නිපැයුමක වත

නිපැයුමක වත

විදුලි කෝෂය

ඇලෙක්සැන්ඩ්‍රෝ වෝල්ටා -1800

ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා ලෙස ඇතැමුන් හැඳින්වුව ද, ඉතාලි ජාතිකයෙකු නිසා ඔහුගේ උපන් නම ඇලෙක්සැන්ඩ්‍රෝ වෝල්ටා විය. ලොව පළමු විදුලි කෝෂය හෙවත් බැටරිය සොයා ගත්තේ ඔහු විසිනි. එය ‘වෝල්ටීය කෝෂය’ ලෙස ද හැඳින්වේ.

ඉතාලියේ කෝමා නගරයේ උපන් වෝල්ටා, කුඩාකලදී කායික වශයෙන් ඌන වර්ධනයක් පෙන් වූ දුර්වල දරුවකු විය. කුඩා වෝල්ටා වයස අවුරුදු හත වන තෙක් කතා කිරීමට පවා අපොහොසත් විය. එහෙත් බුද්ධිමය වශයෙන් ඔහු සෙසු දරුවන්ට වඩා හැමවිටම ඉදිරියෙන් සිටියේ ය.

රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ දී වෝල්ටා, ස්ථිති විද්්‍යුතය මගින් විදුලිය නිපදවා ගත හැකි කෝෂයක කටු සටහනක් ඇඳ තිබේ. උසස් අධ්‍යාපනය සඳහා භෞතික විද්‍යාවට යොමු වූ විට ද ඔහු වායුගෝලයේ විද්‍යුත් ආරෝපණ සහ විද්්‍යුත් ශක්තිය පිළිබඳ වසර ගණනක් මුළුල්ලේ පර්යේෂණ කෙළේය. අවසානයේ ඔහු එහිම භෞතික විද්‍යා මහාචාර්යවරයා බවට පත්විය. වෝල්ටා, වෝල්ටීය කෝෂය සොයා ගත්තේ එයට වසර කිහිපයකට පසුවය.

තඹ සහ සින්ක් ලෝහ දෙකකට ලුණු වතුරෙන් පෙඟවූ කාඩ්බෝඩ් කැබැල්ලක් සම්බන්ධ කරමින් ඔහු සැලකිය යුතු තරමේ, ස්ථාවර විදුලි ධාරාවක් නිපදවා ගැනීමට සමත් විය. අද පවා ලෝකයේ ශක්තිය, ගබඩා කරගැනීමේ වඩාම සූක්ෂම ක්‍රමය ලෙස සැලකෙන්නේ කෝෂ ක්‍රමය යි. එනිසා ඇලෙක්සැන්ඩ්‍රෝ වෝල්ටා අනාගත ලෝකයේ ශක්තිය ගබඩා කරගැනීමේ ක්‍රමයන් හි පළමු විප්ලවය සිදුකළ බව කිවමනාය.

ලුයිස් ගැල්වානි, වෝල්ටා ගේම සමයේ ජීවත් වූ තවත් කීර්තිමත් විද්‍යාඥයෙකි. එහෙත් ගැල්වනීය ප්‍රතිචාරය ලෙස හැඳීන්වූ, සත්ව පටකවල විදුලි ශක්තියක් අන්තර්ගත වේ යන මතය සමඟ වෝල්ටා එකඟ වූයේ නැත. වෝල්ටා විදුලි කෝෂය නිර්මාණය කෙළේ ගැල්වනීය ප්‍රතිචාරය ව්‍යාජයක් බව ඔප්පු කිරීම ද සඳහා ය. විද්්‍යුතය යනු සත්ව පටක තුළ නොව, තෙතබරිත පරිසරයකදී වෙනස් ලෝහ එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් නිපදවන දෙයක් බව පෙන්වීම ඔහුගේ අභිලාෂය විය.

විද්්‍යුත් ශක්තිය හෙවත් ඉලෙක්ට්‍රෝන ධාරාවන් හි වෙනස හෙවත් වෝල්ටීයතාව මැනීමේ ඒකකය, වෝල්ටා යනුවෙන් නම් කෙරුණේ ඔහුට උපහාර ලෙස ය. ආලෝකයෙන් විද්‍යුත් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියක් ප්‍රකාශ විද්‍යුත්තාව ලෙස හැඳින්වෙයි. මෙහි ඉංගී‍්‍රසි නාමය ෆොටෝ වෝල්ටික් (Photovoltic) ය. ෆොටෝ යනු ගී‍්‍රක බසින් ෆොස් (phos) හෙවත් ආලෝකයයි. එයට වෝල්ටා නාමය එක් කෙරුණේ ද ඔහුට ගරු කිරීමක් ලෙසිනි. රණශූර නැපෝලියන් බොනපාට් ඔහුට ගරු කෙළේ සියතින් ම ඔහුව සිටුවරයෙකු බවට පත්කිරීමෙනි.