චෙකෝෆ් සොහොයුරියගෙන් චෝදනාවක්

චෙකෝෆ් සොහොයුරියගෙන් චෝදනාවක්


චෙකොෆ් සිය නිර්මාණ සඳහා අත්දැකීම් කොටගත් ස්ථාන සොයාගිය ජැනට් මැල්කම් ලේඛිකාව අපූර්ව ලිපි මාලාවක් රචනා කළාය. ඉන් ගත් කොටසක් “නිව්යෝර්ක්” සඟරාවේ කලාපයක Travels with chekhov නමින් පළ කෙරුණි. මේ ලිපිය සැකැසෙන්නේ ඒ ඇසුරිනි.
මේ එහි තෙවැනි දිග හැරුමයි.

යාල්ටාවේ චෙකෝෆ් නිවස ප්‍රකටව තිබුණේ ‘White Dacha’  නමිනි. ඩාචා යනු රුසියානු ගම්බද නිවෙස්වලට භාවිත වුණු යෙදුමකි. සනීපදායක පළාතක් වූ යාල්ටාවේ චෙකෝෆ් නිවහනට මොස්කව් සහ වෙනත් නගරවල සිට ආ ගිය අමුත්තෝ බොහෝ වූහ.

ඒ කාලයේ චෙකෝෆ් තනිකඩයෙකි. අමුත්තන්ට සංග්‍රහ සත්කාර කිරීම පැවරුණේ ඔහුගේ සොහොයුරිය මාරියාට ය. ඇයද අවිවාහක ය. චෙකෝෆ් නිවස අදත් යහතින් පවතින්නේ මාරියාට පින්සිදු වන්නට ය.

චෙකෝෆ් ජීවතුන් අතර සිටියදී මෙන්ම 1904 දී ඔහු මිය යාමෙන් පසුව ද එහි භාරකාරිය වන්නේ මාරියා ය. තම ශ්‍රේෂ්ඨ සොහොයුරා කෙරෙහි මහත් ගෞරවාදරයක් දැක්වූ ඇය ඔහුගෙන් පසුව පාළුවට ගිය ‘වයිට්ඩාචාව රැකබලා’ ගැනීමට මහත් සේ වෙහෙස වුවාය. චෙකෝෆ්ගේ කෙටිකතා පළ කළ සඟරාවලින් මුදල් ඇනවුම් එවූ ලියුම් කවර පවා අදත් එහි යන ‘රසිකයිනට’ දැක බලා ගත හැක්කේ එහෙයිනි. ජැනට් මැල්කම් සඳහන් කරන අන්දමට මාරියා චෙකෝමාට ලෝක යුද්ධ දෙකක හා විප්ලවයක අත්දැකීම් ඇත. ස්ටාලින් යුගයේදී ලද අපහාස පවා ඉවසා දරා ගනිමින් ඇය චෙකෝෆ් උරුමය රැක ගත්තාය.

1941 දී රුසියාව පුරා දේශප්‍රේමී යුද්ධයේ ගිනිදැල් (Great Patriotic war) ඇවිල ගියේය. එක් දිනෙක සතුරු ජර්මන් හමුදා යාල්ටාව ටද ගොඩ බටහ. එකල එහි තිබූ හොඳ නිවෙස් සියල්ලක්ම සෙබළුන්ගේ බැරැක්ක බවට පත් වුණි.

ජර්මන්නු ‘වයිට් ඩාචා’ වට එන්නට පෙර මාරියා ඔවුන් මුලා කරන උපක්‍රමයක් ගැන සිතුවාය.

ජර්මානු මහා කවි ගොතේ ගේ රාමු කරන ලද ඡායාරූපයක් සොයා ගත් ඇය නිවසට පිවිසෙන විටම ඇස ගැසෙන තැනක එල්ලුවාය. චෙකොෆ් ජර්මන් හිතෛෂියෙකු ලෙස ඇඟවීම මාරියාගේ අරමුණ විය.

එහෙත් ජර්මන් සෙබළුන්ගෙන් වැඩි දෙනෙක් චෙකෝෆ් ගැන තබා ගොතේ ගැනවත් අසා ඇති බවක් නොපෙනුණි. ඔව්හු ‘ඩාචාව‘ හමුදා නිවස්නයක් බවට පත් කර ගත්හ.

භාග්‍යයකට මෙන් ජර්මන් සංස්කෘතික අමාත්‍යාංශයට සම්බන්ධව සිටි ඩිස්කාන් නමැත්තෙක් චෙකෝෆ් නිවසට පැමිණියේය. රුසියානු සාහිත්‍ය පරිශීලනය කොට තිබූ ඩිස්කාන් තුළ චෙකෝෆ් කෙරෙහි වූයේ ගෞරවයකි.

එහෙයින් ඔහු මාරියාවටත් ඩාචාවටත් කරදරයක් වෙන්නට ඉඩ නොදුන්නේය. එපමණක් නොව ජර්මන් සෙබළුන් හා යාල්ටාවාසී රුසියානුවන් අතර හොඳ හිත ගොඩනැංවීමේ උපක්‍රමයක් වශයෙන් චෙකෝෆ්ගේ ‘මුහුදු ලිහිණි’ (Sea Gulls) නාටකය වේදිකා ගත කරන්නට ද කටයුතු කළේය.

පසු කලෙක චෙකෝෆ් කෞතුකාගාරයක් බවට පත් වන ‘ඩාචාවේ’ මුල්ම පාලකවරිය වන්නේ ද මාරියාම ය. ගුරුවරියක හා චිත්‍ර ශිල්පිනියකද වූ ඇය තම සොහොයුරාගේ ‘සාහිත්‍යයික උරුමය’ රැක ගැනීමෙහි ලා කළ මෙහෙවර අගය කරමින් 1944 දී සෝවියට් රජය මගින් ‘රෙඩ්බැනර්’ සම්මානය පිරිනැමුණි’

මාරියා චෙකෝවා චරිතය චෙකෝෆ් පාඨකයින් අතර මෙන් ම ලෝකයේ වෙනත් ලේඛකයන් හා කලාකරුවන් අතර ද චෙකෝෆ් තරමටම ජනප්‍රිය ය. අමෙරිකානු ජාතික ඩබ්. ඩී. වෙදරෙල් (W. D. Wetherell) 1990 දී ‘චෙකෝෆ්ගේ සොහොයුරිය’ නමින් නවකතාවක් ලියා පළ කෙළේය.

ජර්මානුන්ගෙන් චෙකෝෆ් උරුමය බේරා ගැනීමට ඇය ගත් වෙහෙස ඊට පසුබිම්ව ඇත. එරික් ටිල් නමැති බ්‍රිතාන්‍ය චිත්‍රපටි අධ්‍යක්ෂවරයා ‘චෙකෝෆ් සහ මාරියා’ නමින් කළ සිනමා නිර්මාණයේදී චෙකෝෆ් සොහොයුරිය තුළ සිටින ගැහැනිය ගැඹුරින් විග්‍රහ කෙරෙයි.

එරිත් විල්ගේ චිත්‍රපටයේ එන මරියා සිය සොහොයුරු චෙකෝෆ් වෙනුවෙන් ජීවිතය කැප කර සිටී. මේ වන විට කාශ රෝගයෙන් පෙළෙන චෙකෝෆ් රෝග පීඩාවන් නොතකා ‘චෙරි උයන’ නමැති ශ්‍රේෂ්ඨ නාට්‍යය ලියමින් සිටී. මොස්කව් නුවර සිටින නිළියක වන බල්ගා නීපර් චෙකෝෆ් නිවසේ නිවාඩුවක් ගත කිරීමට එයි.

තම සොහොයුරා බල්ගා සමග ප්‍රේමයෙන් බැඳී ඇති බව දැන ගන්නා මාරියා ඊට විරුද්ධ වෙයි. චෙකෝෆ්ගේ නාට්‍යවලද චරිත නිරූපණය කොට ඇති නමුත් මොස්කව්හි ‘හොඳ චරිතයක්’ නොවන ඔල්ගා නැවත යාල්ටා එනවාටද මාරියා අකමැති ය. මේ අතර චෙකෝෆ් ඔල්ගා හා රහසින්ම විවාහ වෙයි. මාරියා ඉන් බලවත් සිත් තැවුලට පත් වෙයි.

මැදිවියද ඉක්මවා යන තෙක්ම තම සොහොයුරා රැක බලා ගත් නමුත් එක්වරම ඔහු තමන්ට නොසලකා හැරියාක් බඳු හැඟීමකින් මාරියා පෙළෙයි. චෙකෝෆ්ගේ හා මාරියාගේ සංකීර්ණ චිත්ත ස්වභාවයන් කලාත්මක නිරීක්ෂණයකට හසු කරන එරික් ටිල්ගේ චිත්‍රපටය ප්‍රේක්ෂක විචාරක දෙපාර්ශවයෙහිම ප්‍රශංසාවට ලක් විය. අමෙරිකානු නාට්‍ය රසිකාවක වන ජොවන්කා බාච් තිර නාටකය ලියූ එහි චෙකෝෆ් ලෙස රොන් බටීටාරේ (Ron Battitta) සහ මාරියා ලෙස ගිලියන් බ්‍රැෂියර් (Gillian Brashear) විශිෂ්ට රංගනයක යෙදුනහ.

චෙකෝෆ් සමරු මධ්‍යස්ථානයට යන්නෙකුට චෙකෝෆ් අත් පිටපත් ඡායාරූප යනාදිය පමණක් නොව තව තවත් අපූරු කෞතුක භාණ්ඩ රැසක් දැක බලා ගත හැකි වෙයි. සාහිත්‍යලෝලී තරුණියකට සමරුවක් වශයෙන් මුහුදු පාෂාණයක චෙකෝෆ් ලියූ සටහන ඉන් එකකි. එහි මෙසේ කියැවෙයි. “මගේ හදවතින් පතිත මේ මුහුදු ගල ඇනස්තේසියා ලාරෝවා සතුවන්නීය”

පසු කාලයකදී චෙකෝෆ් නිවහන යාල්ටාවේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණය ද විය. චෙකෝෆ් සමරු සංවත්සර උළෙල චෙකෝෆ් නාට්‍ය දේශන වැනි නොයෙක් ක්‍රියාකාරකම් එහිදී සිදු වෙයි. ඔහුගේ 85 වැනි සමරු උළෙලේදී යාල්ටාවේ පැරැණ්නන්ගේ චෙකෝෆ් මතක අවදි කෙරුණි. චෙකෝෆ්ගේ නිළියෝ නමින් ඡායාරූප දැක්මක්ද චෙකෝෆ් විචාරය පිළිබඳ ගැටලු කීපයක් මැයින් විද්වත් සමුළුවක් ද පැවැත්වුණි. චෙකෝෆ්ගේ “අන්කල් චාන්යා” නාට්‍යයට වසර 110 ක් පිරීම නිමිත්තෙන් ඡායාරූප හා පෝස්ටර් ප්‍රදර්ශනයක්ද සංවිධානය කෙරුණි.

මොස්කව් හි ගත කළ දිනවලදී ජැනට් මැල්කම් එහි සිට සැතපුම් 40 ක් පමණ ඈතින් පිහිටි මෙලිකෝටෝ හි චෙකෝෆ් කෞතුකාගාරය නරඹන්නට යාමට සැරසුණාය. එහෙත් ඇගේ මොස්කව් මග පෙන්වන්නියක වූ සෝනියා ඊට පෙර ක්‍රෙම්ලිනයේ ආයුධ ගබඩාව නැරැඹීමට යෝජනා කළාය. ජැනට් ඊට කැමැත්තක් පෙන්වූයේ නැත.

සෝනියා චෙකෝෆ් අගයමින් කතා කළාය.

“චෙකෝෆ් කියන්නෙ රුසියානු ලේඛකයෙක් නෙවෙයි. ඔහු මුළු මානව සංහතියටම අයත් කෙනෙක්”

කල්තියා ඡායාරූපවලින් දැක පුරුදු මෙලිකෝව් හි චෙකෝෆ්ගේ ගම්බද නිවාසය දුර තියාම හඳුනා ගන්නට ජැනට්ට හැකි විය.

චෙකෝෆ් මෙහි විසුවේ 1892 මාර්තු 1899 අතර කාල වකවානුවෙහිය. ‘අන්කල් මානියා’ සහ ‘සී ගල්ස්’ (මුහුදු ළිහිණි) නාටකයන් රචනා කෙරුණේ මෙහිදිය.

සත්හලින් දූපතටත් තවත් රටවල් කීපයකටත් (ලංකාව ඇතුළුව) මුහුදු මගින් සංචාරයක යෙදුණු චෙකෝෆ් ‘පීටර්ස්බර්ග්’ නමැති නැවෙන් ආපහු රුසියාව බලා පිටත් වෙන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ ලද ගැඹුරු අත්දැකීම් රැසක්ද සමග ය. භයානක අපරාධකාරයන්ට දඬුවම් පමුණුවන සිරකඳවුරක් වූ සත්හලින් දූපතේදී සිරකරුවන් විඳින දුක් පීඩා දැක සසල වූ සිත් ඇති චෙකෝෆ් දෙතුන් රැයක් නිදි වැරුවේය. ආපසු රුසියාවේ පා තබන චෙකෝෆ් සිය මිතුරෙකුට මෙසේ ලියයි.

“මා දොස්තර කෙනෙකු නම් මට රෝගීන් හා රෝහලක් තිබිය යුතුයි. මා ලේඛකයෙකු නම් ජනතාව අතර විසිය යුතුයි. එහෙත් ඒ මොස්කව් හි ඩිමොටෙ‍්‍රාව්කා වීදියේ නම් නොවේ. මට දැන් අවශ්‍යව ඇත්තේ දේශපාලනික හා සාමාජයික ජීවිතයක් ගත කිරීමට සුදුසු තැනක්”

මේ කාලයේදීම කුඩා ගෙවත්තක් සහිත නිවසක් විකිණීමට ඇති බවට පුවත්පතක දැක්වීමක් පළ වුණි. චෙකෝෆ් මෙලිකෝවෝ නිවස මිලදී ගත්තේ ඒ අනුව ය. ඔහුගේ මව, පියා, සොයුරිය හා සොහොයුරෝද එහි පදිංචියට පැමිණියහ. ගෙවතු වගාවට ඇල්මක් දැක්වූ චෙකෝෆ් තම සොහොයුරිය ද සමග මෙලිකෝවෝ වත්තේ කොටසක එළවළු හා පළතුරු වගා කෙළේය. තවත් පැත්තක මල් පාත්ති සහ කුඩා පොකුණකි.

එක් යුගයකදී විනාශයට පත් මෙලිකෝවෝ නිවස 1940 දී නැවත ඒ ආකාරයෙන්ම ගොඩ නැගුවේ මාරියා චෙකෝවා සතුව තිබූ ඡායාරූපවල උපකාරයෙනි.

මෙලිකෝවේ කෞතුකාගාරයේදී ජැනට්ට එහි විස්තර කියා දෙන්නේ ලුද්මිලා නමැති තරුණයෙකි. ඇය කාමරයෙන් කාමරයට යමින් කාටත් කියන ටිකම ජැනට්ට ද කීවාය. ලුද්මිලා තම රාජකාරියට අවශ්‍ය තරමින් චෙකෝෆ්ගේ ජීවිතය ගැන දැන සිටිය ද ඔහුගේ සාහිත්‍යය ගැන නම් ඇයට එතරම් දැනුමක් නැති බව ජැනට්ට වැටහුණි. එසේම ඉංග්‍රීසි බස ගැන ද ප්‍රමාණවත් දැනුමක් නැති ලුද්මිලා රුසියානු බසින් කියූ දැනුම ජැනට් සවන් දුන්නේ සෝනියා හරහා ය.