සෝනියා දෙසට හැරුණු මොහොතක්

සෝනියා දෙසට හැරුණු මොහොතක්

කලෙක ඇය; රජීව් ගාන්ධිගේ සුරූපී ඉතාලියානු පෙම්වතියයි. පසුකලෙක ඉන්දිරාගේ ලේලිය ලෙස අගමැති නිල නිවසට ආ ලජ්ජාශීලී යුවතිය යි. ඉන්දීය අගමැති ධුරයට පත් රජීව් ගේ ආදරණීය බිරිය යි. රාහුල්ගේ ත් පි‍්‍රයංකාගේ ත් ආදරණීය මවයි. ආදරණීය සැමියා ඝාතනය වීමත් සමඟ නව යොවුන් වියට එළැඹෙමින් සිටි දරු දෙදෙනා ද සමඟ ජීවිතයට නොසැළී මුහුණ දුන් ධෛර්යවන්ත ගැහැනිය යි.

සියලු කඩඉම් පළමුව පසුකළ ඇය අද බිලියන 1.2 ජනගහනයකින් යුතු ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය මෙන්ම, ලොව සිවුවන ආර්ථික බලවතා ද වන ඉන්දියාව පාලනය කරන ආණ්ඩුවේ ප්‍රමුඛ බලවේගය වන කොන්ග්‍රස් පක්‍ෂයේ නායිකාව යි. සෝනියා මයිනෝ යැයි කී විට නොහඳුනන නමුත් සෝනියා ගාන්ධි යැයි කී විට ලොවම ඇයව හඳුනා ගනී.

ජාත්‍යන්තර Forbes සඟරාව මගින් ලොව වඩාත් බල සම්පන්නම චරිත තෝරා ගැනීමේ දී (2010) සෝනියා මුල් දස දෙනා අතර විය. (9 වැනි ස්ථානය) ඇයට ඉහළින් සිටින එකම කාන්තාව ඇන්ජලා මර්කෙල් ය (6). ලෝකයේ බලවත්ම කාන්තාවක් වන හිලරි ක්ලින්ටන් ද සිටිනුයේ 20 වැනි ස්ථානයේ ය. 2010 පමණක් නොව දැනට වසර කිහිපයක් තිස්සේ Forbes තෝරා ගැනීමේ ඉහළින්ම සටහන් වන නම් අතර සිටින්නට සෝනියාට හැකි වී තිබේ. ඒ අන් සියලු කාන්තාවන් අතර සුවිශේෂි කැපී පෙනෙන කාන්තාවක ලෙසය.

මේ අතර ගෙවී ගිය සති කිහිපය තුළ ඉන්දියාව දෙසට ජාත්‍යන්තර අවධානය විශාල ලෙස යොමුවීමට ප්‍රධාන හේතූන් දෙකක් බලපෑවේ ය. එකක් අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ගේ ඉන්දීය සංචාරය යි. ජුලි මස අගදී සිදුවූ එම සංචාරයේ දී ඇය සෝනියා ද හමු වූවාය. දෙවැන්න වූයේ පාකිස්තානයේ නව විදේශ අමාත්‍යවරිය ලෙස හයිනා රබීනා ඛාර් පත්වීමත් සමඟ බිඳවැටී තිබූ ඉන්දු – පාකිස්තාන සාකච්ඡා ක්‍රියාවලිය යළි ඇරැඹීමත් ය. එම උණුසුම එලෙසම තිබියදී ඉකුත් සතියේ හදිසියේම වාර්තා වූයේ 65 හැවිරිදි කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ට විදේශ රටක දී හදිසි ශල්‍යකර්මයක් සිදුකළ බව ය. මේ සමඟම කලාපීය මෙන්ම ලෝක දේශපාලනය ද ජාත්‍යන්තර මාධ්‍යය ද ඇය ගැන අවධානය යොමු කෙළේ ය.

කොන්ග්‍රස් පක්‍ෂ මහ ලේකම් ජනාර්දන් ද්වයිවේදී ප්‍රකාශ කළ පරිදි, අමෙරිකාවේ පිහිටි රෝහලක දී සිය පක්ෂ නායිකාවට ශල්‍යකර්මයක් සිදුකර තිබේ. ඉකුත් බ්‍රහස්පතින්දා සිදුකළ එය සාර්ථක වී ඇති බවත්, දැඩි සත්කාර ඒකකයේ ඇය සුවය ලබමින් සිටින බවත් ඔහු පවසා තිබිණි. රෝගී තත්ත්වය කුමක් ද යන්න හෙළි කිරීමෙන් ද, රෝහල සඳහන් කිරීමෙන් ද ඔහු වැළැකිණි.

එහෙත්, රූපවාහිනි නාලිකාවල සහ වෙබ් අඩවිවල පළවූ වාර්තාවලට අනුව සෝනියා ගාන්ධි ශල්‍යකර්මයකට ලක් කර තිබුණේ නිව්යෝර්ක් නුවර පිහිටි ලොව විශාලතම පුද්ගලික පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය ද වන Sloan Kettering අනුස්මරණ පිළිකා මධ්‍යස්ථානයේ දී ය. එහිදී සෝනියාට ප්‍රතිකාර කළ බවක් පිළිගැනීමෙන් හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් එම රෝහල වැළැකී තිබිණි. Times of India පුවත්පත වාර්තා කළ පරිදි ඔවුන්ට ඇති තොරතුරු මූලාශ්‍ර අනුව සෝනියාට ශල්‍යකර්මය සිදුකර ඇත්තේ නිව්යෝර්ක් නුවරින් බැහැර ස්ථානයක දී ය.

ජූලි මස 31 වැනිදා වනවිට සෝනියා වෛරස් උණ රෝගයෙන් පීඩා විඳීම නිසා පක්‍ෂයේ ඉහළ පෙළේ සාකච්ඡාවන් ට සහභාගි වීමෙන් වැළැකී සිටියා ය. ඇයගේ රෝගී තත්ත්වයක් නිසා ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවට වෛද්‍යවරුන්ගෙන් ඇයට උපදෙස් ලැබී තිබුණේ ද මේ අතර ය. එය රටින් පිටත දී සිදු කිරීමට සුදුසු බවට ඔවුන් නිර්දේශකර තිබුණි. ඒ ශල්‍යකර්මයෙන් පසු අමුත්තන්ගේ පැමිණීම වැනි බාධාවන් ගෙන් තොරව විවේකීව සුවය ලැබීමට ඉඩ සැලසීම අවශ්‍ය බව පෙන්වා දෙමිනි. ඒ අනුව මේ මස මුලදී ඇය අමෙරිකාවට ගියේ ශල්‍යකර්මය සඳහා ය. රාහුල්, පි‍්‍රයංකා සහ පි‍්‍රයංකාගේ සැමියා ද ඇය සමඟ වූහ.

සති 2 – 3 ක පමණ කාලයක් රටින් පිටව සිටීමට ඇයට සිදුවනු ඇති බව ප්‍රකාශ වී තිබේ. එම කාල සීමාව තුළ පක්‍ෂයේ කටයුතු මෙහෙයවීම සඳහා ඇය විසින් සිවු පුද්ගල කමිටුවක් නම් කරනු ලැබුවා ය. පුත් රාහුල් ගාන්ධි, ආරක්‍ෂක ඇමැති ඒ. කේ. ඇන්තනී, පක්ෂ මහ ලේකම් ද්වයිවේදී සහ සෝනියාගේ දේශපාලන ලේකම් අහමඩ් පටෙල් එහි සාමාජිකයන් ය. ඇන්තනී මෙන්ම පටෙල් ද ඇයගේ විශ්වසනීයම දේශපාලන සගයන් ලෙස සැලකේ. බොහෝවිට ඉන්දියාවේ මීළඟ අගමැති වශයෙන් පත්වනු ඇත්තේ දැනට 40 හැවිරිදි වියේ පසුවන රාහුල් ගාන්ධි ය. මේ වනවිට ඔහු ජාතික නායකයකු ලෙස ක්‍රමයෙන් ඉදිරියට එමින් සිටියි.

එඩ්වඩ් අන්තෝනියා ඇල්බිනා මයිනෝ (සෝනියා මයිනෝ) 1946 දෙසැම්බර් 9 වැනිදා උපත ලැබුවේ ඉතාලියේ කුඩා ගම්මානයක් වන ලුසියානා හි දී ය. ඇයගේ පියා ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෙකි. ලුසියානාහි දී උපත ලැබුව ද කුඩාකල දී ඇය හැදී වැඩුණේ පසුව ඔවුන් ජීවත් වූ ඩර්ඩ සානෝ නම් නාගරික ප්‍රදේශයේ ය. මයිනෝ පවුල සාම්ප්‍රදායික රෝමානු කතෝලික පවුලක් විය. 1964 වසරේ දී සෝනියා, එංගලන්තයේ කේම්බ්‍රිජ් බලා පැමිණියේ ඉංගී‍්‍රසි භාෂාව හැදෑරීමට යි.

රජිව් ගාන්ධි ද කේම්බ්‍රිජ් සරසවියේ ඉංජිනේරු විද්‍යාව හදාරමින් ගුවන් නියමුවකු වීමේ සිහිනය දකිමින් සිටියේ ය. ඒ, 1965 වර්ෂය යි. ඉගෙනුම ලබන අතර ගී‍්‍රක අවන්හලක වේටර්වරියක් ලෙස ද රැකියාවක යෙදුණු සෝනියාට රජීව් මුල්වරට හමුවන්නේ එහි දී ය.

සරසවි ජීවිතය තුළ ඔවුන් ගේ ආදර අන්දරය සුන්දර ලෙස ගලායාමට පටන්ගත්තේ එතැන් සිටයි. තම පෙම්වතිය සිය මවට රජීව් විසින් පළමු වරට හඳුන්වා දුන්නේ 1965 පැවැති නේරු ප්‍රදර්ශනයේ දී ය. රජීව් ඊට සහභාගි වූයේ සෝනියා ද සමඟ යි. විවාහයට පෙර සෝනියා මාස කිහිපයක් ඉන්දියාවේ ගත කිරීම සුදුසු බව ඉන්දිරාගේ අදහස විය. සෝනියා ගේ පියා මේ විවාහයට කැමැත්තක් නොදැක් වීය. ඊට හේතුව ඔහු රජීව් පි‍්‍රය නොකිරීම නොව සිය දියණියට දුර රටකට යාමට සිදුවීම ගැන ඔහු තුළ තිබූ කම්පාව යි.

රජීව් - සෝනියා විවාහය 1968 වසරේ දී චාම් අන්දමින්, හින්දු චාරිත්‍රානුකූලව සිදුවිය. සෝනියා සම්ප්‍රදායික හින්දු මනාලියක ලෙස සැරසී සිටියා ය. ඇය ඇඳ සිටි රෝස පැහැ කපු සාරිය ජවහර්ලාල් නේරු විසින් වියන ලද්දකි. පසු කලෙක පි‍්‍රයංකා ගාන්ධි ද සිය මංගල සාරිය ලෙස තෝරාගත්තේ මේ සාරියම ය. විවාහ මංගල්‍ය සඳහා සෝනියා ගේ පියා සහභාගි නොවූ නමුත් මව, සොයුරියෝ ඇතුළු ඥාතීන් ඊට සහභාගි වූහ.

භාරතයේ අලුත් ජීවිතය සෝනියාට මුලදී තරමක් නුහුරු විණි. ඇය ඉන්දීය කෑම වර්ග හා ඇඳුම් විලාසිතා පි‍්‍රය නොකළා ය. කොට ගවුමකින් සැරසී සිටින ඇයගේ ඡායාරූප දුටු ඉන්දියානුවන් ගේ විරෝධයට පවා ඇය ලක් වූවාය. එහෙත්, 1970 ගණන් වනවිට ඇයට ඉන්දීය සංස්කෘතියට අනුගතවීමට හැකි විණි. හින්දි භාෂාව ද ඉගෙන ගත් ඈ ඉන්දියානුවකු බවට පරිවර්තනය වෙමින් ඇති අයුරු පෙනීණ.

ප්‍රසිද්ධ ජීවිතයට එතරම් නැඹුරු නොවුණ ද විවාහයෙන් පසු රජීව් සමඟ Lambretta වර්ගයේ ස්කූටරයේ පිටුපස අසුනේ හිඳ ඇය යන අයුරු දිල්ලියේ වීදිවලදී දැකිය හැකි විය. ගාන්ධි පවුලට හුරුවීම පිළිබඳ තරමක ආගන්තුක බවකින් සිටි සෝනියා වෙත දිනක් අගමැතිනි ඉන්දිරා ගෙන් තුණ්ඩු කැබැල්ලක් ලැබිණි. එහි තිබුණේ “සෝනියා, අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි” යනුවෙනි. සිය මව ද ඉතාලියට ගොස් සිටි නිසා යම් කම්පනයකින් යුතුව සිටි සෝනියා ඉන්දිරා වෙත වඩාත් ආකර්ෂණය කිරීමට එම තුණ්ඩු කැබැල්ලට හැකි විය. හැමදාමත් ඇය ඉන්දිරාට කතා කළේ ‘මමී’ යනුවෙනි.

1984 දී ඉන්දිරා අවාසනාවන්ත ලෙස ඝාතනය වීමත් සමඟ සෝනියා ගේ ජීවිතය ද තරමක් වෙනස් විය. 1980 දී ගුවන් අනතුරකින් සංජේ ගාන්ධි ගේ මරණය සිදුවීම නිසා රජීව් ට දේශපාලනය වෙත නැඹුරු වීමට සිදුව තිබිණි. මව ඝාතනය වීමත් සමඟ සක්‍රීය දේශපාලනයට අවතීර්ණ වූ රජීව් පසුව ඉන්දීය අගමැති ධුරයට පත්වීමත් සමඟ අගමැති බිරිය ලෙස සෝනියාට ද කළ යුතු කාර්යභාරයක් තිබිණි. එය ඉටුකරන අතර සෝනියා ගේ වැඩි අවධානය යොමු වූයේ සිය පවුල දෙසට යි. රාහුල් 1970 දී ද, පි‍්‍රයංකා 1972 දී ද සෝනියා - රජීව් කැදැල්ලට එක්ව සිටියේ ය. ඉන්දිරාගේ ආදරය හා සෙනෙහස ද ඔවුන් වෙත නොඅඩුව ලැබිණි. මේ නිසා ඉන්දිරාගේ හදිසි මරණය සෝනියාට ද දැඩි ලෙස දැනුණූ සිදුවීමකි. යළිත් 1991 දී ජීවිතයේ බරපතළම ඛේදවාචකය දරාගැනීමට ඇයට සිදු විය. ඒ සිය සැමියා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීමයි.

ඉන්පසු, කොන්ග්‍රස් පක්‍ෂ නායකත්වය භාරගන්නා ලෙසට පක්‍ෂයෙන් දිගින් දිගටම ඇය වෙත ඉල්ලීම් ඉදිරිපත් විණි. එහෙත්, 1998 වර්ෂය දක්වාම ඇය ඒවා ප්‍රතික්ෂේප කළාය. අවසානයේ දී 1998 වනවිට දේශපාලනයට අවතීර්ණවීමට ඇය තීරණය, කර තිබිණි. 1999 දී රායි බෙරිලි ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලැබුවද පක්‍ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඇය අසමත් වූවා ය. එහෙත්, විපක්‍ෂ නායිකාව ලෙසද කටයුතු කරමින් වසර ගණනාවක් තිස්සේ ඇය කොන්ග්‍රස් පක්‍ෂය ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැඟුවා ය.

සෝනියාගේ දේශපාලන චරිතය වඩා කැපී පෙනෙන්නේ 2004 මහමැතිවරණ ව්‍යාපාරයේ දී ය. ඇයගේ ඉතාලි ජාතිකත්වය හුවාදක්වමින් විපක්‍ෂය දැඩිව ප්‍රහාර එල්ල කළාය. ඔබ ඉන්දියාව භාරදීමට යන්නේ විදේශික කාන්තාවකට ද යන්න ඔවුන් ඉන්දියානුවන් ගෙන් ඇසූ ප්‍රශ්නය යි. ඊට සෝනියා පිළිතුරු දුන්නේ මෙපරිද්දෙනි.

“මම හිතන්නෙ නෑ ඉන්දියානුවන් මම විදේශිකයකු ලෙස දකිනවා කියලා. දැන් මම විදේශිකයෙක් නෙවෙයි, මම ඉන්දියානුවෙක්”. මැතිවරණයට තරග කිරීමට බොහෝ කලින් ඇය සිය ඉතාලි ගමන් බලපත්‍රය වෙනුවට පූර්ණ ඉන්දීය පුරවැසිභාවය ලබා ඉන්දීය ගමන් බලපත්‍රයක් ද ලබා තිබිණි. එහෙත්, ඊට පෙර මැතිවරණ නාම ලේඛන වල ඇයගේ නම සඳහන් වීම ගැන නීතිමය ප්‍රශ්න ඇති විය. ඉතාලි පුරවැසි බව තිබියදී ඇයගේ ඡන්දය ලියාපදිංචි කිරීම ගැටලු සහගත විය.

2004 මහ මැතිවරණයේ දී කොන්ග්‍රස් පක්‍ෂ නායකත්වයෙන් යුතු එක්සත් ප්‍රගතිශීලී සන්ධානය [UPA] පාලන බලය දිනා ගත්තේ සෝනියා ගේ නායකත්වය යටතේ ය. අගමැති පදවිය භාරගන්නා ලෙස ඇයට ඉදිරිපත් වූ ඉල්ලීම් ඇය ප්‍රතික්ෂේප කළාය.

ඒ වෙනුවට ආර්ථික විද්‍යාඥයකු මෙන්ම සීක් ජාතිකයකු වන ආචාර්ය මන් මෝහන් සිං අගමැති ධුරයට නම් කෙරිණි. මේ වනවිට ඇතැම් විචාරකයන්ට අනුව, නේරු ගෙන් පසු එරට අගමැති පදවියට පත් විශිෂ්ටම තැනැත්තා ආචාර්ය සිං ය. සෝනියා දේශපාලන අත්දැකීම්වලින් පරිණත නොවන බව ද, උපදෙස් ලබා ගැනීමේ දී පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් මත රඳා පවතින බවද ඇයගේ විවේචකයෝ මතු කරන කාරණයකි. එහෙත්, තිරය පිටුපස සිටිමින් ඇය භාරත දේශපාලනයේ අයෝමය භූමිකාවක් ඉටුකරන බව ද බැහැර කළ නොහැකි ය. 2008 දී මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉන්දියාව කම්පනයට ලක්වූ මොහොතේ ;සීනියා අවධාරණය කළේ, ඉන්දියාවට එරෙහි කිසිදු විනාශකාරී ක්‍රියාවකට ඉඩ නොතබන බව යි.

2009 වසරේ දී “Hindustan Times” පුවත්පත පළ කළ විශේෂාංගයක සෝනියා ගේ ජීවිතය පිළිබඳ පැහැදිලි කෙරෙන එහෙත්, එතරම් ප්‍රකට නැති කාරණා කිහිපයක් ඇතුළත් විය. පොත පතෙන් හා ඉන්දිරාගෙන් ද ලැබූ දැනුම ඔස්සේ ඇතැම් ඉන්දීය කෑම වර්ග ඇයට රසවත්ව පිළියෙල කළ හැකි බව එකකි. ඇය ගේ දොර පවිත්‍රව තබා ගැනීමට ද විශාල රුචියක් දැක් වූවාය. විශේෂ සාකච්ඡාවක් ගෙදර තිබේ නම් ඇය බෙහෙවින් ම ඒ පිළිබඳ සැලකිලිමත් වෙයි. කාමර අතුපතු ගා පිරිසිදු කරන්නේ ද ඇය බව එහි සඳහන් විය.

අතින් වියූ කපු සාරි ඇඳීමට ද සෝනියා පි‍්‍රය කරයි. පොත් කියැවීම ද ඇයගේ පි‍්‍රයතම විනෝදාංශයකි. කාමරයේ එක් බිත්තියක් තනිකරම වැසී ඇත්තේ පොත්වලිනි. එමෙන්ම ඇය නූතන කලා සම්ප්‍රදායයන් පිළිබඳ හදාරා තිබේ. මේ බොහෝ කාරණාවලින් පෙනෙන්නේ සෝනියා සරල සැහැල්ලු එහෙත් ක්‍රමානුකූල දිවිපෙතකට හුරුවී ඇති බවයි. වසර 125 ක කොන්ග්‍රස් පක්‍ෂ ඉතිහාසයේ වැඩිම කලක් බලයේ සිටින සභාපතිනිය ද ඇය යි. ඉකුත් ඔක්තෝබරයේ දී සිවුවන වතාවට ද ඇය ඊට තෝරා ගැණින. 1947 දී භාරතය නිදහස දිනා ගැනීමෙන් පසු කොන්ග්‍රස් පක්‍ෂයේ සභාපති පදවියට පත් විදේශීය සම්භවයක් සහිත පළමුවැන්නා ඇයයි.

මෙලෙස සැකසුණු ඇයගේ දේශපාලන වටපිටාව ඉතා සුවිශේෂිය. එය ඉන්දියාවට පමණක් නොව කලාපයට ද, සමස්ත ලෝකයට ද දැඩිසේ බලපානු ඇත. ඉන්දු – පාකිස්ථාන සාකච්ඡා, ඉන්දු – අමෙරිකා සාකච්ඡා අතරතුර ඇයගේ වත්මන් තත්ත්වය පිළිබඳ ලෝකයා අවධානයෙන් සිටින්නේ එහෙයිනි.