පාපැදියට අලුත් තැනක්

පාපැදියට අලුත් තැනක්

පවනට බඳු වේගයෙන් යා හැකි හා අති සුඛෝපභෝගී මෝටර් රථ නිරන්තයෙන් රථ වාහන වෙළඳපොළට එක්වෙමින් ඇතත් පාපැදියට ඇති ඉල්ලුම තවමත් විශාල ය. විශේෂයෙන් යුරෝපා රටවල ජනයාගේ කෙටිදුර ගමන්වල දී ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් වන්නේ ද පාපැදියයි.

ඉන්ධන මිල ඉහළ යාම, රථවාහන තදබදය, පරිසර දූෂණය වැනි බරපතළ ගැටලු රැසකට එය සුදුසුම විකල්පයක් වීම ද මේ ජනපි‍්‍රයතාව ට බලපා ඇත. පාපැදිය අතිශයින් ජනපි‍්‍රයව ඇත්තේ ප්‍රංශ ජාතිකයන් අතර ය. ප්‍රංශය හරුණු විට තවත් රටවල් ගණනාවක් පාපැදි සංස්කෘතියට වඩාත් නැඹුරු වී සිටී. පාපැදි කුලියට ලබාදීමේ ව්‍යාපෘති ගණනාවක් මේ රටවල දක්නට තිබේ.

ඒ අතරින් ලොව වඩාත් සාර්ථක පාපැදි කුලියට දීමේ ව්‍යාපෘතියක් ලෙස අයර්ලන්තයේ “ඩබ්ලින්” බයික්ස් ව්‍යාපෘතිය නම් දරා ඇත. මේ ව්‍යාපෘතිය අරඹා වසර දෙකක් සම්පූර්ණ වෙමින් තිබියදී එහි සාමාජිකත්වය ලබා ඇති පිරිස 58,000 කි. අවස්ථා මිලියන 2.2 කදී බයිසිකල් කුලියට ලබාගෙන තිබේ. දැනට ව්‍යාපෘතිය සතු බයිසිකල් ගණන 550 කි. නැවතුම්පොළ සංඛ්‍යාව 44කි.

‘ඩබ්ලින් බයික්ස්’ ව්‍යාපෘතිය අරඹා පළමු වසර වනවිට පාපැදියක් ගමන් වාර 2200 ක් සම්පූර්ණ කර තිබිණි. සන්සන්දනාත්මකව බලනවිට ලන්ඩන් පාපැදි ව්‍යාපෘතියේ පළමු වසර තුළ පාපැදියක් සම්පූර්ණ කළේ ගමන් වාර 1000 කි. ‘ඩබ්ලින් බයික්ස්’ ව්‍යාපෘතිය ඇරැඹීම මගින් ඩබ්ලින් නගර සභාව ප්‍රධාන වශයෙන්ම අරමුණු කළේ නගරවැසියන් ට නොමිලේ පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමයි.

මේ ව්‍යාපෘතියේ සාමාජිකයකුට කුලියට ලබාගන්නා බයිසිකලයක් වෙනුවෙන් පළමු විනාඩි 30 සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන නිසා එකී අරමුණ ට ළඟා වීමට නගර බලධාරීන්ට හැකිවී ඇත. මේ වනවිට ‘ඩබ්ලින් බයික්ස්’ හා එක්ව සිටින අයගෙන් සියයට 97 ක්ම පාපැදි ලබාගන්නේ විනාඩි 30ට අඩු ගමන්වාරවලටයි. නගරය තුළ දෛනික අවශ්‍යතා පිරිමසා ගැනීමේ දී නගර වාසියකුට විනාඩි 30 ක පාපැදි ගමනක් හොඳට ම ප්‍රමාණවත් ය.

තමන් ගේ පාපැදියක් භාවිත කරනවාට වඩා කුලියට පාපැදියක් ලබා ගැනීම වාසිදායක බව වැඩි දෙනෙකුගේ අදහසයි. නඩත්තු වියදමක් නොමැති වීම, සොරකම් කිරීමෙන් වලකාගත හැකිවීම ඊට හේතුවන ප්‍රධාන කාරණා ලෙස ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම පෞද්ගලික පාපැදි භාවිත කරන්නන්ට පවා ඩබ්ලින් බයික්ස් ව්‍යාපෘතිය මගින් ධෛර්යයක් ලැබී තිබේ.

මෙවැනි පාපැදි ව්‍යාපෘතියක් ආරම්භ කළ ලොව 17 වැනි නගරය ඩබ්ලිනයයි. ඩබ්ලින් නගර සභාව මගින් මේ ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ 2006 වසරේ දීය. J C Decaux නම් ප්‍රංශ සමාගම විසින් ඊට මුල්‍ය අනුග්‍රහය ලබාදෙන ලදී. වසර 15 ක කාලයක් සඳහා අදාළ ගිවිසුමට එළැඹිණි. ව්‍යාපෘතිය මගින් ප්‍රංශ සමාගමට ලැබුණු ප්‍රතිලාභය නගරයේ ස්ථාන 72 ක මුදල් ගෙවීමකින් තොරව වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට අවසර ලැබීම යි.

මේ ගනුදෙනුව ආරම්භයේ දී ඇතැම් පාර්ශවයන්ගේ විවේචනයට පවා ලක්විය. එහෙත්, 2009 සැප්තැම්බර් 13 වැනිදා “ඩබ්ලින් බයික්ස්” ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි. බයිසිකල් 150 ක් ආරම්භයේ දී ඊට යොදා ගනු ලැබීය. ව්‍යාපෘතිය අරඹා පළමු පැය 6 ගත වනවිට දහසක් දෙනා එම පාපැදි භාවිතයට ගෙන තිබිණි. තවත් දහසක පමණ පිරිසක් පාපැදි ලබා ගැනීමට ලියාපදිංචිව සිටියහ. ව්‍යාපෘතිය අරඹා පළමු රාත්‍රිය ගෙවීයන විට 11,000 ක් දෙනා ‘ඩබ්ලින් බයික්ස්’ හි සාමාජිකත්වය ලබාගැනීම සඳහා නගර සභාව වෙත තම අයදුම්පත් යොමුකර තිබිණි.

නගර බලධාරීන් ඇස්තමේන්තු කර තිබුණේ පළමු වසරේ දී 5000 ක් දෙනා ව්‍යාපෘතිය සමඟ එක්වනු ඇති බවයි. එහෙත්, පළමු මාස 6 ගත වනවිට 25,000 පිරිසක් ඊට එක්ව සිටියහ. මාස 8 ක් ගත වන විට මේ සංඛ්‍යාව 30,000 දක්වා ඉහළ ගොස් තිබිණි. අපේක්‍ෂිත ඉලක්කය ව තිබුණේ 1500 කි. ‘ඩබ්ලින් බයික්ස්’ පළමු වර්ෂ පූර්ණය සපිරීමට මසකට පෙරාතුව බයිසිකල් ගමන් වාර මිලියනය සම්පූර්ණ කළ බව ප්‍රකාශයට පත් විය. මේ වසරේ මැයි මාසය වනවිට එය මිලියන දෙක ඉක්මවී ය.

“ඩබ්ලින් බයික්ස්” ව්‍යාපෘතියේ සාමාජිකත්වය ලබාගන්නා අයෙකුට අසීමිත වාර ගණනක් පාපැදි කුලියට ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථාව තිබේ. දිගු කාලීන කුලී පදනම යටතේ සාමාජික කාඩ්පතක් ලබාගැනීම සඳහා අය කරන මුදල යුරෝ 10 කි. දින 3 ක ප්‍රවේශ පත්‍රයක් සඳහා එම මුදල යුරෝ 2 කි. සාමාජිකත්වය ලබා ගන්නා විටම එළැඹෙන ගිවිසුමක් මගින් පාපැදිය නැවත බාරදෙනු නොලැබුවහොත් තම ක්‍රෙඩිට් කාඩ් පතෙන් යුරෝ 150 ක් අයකර ගැනීමට සාමාජිකයා එකඟ වී සිටි.

පාපැදියක් කුලියට ලබා ගැනීම නැවතුම්පොළ ආශි‍්‍රතව පිහිටුවා ඇති කාසි දමන දුරකථන සහිත කුටි වැනි කුටියකට [Kiosk] කාඩ්පත ඇතුළු කිරීම මගින් කළ හැකි ය. පාපැදියක් කුලියට ලබා ගැනීමෙන් පසු පළමු විනාඩි 30ට පසු පළමු පැය දක්වා ගාස්තුව යුරෝ 0.50 කි. දෙවැනි පැය සඳහා යුරෝ 1.50 ක් ද 3 වැනි පැය සඳහා යුරෝ 3.50 ක් ද, 4 වැනි පැය සඳහා යුරෝ 6.50 ක් ද එතැන් සිට වැඩිවන සෑම විනාඩි 30 ක් සඳහාම යුරෝ 2 බැගින් ද ගෙවිය යුතු ය.

‘ඩබ්ලින් බයික්ස්’ පාපැදි රිදී පැහැයෙන් වර්ණ ගන්වා ඇත. මඩ්ගාඩය නිල් පැහැති ය. LED විදුලි බල්බ, ආරක්‍ෂක අගුලු ක්‍රමයක්, ඉදිරිපස කූඩයක් ආදී පහසුකම් ද තිබේ. සෑම පාපැදි නැවතුම්පොළකම පාපැදි 20 ක උපරිමයකට යටත්ව පාපැදි නවත්වා තිබේ. යම් සීමාවක් දක්වා අඩු වූ විට පාපැදි ලබාදීම ද සිදුවේ. නැවතුම්පොළ 17 ක ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීම් කර 3 දින ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමේ පහසුකම් සලසා ඇත. සෑම නැවතුම්පොළකම ඊට යාබදව ඇති නැවතුම්පොළ, අදාළ නැවතුමේ නවත්වා ඇති පාපැදි සංඛ්‍යාව පිළිබඳ, ආදී විස්තර ඉලෙක්ට්‍රෝනික තිරයක දර්ශනය වේ.

ව්‍යාපෘතිය අරඹා පළමු මාස 10 තුළ 37,000 ක් දෙනා පාපැදි කුලියට ලබාගෙන තිබුණ ද, ගමන් වාර 800,000 ක් පමණ සිදුකර තිබුණ ද මාර්ග අනතුරු වාර්තා නොවී ය. පාපැදිවලට සිතාමතා හානි කිරීම් ද නොවිණි. එක් පාපැදියක් පමණක් අතුරුදන්ව තිබිණි.

2010 ජුනි 22 වැනිදා තාක්‍ෂණික දෝෂයක් නිසා කිසිවකුටත් පාපැදියක් ලබාගත නොහැකි විය. එහෙත්, එදිනම එම දෝෂය නිවැරැදි කරන ලදී. ඩබ්ලින් නගරයේ පාපැදි භාවිතයට බලපාන එක් ප්‍රධාන ගැටලුවක් නම් නගරයේ බොහෝ මාර්ගවල පාපැදි සඳහා වෙනම ධාවන තීරුවක් නොවීම යි. පාපැදි සඳහා ද ඇත්තේ බස් මාර්ගයම ය. මේ අඩු පාඩුව වලක්වා ගැනීම ද ව්‍යාපෘතිය පුළුල් කිරීමේ සැලසුම්වලට අදාළ ය.

නගරයේ ජනපි‍්‍රයම අවන්හල්, බස් නැවතුම්පොළ වැනි ස්ථාන ආශි‍්‍රතව පාපැදි නැවතුම් පොළවල් ස්ථානගත කර තිබීම ජනතාවට විශාල පහසුවක් වී තිබේ. ඩබ්ලින් බයික්ස් ව්‍යාපෘතිය පිළිබඳ ධනාත්මක ප්‍රතිචාර මිස ගැටලු මතුවී නැති තරම් ය. ඉදිරි කාලය තුළ ‘ඩබ්ලින් බයික්ස්’ තවදුරටත් පුළුල් වීමට නියමිත ය.

වර්තමානයේ ඇති 550 ක් වන බයිසිකල් සංඛ්‍යාව 5000 දක්වා ද 44 ක් වන නැවතුම්පොළ සංඛ්‍යාව 300 දක්වා ද වැඩි කිරීමට දැනටමත් සැලසුම් කෙරී ඇත. ඉතා කෙටි කාලසීමාවක් තුළ මේ ව්‍යාපෘතිය ලැබූ සාර්ථකත්වය මත පස් අවුරුදු ව්‍යාප්ති සැලැස්මක් යටතේ එය තවදුරටත් දියුණු කිරීම සිදුවනු ඇත. ඒ සමඟ ‘ඩබ්ලින් බයික්ස්’ ඩබ්ලින් නගරයෙන් ඔබ්බට ද පැදයාමේ අවස්ථාව අයර්ලන්ත ජනයාට හිමිවෙයි. මේ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශය එක්ව ක්‍රියාවට නැංවීම ද විශේෂ කාරණයකි.