අමෙරිකානු විවාහයට තරු අපලය

අමෙරිකානු විවාහයට තරු අපලය

සුන්දර දසුන් මවන සබන් පෙණ ක්‍රමයෙන් විශාල වේ. උඩු ගුවනට ඇදී යන ඒ වර්ණවත් පෙණ බුබුළු එක්වරම බිඳී යයි. අවසානයේ ඉතිරි වූ දෙයක් නැත. හොලිවුඩ් ලෝකයේ විවාහ ජීවිත ද එසේම ය. ලොවක් ඉදිරියේ සුරඟන රැඟුම් පා අතිනත ගන්නා ඔවුන් දිවි ගෙවන්නේ වළාකුළු මත ය. තරු අසබඩ ය. එහෙත් වැඩිකල් නොගොස් අඬ දබර කර ගන්නා මේ හොලිවුඩ් තරු නැවත මහ පොළවට ඇද වැටී එකිනෙකාට දොස් නගති.

මෙවර කරළියට පිවිස ඇත්තේ සුපිරි ගායිකාවක සහ නිළියක වන ජෙනිෆර් ලෝපේස් ය. ඇය ගේ ජීවන ගමනට එක්ව අතරමඟ නැවතුමකින් බැස යන මාර්ක් ඇන්තනී ද රසික හදවත් දිනූ ගායකයෙකි. ලොවක් වසඟයට පත් කළ මේ තරු යුවළ දැන් විරසක ය.

හොලිවුඩ් තාරකාවන්ට ප්‍රේමයෙන් බැඳෙන්නට, විවාහ වන්නට පමණක් නොව වෙන් වන්නට ද හේතු උවමනා නැත. එහෙත් ජෙනිෆර් – මාර්ක් ගේ වෙන්වීමත් සමඟ සමීක්ෂකයන් ගේ නෙත් වෙනත්ම ඉසව්වක් කරා යොමු විය. මේ තාරකා ගිලිහීයන්නේ ආකර්ෂණීයත්වයේ පරතරය නිසාම ද? පැහැදිලිවම පැවසුවහොත් විරූපී සැමියන් නිසාම ද?

මාර්ක් ඇන්තනි? ඔහු දැන් ලෙඩෙක් වගෙයි. ඇත්තෙන්ම ඔහුගෙ පෙනුම හෙරොයින්වලට ඇබ්බැහි වුණු කෙනෙක්ගෙ විදියමයි. ඔහු ආරූඩ කරගත්තු නමකින් ඉන්න තවත් එක සාමාන්‍ය ගායකයෙක් විතරයි. සමීක්ෂකයන්ගේ අවධානයට ලක්වුණු එම අදහස් බ්ලොග් අඩවියක සඳහන් ව තිබිණි.

වසර හතක විවාහයට නැවතීම තබන මාර්ක් ඇන්තනි, නැවත එක්වන්නේ තනිකඩ සමාජයට නොව “විරූපි සැමියන්ගේ” සමාජයටයි. මේ ආකර්ෂණීය බවේ පරතරයෙන් පීඩා විඳින්නේ හොලිවුඩ් තරු පමණක් නොවේ. සමස්ත අමෙරිකානු ප්‍රේම කථාවන්ටම එහි සෙවණැල්ලේ බලපෑම් තිබේ. වොෂින්ටන් පෝස්ට් සඟරාවට ලිපියක් යොමු කරන පාඨක යුවතියක් මෙසේ විමසයි.

“අවුරුදු දොළහක් තිස්සේ ආදරයෙන් සිටියත් මට දැන් වෙන් වෙන්න ඕනේ. මට මේ නොගැලපීම තවදුරටත් දරාගන්න බැහැ. මම මගේ පෙනුමට, රූපයට ගැලපෙන කෙනෙක් සමඟ යාම වැරදිද?” පුදුමයක් නොවේ. ලොව පුරා මාධ්‍යයන් ගැලපෙන ජෝඩුවල, සියයට සියයක් ගැලපෙන පෙම් පුවත්, ජවනිකා රඟ දක්වති. ඔවුන් අණ බෙර ගසන්නේ පරිපූර්ණ ප්‍රේම කථා පිළිබඳය. ආකර්ෂණීය සහකරුවකුගේ අවශ්‍යතාව මනසට ලබාදීම ඇරඹෙන්නේ එතැන් සිට ය.

“විවාහ වන දෙදෙනා අතර සෑම දෙයක්ම සමාන විය යුතුයි. ස්ත්‍රී පුරුෂ, භාවය හැර හැම දෙයක්ම.” ස්ටැන්ෆර්ඩ් සරසවියේ සමාජ විද්‍යාඥයෙකු් වන මයිකල් රොසෙන්ෆෙල්ඩ් එසේ පවසයි. “එක දෙයක් හරි අඩු - වැඩි වුණොත් සුන්දර විවාහයේ අසුන්දර නොගැලපීම කවදා හෝ මතු වෙනවා. ඒක සදාතනික සත්‍යයක්” මයිකල්ගේ අදහසට අනුව එක් පාර්ශ්වයක් ආකර්ෂණීය බවින් අඩු නම් දෙදෙනා වෙන් වීමට ඇති අවකාශය වැඩිය. එය වඩාත් බල පැවැත්වෙන්නේ හොලිවුඩයට ය. මන්ද යත් සාමාන්‍ය ලෝකයට වඩා හොලිවුඩ් ලෝකය තුළ ආකර්ෂණීය බවට හිමි වන වපසරිය අතිමහත් බැවිනි.

“පියෝෆි‍්‍ර ගේ කිළිටි පෙනුම සහ නෙරා ගිය හිස් කබල හරිම අප්‍රසන්නයි. හේතුවක් නැතිව මූණට ගහන්න පොළඹවන සිනාවක් ඇති සීමිත පුද්ගලයන් අතර ඔහු ඉදිරියෙන්ම ඉන්නවා.” රසිකයෙක් මෙලෙස දෙස් දෙන්නේ ක්‍රිස්ටිනා හෙන්ඩ්රික් ගේ ස්වාමි පුරුෂයාටයි. ක්‍රිස්ටිනා වැනි රූමතියක් එවැනි පුද්ගලයෙකු හා විවාහ වීම පවා විකාරයක් බව රසිකයන්ගේ අදහසයි.

එපමණක්ම නොව කැතරින් සෙටා - ජෝන් ගේ සැමියා සහ බියොන්සේ ගේ සැමියා ද ඔවුන් ගේ දෝෂ දර්ශනයට ලක්වෙති. මේ පුරුෂයින් සුන්දර කුමරියන් ගල් ලෙනෙහි සිරකර සිටින රකුසන් මෙන් චෝදනා විඳිති. සමීක්ෂකයින් පෙන්වා දෙන්නේ මේ සබඳතා බිඳීයාමට ද මුල්වන්නේ රසිකයන් පවා දකින බාහිර නොගැලපීම බවයි.

ආගම, අධ්‍යාපනය, පංතිය, වයස සහ පිළිගැනීම අතින් කෙතරම් පරතරයක් තිබුණද අමෙරිකානුවෝ වෙන් නොවී වාසය කරති. “විරූපි සැමියන් ගේ” සමාජය පිළිබඳ අදහස් දක්වන “ඩේවිඩ් එම්බස්” සළකන්නේ ඒවා දුරස්ථ සාධක ලෙසය. ඔහු ටෙක්සාස් සරසවියේ මනෝ විද්‍යාඥයෙකි. “සාමාන්‍යයෙන් කාන්තාවන් සැමියාට වඩා ආකර්ෂණීය වන්නට උත්සාහ කරනවා” ඩේවිඩ් එසේ පවසයි. ඔහුගේ අදහස වන්නේ තරුණියන් තම ස්වාමි පුරුෂයා තේරීමේ දී සැලකිලිමත් වන්නේ ඒකාකාරී, වට්ටෝරුගත ලක්ෂණ කිහිපයක් පිළිබඳ බවයි.

ඒ, පෞරුෂත්වය, චරිතය, පිළිගැනීම සහ ආදායම වැනි කරුණු දෙස ය. එහෙත් ඩේවිඩ්ගේ මතයට අනුව පිරිමියෙකුගේ දර්ශනය හාත්පසින්ම වෙනස් බවත් පෙනී යයි. ඔවුහු කාන්තාවකගේ මනරම් පෙනුමක් නිතැතින් අපේක්ෂා කරති. ගැටුම පැණ නැඟෙන්නේ එතැන් සිට ය. මූලික අවශ්‍යතාවන්ගෙන් ඔබ්බට යන බිරියට සැමියාගේ පෙනුමෙහි ඇති අඩුපාඩු මහමෙරක් සේ දැනේ. ඩේවිඩ් මෙයට තවත් කරුණක් එක් කරයි. “මුදලින් බලයෙන් පිරී ගිය ගැහැනුන් නිතරම සහකරුවන් මාරු කරන්න පෙළඹෙනවා. ඒ සබඳතා කෙටිකාලීනයි. එහෙත් ධන කුවේරයන්ගෙන් බහුතරයක් බොහෝ ළාබාල රූමත් තරුණියක් විවාහ කර ගන්නවා.” ඔහු පෙන්වා දෙන්නේ ගැහැනු පිරිමි දෙපිරිස සහකරුවන් තෝරා ගැනීමේ දී පෙන්නුම් කරන ප්‍රතිපත්ති සහ නම්‍යශීලි බවයි.

එහෙත් මේ විරසක වන තාරකාවන් අතර වරද පැවරෙන්නේ ගැහැනියට පමණක් නොවේ. “ගෘහණියන් සමඟ විවාහ වන සරාගී පුරුෂයින් බොහෝ අවදානම් සහිතයි. එවැනි ආකර්ෂණීය පුරුෂයින්, අනියම් සබඳතා සහ ඇසුරු කිරීම් පිළිබඳ විශේෂඥ දැනුමෙන් යුක්තයි” සමීක්ෂණයන්හි දී මේ හෙළිවන කරුණු බොහෝ භාර්යාවන්ගේ හෘද ස්පන්දනය කෙරෙහි බලපානු නියත ය. බොලිවුඩයට පමණක් නොව මුළුමහත් අමෙරිකාවටම මෙය තීරණාත්මක කරුණකි.

ඉංගී‍්‍රසි ගායක ස්ටින්ග් සමඟ විවාහ වී සිටින ටෲඩි ස්ටයිලර් පිළිබඳ රසිකයන්ගේ අදහස් ද එයට සාක්ෂි දරයි. “ස්ටින්ග් ගේ කාන්තාවන් පිළිබඳ රුචිකත්වය ඉතා දුර්වලයි. අඩුම තරමේ ඔහුගේ පළමු බිරිය ෆ‍්‍රාන්සස් ටෲඩිට වැඩියෙන් හොඳයි.” මෙලෙස සාක්ෂි දරන්නේ රසිකයන් දකින ආකර්ශණීයත්වයේ පරස්පරයයි.

ජෙනිෆර් ලෝපස් මේ අත්විඳින්නේ නොගැලපීමේ දෙවන වර ආදීනවයයි. පළමු සැමියාගෙන් නීත්‍යනුකූලව වෙන් වුවද ඒ නොගැලපීම දිගුකාලීනව හඹා පැමිණියේය. අවසානයේ දී උසාවි නියෝගවලින් ඔහුගේ නොපනත්කම් මට්ටු කිරීමට ජෙනිෆර්හට සිදුවිය. මන්ද යත් වඩා ආකර්ශණීය ඇය තවදුරටත් වෙනත් පිරිමි දෑසක අවධානය දිනීම පළමු සැමියා නොරිස්සූ බැවිනි.

ආකර්ෂණය හේතුවෙන් විකර්ෂණය වන බොහෝ තරු මේ ප්‍රශ්නයට මුහුණ දෙති. තමා අතැර යන ආකර්ෂණීය සහකරුවාට හෝ සහකාරියට ඊර්ෂ්‍යා කිරීම සුලබ සිද්ධියකි. මාර්ක් ඇන්තනි ද සාම්ප්‍රදායික ඊර්ෂ්‍යාකාර සැමියෙකු විය හැකි බැවින් ජෙනිෆර් දැනටමත් ආරක්ෂක විධිවිධාන තර කර ඇතුවාට සැකයක් නැත.

“ඔබට ඔබගේ සහකරුවා නිසි පුද්ගලයා යැයි සිතෙන තුරු සියලු බාධක හමුවේ දිවි ගෙවනු ඇත. එහෙත් යම් තීරණාත්මක නොගැලපීමක් දුටුවේද එසැණින් සියලු ධනාත්මක සාධක අමතක කර වෙන්වීමේ සිහිනය වැළඳ ගනිති.” සමීක්ෂකයන් අවසානයේ ලබාදෙන මේ නිගමනය නිහඬව පවසන්නේ අමෙරිකාව විවාහය සම්බන්ධව මුහුණ දී ඇති අරගලයයි.

විලියම් ශේක්ස්පියර් පවසා ඇති පරිදි මේ ලෝකයම රඟමඬලකි. අප එහි නළුවන්ය. අමෙරිකාව අද මේ ලෝකය නමැති ර¼ඟමඬලේ රඟදක්වන්නේ විවාහය නම් වූ මෙගා නාටකය ය. නිමාවන දිනය නළු නිළියන් තබා තිර රචකයා ද නොදනියි. නළුවා හෝ නිළිය නොගැළපේ නම්, ඕනෑතරම් ආදේශක ද සොයා ගත හැකිය. තැවෙන්නට කරුණු නැත.