මකා දැමිය හැකි ඊ කඩදාසි

මකා දැමිය හැකි ඊ කඩදාසි

ඉලෙක්ට්‍රොනික් කඩදාසි හෙවත් ඊ පේපර් නිපදවා දැන් ටික කලකි. අලුත් ම විස්කම වන්නේ නැවත නැවතත් ඒවා මත ලිවිය හැකි වීමයි.

එනම් රීරයිටබල් වීමයි. තායිවාන පර්යේෂකයන්ගේ සොයාගැනීමකි. නැවත නැවතත් ලිවිය හැක යනු අන් දෙයක් නොව ‘මකමින් ලිවිය හැක’ යන්නයි.

 වරක් දෙවරක් නොවූ මේ අලුත් ඊ කඩදාසිය මත වාර දෙසිය හැටක් පමණ මකමින් - නැවත නැවතත් ලිවීම පුළුවන.

මෙහි විශේෂත්ව රාශියකි. ලොකුම විශේෂත්වය වන්නේ ෆැක්ස් යන්ත්‍රයක භාවිත කරන ආකාරයේ තාපන මුද්‍රක යන්ත්‍රයක් භාවිත කිරීමක ලියූ දෙය තවදුරටත් තබාගැනීමට අවශ්‍ය නැති වූ විට කළ යුත්තේ බොත්තමක් එබීම පමණකි. වර්ණය, පසුබිම අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට ද පුළුවන.

ඉලෙක්ට්‍රොනික කඩදාසි ඉතාම පහසුවෙන් යොදා ගතහැකි ක්ෂේත්‍රයක් වන්නේ ඉලෙක්ට්‍රොනික දැන්වීම් කරණයයි.

වෙළෙඳසැල්වල ප්‍රදර්ශනය වන පුවරු සඳහා මේ තාක්ෂණය යොදා ගන්නේ නම් කළ යුත්තේ නැවත ලිවීම පමණකි. කාලය ඉතිරි වේ. මුදල් ද ඉතිරි වේ. තුරු ලතා ද ඉතිරි වේ.


ආඝාතයට රුධිරය තුනී කරන ඖෂධ අනුමතයි

බිලඩ් තිනර්ස් (Blood Thinners) හෙවත් රුධිරය තුනී කරන ඖෂධ මගින් සිදුුකරන්නේ රුධිර කැටි ඇතිවීමේ අවදානම දිය කිරීමයි. ආඝාතය රෝග තත්ත්වයේදී සිදුවන්නේ මොළයට රුධිරය ගෙන යන නාලයක රුධිර කැටියක් සිරවීමයි.

එහිදී බොහෝවිට අංශ භාගය ඇති වේ. ආඝාතය මර්දනය කිරීමේ පනස් වසරක යුරෝපා, වෛද්‍ය ඉතිහාසය තුළ කිසිම අවස්ථාවක රුධිරය තුනී කිරීමේ ඖෂධවලට තැනක් දී තිබුණේ නැත.

එහෙත්, දැන් ප්‍රථම වතාවට, කොමන් හාට් රිදම් තත්ත්වය මගින් හටගන්නා ආඝාතය සඳහා ඔසුවක් ලෙස රුධිරය තුනී කරන ඖෂධයක් යුරෝපා වෛද්‍ය විශේෂඥයන් විසින් අනුමත කර තිබේ.

යුරෝපයේ අඩුම තරමේ ලක්ෂ 45 ක ජනතාවක් ජීවත් වන්නේ මේ ආඝාතමය රෝගී තත්ත්වයේ අඳුරු සෙවණැලි මධ්‍යයේ වීම, මේ ඔසුව නිර්දේශ කිරීමට පෙලඹීම සඳහා දැවැන්තම හේතුව විය. ඖෂධයේ නම පැරඩෙක්සාවන් ය. එහෙත් වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසි විටෙක භාවිත නොකරන්න.


ශල්‍ය වෛද්‍යවරුන්ට වර්ටුවල් සැත්කම්

පුහුණුවන ශල්‍ය වෛද්‍යවරයෙක් මනා පුහුණුවක් ලබාගැනීම සඳහා අවම වශයෙන් රෝගීන් කීදෙනෙකු ව සැත්කමට ලක්කළ යුතු ද? බටහිර රටවල නම් මේ සඳහා මිනිස් ශරීර යොදා ගැනෙන්නේ තරමක් සීමා සහිතව ය.

ඒ වෙනුවට බොහෝවිට ගිනියා පිග් මීයන් යොදා ගැනෙයි. වසරකට එවැනි සතුන් යොදාගෙන පුහුණුවන ශල්‍ය වෛද්‍යවරයෙක් සැත්කම් 50 – 100 ත් අතර ප්‍රමාණයක් සිදුකළ යුතු බව කියන්නේ අමෙරිකානු ශල්‍ය වෛද්‍ය සංගමයයි.

එහෙත්, එය ලොකු ගැටලුවකි. සත්ව ජීවිත මිනිස් ජීවිත තරම් නොවටිනා බව සිතන අයට එය ඒතරම් ලොකු ගැටලුවක් නොවීමට ඉඩ ඇතත්, සෑම ජීවිතයක්ම එක හා සමාන බව සිතන සොබාදහමට එය ගැටලුවක් වීමට ඉඩ තිබේ.

අනෙක් අතට, සත්ව පටක යොදාගෙන පෙරහුරු සැත්කම්වල යෙදී සැබෑ ලෝකයේ ශල්‍යාගාරයකට ගිය විට නවක ශල්‍ය වෛද්‍යවරුන්ට නැවතත් අභියෝගාත්මක ප්‍රායෝගික තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැක.

අමෙරිකානු ශල්‍ය වෛද්‍යවරුන් V – Blast (වී - බ්ලාස්ට්) නමින් සැත්කම් පුහුණු උපකරණයක් හඳුන්වා දෙන්නේ මේ ගැටලු අවම කිරීම සඳහා ය. එය ඇත්තෙන්ම චර්චුවල් උපාංග පද්ධතියකි.

හරියට වීඩියෝ ක්‍රීඩාවක් මෙනි. වෛද්‍ය සිසුන් ට හා නවක වෛද්‍යවරුන්ට, දේහ කුහරයක් විවෘත කළ පසු නිවැරදි පටකයට නිවැරැදි ලෙස ළඟාවන ආකාරය සහ පටකයට අවම හානියක් කරමින් අවශ්‍ය සැත්කම් අරමුණට ළඟාවන ආකාරය වීඩියෝ ක්‍රීඩාවකදී මෙන් පුරුදු පුහුණු විය හැක.

මෙහිදී ඔවුන් සැත්කම හසුරුවන්නේ පරිගණක මොනිටරය දෙස බලාගෙනය. යොදා ගැනෙන්නේ චර්චුවල් තාක්ෂණය සහ වයර් සමුදායකි. ජීවී පටක අවශ්‍ය නොවේ.