වි ශි ෂ් ට ය කු ගේ ඡා යා රූ ප ම ත ක ය

වි ශි ෂ් ට ය කු ගේ ඡා යා රූ ප ම ත ක ය

සුදු කළු භේදයට එරෙහි වූ රත්රන් මිනිසා

ජෙසී ඔවන්ස්

ඔලිම්පික් උළෙලකදී දක්ෂතම ක්‍රීඩකයා වීමට හැකි වීම ඔහුගේ නම ඉතිහාසය පුරාම රන් අකුරින් ලියවීමට හේතුවකි. එහෙත් ජෙසී ඔවන්ස්්ගේ නම අමරණීය වී ඇත්තේ 1936 පැවැති ඔලිම්පික් උළෙලේ දී අති සාර්ථකම ක්‍රීඩකයා බවට පත්වීම නිසා පමණක්ම නොවෙයි.

ඇඩොල්ෆ් හිට්ලර් නම් ජාතිවාදයෙන් හිස උදුම්මාගෙන සිටි දරුණු පාලකයාටත්, කළු ජාතිකයන් කොන් කළ සුදු ජාතිකයන්ටත් ඔහුගෙන් මරු පහරක් වැදුණු නිසයි. ඔහු ඔවුනට පහර දුන්නේ තම ක්‍රීඩා කුසලතාවෙනි.

1936 ඔලිම්පික් උළෙල හැඳින් වූයේ ‘හිට්ලර් ඔලිම්පික් උළෙල’ ලෙසයි. හිට්ලර්ට අවශ්‍ය වූයේ නාසිවරුන් ක්‍රීඩාවෙන් ද විශිෂ්ටයන් බව ලොවට පෙන්වීමටයි.

එහෙත් මේ අමෙරිකානු - අප්‍රිකානු ජාතිකයා කළු සමක් ඇති මිනිසුන් අඩු ජාතියක් නොවන බව ලොවටම කියා පෑවේය.

අවසානයේදී හිට්ලර් පවා ඔහු වෙනුවෙන් ජය ඝෝෂ නඟා ඇත. සෑම ජර්මානු යෞවනයකුම, යෞවනියකම ඔහුගෙන් අත්සනක් සිය සමරු පොතට ලබා ගැනීමට පොර කෑහ.

ජෙසී මීටර් සියය, මීටර් දෙසීය, දුර පැනීම, යාර 400 සහය දිවීම යන තරග අංශ හතරෙන්ම රන් පදක්කම් හිමි කර ගත්තේ එවැනි ජයක් ලැබූ ප්‍රථම අමෙරිකානුවා බවට පත් වෙමිනි.

ලොව ඉහළම ක්‍රීඩා තරගයෙන් ජය පිට ජය ලබා පැමිණි ජෙසී, සිය පවුල දිනෙන් දින දරිද්‍රතාවේ පත්ලටම ඇද වැටෙන ආකාරය දුටුවේය.

එනිසාම උසස් අධ්‍යාපනය හැර දැමූ ඔහු 1948 දක්වාම පවුලේ ආර්ථිකය සවිමත් කිරීමට නොගත් වෙහෙසක් නැත.

ජෙසීගේ උපන් නම ජේම්ස් ක්ලෙව්ලන්ඩ් ඕවන්ස්ය. හෙන්රි හා එමා ඔහුගේ මවුපියන්ය. සීයා වහළෙකි. ජෙසී ලෙස හැඳින් වූ ඔහු එකොළොස් දෙනකුගෙන් යුත් පවුලේ හත්වැනියා විය. සුවිශාල පවුලකට ජීවත්වීම සඳහා ගොවිතැනින් ලැබුණු මුදල කොහෙත්ම ප්‍රමාණවත් නොවීය.

එනිසා ජේ. සී. ට උපතේ සිටම දුප්පත්කම නුහුරු නුපුරුදු අත්දැකීමක් වූයේ නැත. ඔහු මුලින්ම අකුරු කළේ එක් පන්ති කාමරයක් තිබූ පාසලකිනි. විවේක කාලයේදී ඔහු ගොවිපල වටා දිව්වේ, දිවීමට තිබූ දැඩි ඇල්ම නිසාමය.

ජෙසීගේ එක් සොයුරියක් ඔහියෝ නුවරට පැමිණියාය. ඇය එහි ජීවත්වීම වඩාත් පහසු බව පවුලේ අයට ලියා දැන් වූවාය. ඔවන්ස් පවුලම ඔහියා පදිංචියට පැමිණියහ. ජේම්ස්ට වඩාත් හොඳ පාසලකට යාමට අවස්ථාව උදා විය.

මුල්ම දිනයේ ගුරුවරයා ජේම්ස්ගෙන් නම ඇසුවේය. ඔහු ජේ. සී. කීවේය. එය ගුරුවරයාට ඇසුණේ ජෙසී ලෙසයි. ඉන් පසු කවුරුත් ඔහු ඇමතුවේ ජෙසී ලෙසිනි.

දිනක් ජිම්නාස්ටික් පුහුණුකරු පන්තියේ දරුවන්ගේ දිවීමේ වේගය බලා ගැනීමට අවශ්‍ය වූ අතර දරුවන්ට දුවන්නට අවස්ථාව උදා කර දුන්නේය. ඔහු ජෙසීගේ හැකියාව දැක මවිතයට පත් විය.

චාල්ස් රයිලේ පුහුණුකරු ජෙසීට මුණ ගැසුණේ ඉන් පසුවයි. ඔහු ජෙසීගේ ධාවන හැකියාව වාගේම උස පැනීමේ හැකියාව ද හඳුනා ගත්තේය.

ජෙසී ක්‍රීඩා තරුවක් බවට පත් වුණේ ක්ලේඩිලන්ඩ් තාක්ෂණික පාසලේ ඉගෙනුම ලබද්දී පිහිට වූ වාර්තා නිසාය.

 ඔහු යාර 100, තත්පර 9.4 කින් නිමා කරමින් පිහිට වූ වාර්තාව ඒ පාසල සතු එකම විශිෂ්ට වාර්තාව ද වෙයි.

කොතරම් කුසලතා දැක් වුව ද ජෙසීට ශිෂ්‍යත්වයක් හෝ නොලැබුණි. ඔහු ඔහියෝ පාසලට ඇතුළු වී අධ්‍යාපනය ලැබුවේ සුළු සුළු රැකියාවල නිරත වෙමින් මුදල් උපයමිනි.

ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නැං වූ පසුව ද ඔහුට සවිමත් ආර්ථියක් ගොඩ නගා ගැනීමට හැකි නොවුණි.

‘ඔලිම්පික් රන් පදක්කම් හතරක් ලැබුණා තමයි. ඒවා කෑමට ගන්න පුළුවන් ද?’ වරක් ඔහු ඇසුවේය. පසුකාලීනව ඔහු විවිධ ව්‍යාපාර ඇරැඹුවේය.

ජෙසීගේ කළු සමට අමෙරිකානු රජයෙන් ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. ඔහුගේ ජයග්‍රහණයට එවකට අමෙරිකානු ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගෙන් සුබපැතුම් පතා විදුලි පණිවුඩයක්වත් ලැබුණේ නැත.

එහෙත් හිට්ලර්ගෙන් ඕවන්ට, හිට්ලර් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සමඟ සිටින ඡායාරූපයක් එවා තිබුණි.

මවු බිමට පැමිණි ජෙසීට ධවල මන්දිරයට පැමිණීමට ජනපතිගෙන් ආරාධනයක් නොලැබුණේය.

එහෙත් ඔහුගේ ජයග්‍රහණයෙන් හතළිස් වසරකට පසු ජෙරල්ඩ් ෆෝඩ් ජනපති ඔහුට පුරවැසියකුට දෙන විශිෂ්ටතම සම්මානයක් වූ නිදහසේ සම්මානය ධවල මන්දිරයේදී පිරිනැමුවේය.

ජිමී කාටර් ජනපති ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජෙසී ඔවන්ස් නමින් අන්තර් ජාතික ශූරතා තරගාවලියක් ඇරැඹුවේය.

ආධුනික ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට ජෙසී නිරන්තරයෙන්ම අත්වැලක් විය. ජර්මානුවන් ජෙසීව අමතක නොකළේ බර්ලින් නුවර ඔහු නමින් මාවතක් නම් කරමිනි.

පුරා තිස් පස් වසරක් පුරා දුම් පානය කළ ජෙසී, ඒ නරක පුරුද්ද නිසාම පෙනහලු පිළිකාවකට ගොදුරු වී 1980 මාර්තුª 31 වැනි දින මිය ගියේය.

ජෙසී විවාහ වී සිටියේ ක්ලේව්ලන්ඩ් කනිෂ්ඨ පාසලේදී හමු වූ මිනී රුත් සොලොමන් සමඟයි. 1932 දී ඔවුන්ගේ පළමු දියණිය ඉපදුණි.

1935 දී විවාහ වීමෙන් පසු තවත් දියණියන් දෙදෙනකු ඔවුන්ගේ කැදැල්ලට එක් ෂය. සර්වකාලීන විශිෂ්ට ක්‍රීඩක ජෙසී, වර්ණභේදය තුරන් කිරීමට, සමානාත්මය ඇති කිරීමට ක්‍රීඩාවෙන් කළ මෙහෙය අමරණීයය.