවුපියන් මෙන් හැසිරෙන කෙනා බොහෝ පරිස්සම් විය යුතුයි. මොකද ? දරුවෙකු මෙන් රැකබලා ගන්නා ඔබේ සහකරු හෝ සහකාරිය අනවශ්‍ය ලෙස ඔවුන් වෙත ඔබ දක්වන සැලකිල්ලට කැමැති නොවීමට පුළුවන්. ඒ වගේම ඔබේ දයාබරිතබව ඔවුන්ගේ සිත ආදරයෙන් පුරවන්නත් පුළුවන්. ඒ නිසා සැලකිලිමත් වන්න. සූසන් ක්‍යුලියම් මෙවැනි සබඳතා පිළිබඳ දක්වන්නේ එවැනි අදහසකි. සුප්‍රකට දේශපාලන චරිතයක් වන නීල් හැමිල්ටන් සහ ක්‍රිස්ටීන් හැමිල්ටන් මෙවැනි ප්‍රේමයකට උදාහරණ වෙයි.

4. Idol and fan තරු රසික ප්‍රේමය

මේ වගේ පෙම්වතුන්ට හැමදේම පේන්නෙ කළු සහ සුදු ලෙසටයි. මෙහිදී එක් පුද්ගලයෙකු විශිෂ්ට ලෙස පිළිගැනෙනවා. අනෙක් සහකරු හෝ සහකාරිය එම පුද්ගලයා කරන කියන හැම දෙයක්ම දේවත්වයෙන් අදහනවා. සමහරවිට ආදරවන්තයන් දෙදෙනාම එකසේ දක්ෂ, හැකියා පූර්ණ අය වීමට පුළුවන්. එහෙත්, තරුවක් ලෙස සලකා උමතුවෙන් මෙන් තම සහකරු හෝ සහකාරියට පෙම් බඳින මේ පිරිසට එය එතරම් වැදගත් නැහැ. ඔවුන් අදහන්නේ තමා ජීවත්වන්නේ තම ආදරයේ පිහිටෙන් බවයි. මෙවැනි පෙම් සබඳතා බිඳී යාමේ ඉඩකඩ වැඩියි. මොකද යම් අවස්ථාවක තම තරුවෙන් නිවැරැදි ආදරයක් හෝ අවධානයක් නොලැබුණු තැන රසිකයෙකු ලෙස බැඳී ප්‍රේමය ගිලිහී යාමට පුළුවන්” සූසන් කියා සිටින්නීය. ඇය කැතී ගෝමිස් සහ ටොම්කෘස් අතර ප්‍රේමය වර්ගීකරණය කරන්නේ මේ කාණ්ඩයටයි. “කැතී ටොම්ගේ පෝස්ටරයක් කාමරේ ගහගෙන ඔහුට ආදරය කළ පොඩි කෙල්ලක්. තවමත් ඒ ප්‍රේමයේ ඊට වඩා වෙනසක් නැහැ. සුසන් කියන්නීය.

5. Babes in the wood හොඳම යහළුවෙකුගේ වැනි ප්‍රේමය

මෙවැනි පෙම්වතුන් තමන්ගේ සියලුම දේ බෙදා හදා ගැනීමට කැමැතියි. එය අදහස්, විනෝදාංශ මෙන්ම ඇඳුම් වුවද විය හැකියි” මෙවැනි පෙම්වතුන් දෙදෙනෙකුව සිටියත් බොහෝ සමාන අදහස් ඇති අයයි. ඔවුන්ට ඔවුනොවුන් තේරුම් ගැනීම බොහොම පහසුයි. උදාහරණයක් ලෙස එක් අයෙකුට ඇති අමිහිර අතීත මතකයක් යළි කවදාවත් ඇයට හෝ ඔහුට නොදැනෙන තරමට ආදරය කිරීමට මෙවැනි අය සැලකිලිමත් වෙනවා. ඔවුන්ගේ අදරය ඉතාම ශක්තිමත්. ඒ වගේම සුන්දරයි. පුංචි ගැටලුවකට තියෙන්නේ ඔවුන් කැමැති නැහැ. ඔවුන්ගේ ලෝකයේ ඉඩකඩ තවත් අය වෙනුවෙන් වෙන් කරලා දෙන්න. ඒ කියන්නේ යහලු යෙහෙළියන් හෝ ඔවුන්ගේම දරුවන් පවා ඔවුන්ගේ ලෝකයට පැමිණීම මෙවැනි අයට ගැටලුවක් විය හැකියි. ඒ නිසාම සෑම බාහිර සබඳතාවක් තුළම ඔවුන් දෙදෙනා ඔවුන්ටම ආවේණික ලෝකයක අවශ්‍යතාව දකිනවා. එය දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධය තුළ සාර්ථක කර ගත හැකි තත්ත්වයක්” සුසන් අවධාරණයෙන් කියන්නීය. ඇය මෙවැනි යුවළකට උදාහරණ කොට දක්වන්නේ කේට් මොස් සහ ජෙමී හීනස්ගේ ප්‍රේමයයි.

6. The Grownups වැඩිහිටි ප්‍රේමය

මෙවැනි යුවළක් සිය නොගැලපීම්, සමාන අදහස් නොතිබීම් ආදිය බුද්ධියෙන් ඉවසන පරිනත පෙම්වතුන් කොටසක් ලෙස දැක්විය හැකිය. “ඔවුන් සංවේදියි. ඒ වගේම එකිනෙකාට උදව්කර ගන්නවා.” සුසන් ක්‍යුලියම් කියා සිටින්නීය. මෙවැනි අය බොහෝවිට හැඟීම්වලට වඩා බුද්ධියට තැනදෙන පිරිසක්. ඒ වගේම ඔවුන් කිසිම විටෙක අසුබවාදී වෙන්නෙ නැහැ. එවැනි අයගේ ආදරය විරහ ගින්නෙන් දැනෙන්නෙ බොහොම කලාතුරකින්. සුසන් ක්‍යුලියම් කියා සිටින්නීය. දිගු කාලීන පෙම්පුවතකට හිමිකම් කියූ පෝල් නිව්මෑන් සහ ජොඇනා වුඩිවර්ඩ් අය මෙවැනි ප්‍රේමයකට උදාහරණ ලෙස ගෙනහැර දැක්වයි.

ආදරය ජය ගැනීම සෑම පෙම්වතියකගේම පෙම්වතෙකුගේම සිහිනය බවට සැක නැත. එකිනෙකා පිළිබඳ අවබෝධය මෙන්ම ප්‍රේම සම්බන්ධයේ මමෝවිද්‍යාත්මක ගැලපීමද වැදගත් වන්නේ ඒ අසීරු එහෙත්, අපූරු අභියෝගය ජයගැනීම පිණිසමය.