ගඳක් නිසා ඇති වන දුකක්

ගඳක් නිසා ඇති වන දුකක්

කාන්තාව සියුමැලි බවේ සංකේතයයි. එහෙත් ඇය නව මසක් දරුවකු දරා සිටින්නේ ශෛලමය රුවක් පරිද්දෙනි. ලොවේ ඉහළම වේදනාව දැරුව ද කිරිකැටියාගේ මුහුණ දුටු සැනින් ඇයගේ මුවෙහි නිමක් නැතිව සිනා මල් උපදී. එහෙත් ඒ සිනාව ජීවිත කාලය පුරාම මුවෙහි රඳවා ගැනීමට වාසනාව නොමැතිව මිහිමත ජීවත් වන කාන්තාවන්ගේ ගණන අපමණය.

ෆාරියා මොහොමද් ෆාරාට තවමත් වයස අවුරුදු විස්සකි. එහෙත් මේ වන විට ඇය දෙදරු මවකි. බොහෝ තරුණියන් විවාහවීමට සිතන වයසේ ෆාරියා සිටියත් ඇය නම් දැනටමත් සැමියාගෙන් දික්කසාද වී අවසන්ය. ඊට හේතුව ඇයගේ රුවෙහි අඩුවක් නොවේ.

‘කවුද කැමැති හැම වෙලාවෙම මළ පිට කරන දුගඳක් ඇති කාන්තාවක් සමඟ ජීවත් වෙන්න.’ සැමියා තමන් දික්කසාද කිරීම ඇය එසේ සාධාරණීකරණය කරන්නීය. සෝමාලියාවේ වෙඩි හඬ මැද්දේ ෆාරියා තම පළමු දරුවා බිහි කළාය. ඉන් පසු ෆාරියාට තම යෝනි මඟ හා ගුද මාර්ගය අතරින් මළ කාන්දු වෙන බවක් දැනුණි. ඒ වන විට ඇයගේ වයස අවුරුදු දහ අටකි.

මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන් වන්නේ ෆිස්ටියුලා (බගංදරාව) ලෙසිනි. අද වන විට ලෝකයේ මිලියන දෙකක් පමණ වූ කාන්තාවන් සංඛ්‍යාවක් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී සිටිති. ෆාරියා ඉන් එක් කාන්තාවක් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවන්ට අනුව ෆිස්ටියුලා තත්ත්වයෙන් වැඩිපුරම බැට කන්නේ අප්‍රිකානු කාන්තාවන්ය.

ෆාරියා මෙන් හුදෙකලා ලොවක ජීවත්වීමට වෙර දරන්නියන් මෙවැනි රටවල ඕනෑ තරම් මුණ ගැසේ. ‘ඒ ගඳ මොකක්ද කියලා මිනිස්සු අහනවා. ඔවුන් නහය වසා ගන්නවා. ඉතින් මං හිතුවා පුළුවන් තරම් සමාජයෙන් ඈත් වෙන්න.’ ෆාරියාගේ දෙනෙතින් පෙරෙන කඳුළු වචන ගංගාවකි. ඇයට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැත. ඇය සන්තක රෙදි කඩමලු සියල්ල මේ වන විට ඇය කාන්දුවන මළ උරා ගැනීමට ඇඳ අවසන්ය. දවසේ වැඩි කාල වේලාවක් ෆාරියා ගත කරන්නේ රෙදි සේදීමට හා වේළීමටයි. ලොවින් සිය දුගඳ වසන් කිරීමට ඇයට විලවුන්වල පිහිට පැතීම හැර වෙනත් විකල්පයක් නැත.

පවුල් සෞඛ්‍ය සේවිකාව ෆාරියාගේ කාන්දු වන සිදුර වසා දැමීමට සිවු වරක්ම උත්සාහ කළ ද එය නිරර්ථක විය.

මිය යන තුරුම මෙසේ ජීවත්වීමට සිදු වේවියි කියා සිතූ ෆාරියාට දැන් හොඳ කලදසාවක් ලබා ඇත. ඒ කෙන්යාටා ජාතික රෝහලේ ‘ෆිස්ටියුලා’ කඳවුරෙනි. නොමිලයේ පැවැත්වුණු මේ සායනයෙන් ෆාරියා වැනි කාන්තාවන් 102 කුටම සහනයක් ලැබුණි. අඬමින් ජීවිතය ගෙවූ තරුණ කතුන්ට කඳුළු පිසදා සිනාසෙන්නට කාලය උදා විය.

කීෂියා වකාසියා නම් ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරිය මේ සද්කාර්යයේදී ප්‍රධානත්වය ගත්තාය.

එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන අරමුදලෙන් අප්‍රිකානු රටවල් නවයක කළ සමීක්ෂණයකින් හෙළි වුණේ ‘ෆිස්ටියුලා’ තත්ත්වයෙන් පීඩා විදින රෝගී කාන්තාවන්ගෙන් බහුතරයක් බෙහෙවින්ම දිලිඳු, නූගත්, ගැටවර වයසේ කාන්තාවන් බවයි. පළමු දරුවා බිහි කළ පසු ඔවුන් මේ තත්ත්වයට ගොදුරු වී ඇත. මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ සමහර මවුවරුන් වයස අවුරුදු 12 ක් තරම් ළාබාල අයයි.

නව යෞවන, එනම් ගැටවර වයසේ ගැහැනු දරුවකුට දරුවකු බිහි කිරීමට තරම් පුළුල් උකුළක් නැත. ඒ නිසා දරුවාගේ හිස ප්‍රසූත කිරීමේදී ඇයගේ ශ්‍රෝණි අස්ථිවලට පීඩනයක් එල්ල වේ. එම පෙදෙසට සැපයෙන රුධිර සැපයුම නතර වී පටක මිය යයි. එහි අවසන් ප්‍රතිඵලය මුත්‍රා හෝ මළ පාලනයකින් තොරව පිටවන ආකාරයේ සිදුරක් සෑදීමයි. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රසූතියකදී දරුවා මිය යයි.

‘කාන්තාවන්ගේ ශ්‍රෝණි අස්ථි සම්පූර්ණයෙන් වැඩීමට වයස අවුරුදු විසි එකක් පමණ ගත වෙනවා. ‘අස්ථිය හරි හැටි වැඩී නැති කාලයේදී මේ වගේ ගැටලු ඇතිවීමේ අවදානමක් පවතිනවා’ වකාසියාකා පවසන්නීය. වයස අවුරුදු 15 – 19 ත් අතර ගැබිනි වන කාන්තාවන්, වයස අවුරුදු 20 – 24 ත් අතර ගැබිනි වන කාන්තාවන්ට වඩා මිය යාමේ ඉඩ දෙගුණයකින් වැඩි බව අමෙරිකානු පර්යේෂණයකින් හෙළි වී තිබේ.

විශේෂයෙන්ම ළමා වියේදී මන්දපෝෂණයට ගොදුරු වන්නන්ට ඇත්තේ පටු ශ්‍රෝණි පෙදෙසකි. අවාසනාවකට අඩු වයසින් විවාහ වන කාන්තාවන්ට ළමයින් ගැන තීරණයක් ගැනීමට අවසර නැත. එය තීරණය කරන්නේ සැමියා හෝ නැන්දණියයි. දරු පුසූතියට රෝහල වෙනුවට නිවෙස තෝරා ගැනීම මීට හේතු වන තවත් ගැටලුවකි.

නයිගාහි කතුන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 15 න් විවාහ ජීවිතයට ඇතුළත් වන්නන්ය. ඔවුන්ගෙන් 85% ක්ම දරුවන් බිහි කරන්නේ නිවෙසේදීය. මව රෝහලට රැගෙන යාමට මතක් වෙන විට පමා වී වැඩිය. එනම් සියල්ල සිදු වී අවසන්ය. දරුවා මිය ගොස් මව ‘ෆිස්ටියුලා’ තත්ත්වයට ගොදුරු වූ පසු, රෝහලට ගෙන යාම අශ්වයා පිටව ගියාට පසු ඉස්තාලය වැසීමට සමානය.

ෆිස්ටියුලා තත්ත්වයෙන් පීඩා විඳින කාන්තාවන්ගෙන් 70% කට පමණ තමන්ට ඇති වී තිබෙන ගැටලුව ගැන අවබෝධයක් නැත. මේ සම්බන්ධව පවතින මිථ්‍යා මත ද ඔවුන් නිහඬ කිරීමට හේතු වී තිබේ. අවිචාරවත් සබඳතා, ඒඩ්ස් රෝගය ‘ෆිස්ටියුලා’ තත්ත්වයට මඟ පාදන බවට සමාජයේ ඇති මිථ්‍යා මත මේ අහිංසක කාන්තාවන්ට ප්‍රසිද්ධියේ සිය ගැටලුව ගැන පැවසීමට ඇති බාධාවකි.