හැරී පොටර් අන්තිමේ සටනේ

හැරී පොටර් අන්තිමේ සටනේ

“... පොටර් මහත්තයා... ඔහු ඔබව මරන්නයි හදන්නේ...”

හැරී තමන් ගේ ඕවලාකාර ඇස්, කණ්ණාඩි කුට්ටම දෙනෙතින් ගලවා, ඇස් මට්ටම මදක් ඈතින් තබා එහි කාච තුළින් ඈත බලා යළිත් ඇසේ පළඳා ගත්තේ ය. නිතර ම දෙනෙතට වැටෙන කොණ්ඩා කැබලි කිහිපය අතින් සකසා ගනිමින් තම වමත කබා සාක්කුවට දමා යමක් සොයන්නට විය. මිනිත්තු කිහිපයකින් පීනික්ස් කුරුල්ලෙකු ගේ පිහාටුවකින් සෑදූ මැජික් යෂ්ටිය ඔහු දකුණතට හිර විය.

“... පොටර් මහත්තයා... ඔහු ඔබව මරනවා නියත යි...”

හැරී ගෙවල එල්ෆයා කියුවක් අසමින් පැති 12 ක කණ්ණාඩියකින් මදෙස බලන්නට විය. ඔහුට ඕනෑ තරමක් බලා ඉන්නට ඉඩ හැර මම ලිවීම පටන් ගතිමි.

“හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් දෙවැනි වෙළුම සිනමාශාලා වෙත නිකුත් වූයේ ජුලි මස 15 වැනිදා ය. නිකුත් වී සතියක් ඇතුළත අමෙරිකානු ඩොලර් 169, 189, 427 ක් උපයාගත් සිනමාපටය මේ වනතෙක් උපයා ඇති මුළු ආදායම ඩොලර් 1,026,948,085 කි.

හැරී පොටර් සිනමාපටවලින් මේ වනතෙක් වැඩිම ආදායමක් උපයා දී තිබූ පළමු සිනමාපටය වූ හැරී පොටර් ඇන් ද පිලසොෆර්ස් ස්ටොන් පරදවමින් හැරී පොටර් හත්වැන්න ඉදිරියට පැමිණ ඇත. ඩේවිඩ් හේට්ස් ගේ අධ්‍යක්‍ෂණයෙන් සහ ස්ටීව් ක්ලෝව්ස් ගේ තිරනාටකයෙන් හැඩ වූ සිනමාපටයට පාදක වී ඇත්තේ ප්‍රකට නවකතාකාරිනියක වූ ජේ. කේ. රෝලින්ග් ගේ හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් නවකතාවයි.

අමෙරිකානු ඩොලර් 125,000,000 ක ඇස්තමේන්තුවකට තැනුණු මේ සිනමාපටය හොලිවුඩ් සිනමාවේ එක් සන්ධිස්ථානයක් සටහන් කරන බවට සිතුවත් එය එසේ නොවී ය. ඩැනියල් රුඩ්ක්ලිෆ්, එමා වොට්සන්, රූපට් ගි‍්‍රන්ට්, රැල්ප් ෆියෙන්ස්, ඇලන්රික්මන් සහ ටොම් ෆෙල්ටන් සිනමාපටය පුරා රඟපෑමට අවස්ථාවක් සොයමින් නිකරුණේ සැරිසරනු දැකීම කනගාටුදායක ය.

කතාන්දරයේ ආකාරයට හැරී, රොන්, හර්මොයිනි තිදෙනා වොල්ඩමෝට් සාමි පැරදවීමට ඔහු සතුව ඇතැයි සැලකෙන මායා වස්තු ත්‍රිත්වයක් සොයා යයි. වොල්ඩමෝට් සාමිවරයාගේ අමරණීයත්වය වැනසීමට මායා වස්තු සොයා පළමුව ගි‍්‍රන්ගොට්ස් මායා බැංකුවටත් දෙවැනුව හොග්වාට්ස් මායා පාසලටත් අද්භූත ගමනක යෙදෙයි. ගි‍්‍රන්හොට්ස් මායා බැංකුවෙ ඇති හෙල්ගා හෆල්පෆ් ගේ කුසලානය පැහැරගෙන හැරී ඇතුළු පිරිස මකරෙකු ගේ පිටේ නැඟී එන දර්ශනය සැබවින් ම මනරම් ය. ත්‍රිමාණ සජීවිකරණ උපාය මාර්ග ඉතාමත් ඉහළ තලයක දක්නට ලැබෙන එම දර්ශනය නළුවන්ගේ රංගනය අබිභවා යයි.

සිනමාපටය ඇතුළත හැරීට තනිව කරන්නට යම් යම් වැඩකටයුතු පවරන අධ්‍යක්‍ෂවරයා රොන්ට සහ හරිමියොන්ට ද ඒ ආකාරයෙන් හවුල්ව කිරීමට යම් යම් වැඩ කටයුතු පවරයි. හෙල්ගා හෆල්පෆ් ගේ කුසලානය විනාස කිරීම එසේ රොන්ට සහ හර්මියොන්ට හවුලේ කිරීමට පැවරූ ක්‍රියාකාරකමකි. සිනමාපටය මුළුල්ලේ ම හදිසි කඩා පැනීම් බොහෝ ය. මේ බාධා කිරීම් හැරී පොටර් කාලයක් මුළුල්ලේ රැස් කර ගත් කීර්ති නාමය කුඩු පට්ටම් කර දැමීමට සමත් වී ඇත.

මෙහි අනවශ්‍ය දර්ශන බොහොමයකි. හැරී හදිසියේ ම සිය පෙම්වතියව සිප ගැනීම, රොන් සහ ෆර්මියොන් ගේ සිපාචාර කිරීම කතාන්දරයට බලෙන් ඔබ්බවා ඇති දර්ශනයෝ ය. මහා සටන් පවතින අවස්ථාවන්වල හොග්වාට්ස් පාසලේ කුඩා, තරුණ මායාකරුවන් දර්ශන තලයේ නිකරුණේ ඇවිදිමින් කාලය ගත කිරීම නිතරම දක්නට ලැබේ. එමෙන් ම සිනමාපටය අවසානයේ වසර 19 කට පසුව විවාහප්‍රාප්ත වී දරුවන් ලබා ඔවුන්ව හොග්වාට්ස් මායා පාසලට යැවීමට දුම්රියපොළට එන හැරී, රොස්, හර්මියොන්, මැල්ෆෝයි ආදීන් මතක් කර දෙන්නේ ජනපි‍්‍රය වට්ටෝරුවේ හින්දි චිත්‍රපටයකි.

හැරී යළිත් අර පැති 12 ක කණ්ණාඩියෙන් මදෙස බලා හිඳියි. ඔහු අත මැජික් යෂ්ටියකි.

“... අවාඩා කෙඩව්රු....”

මම සිතින් මිමිණීමි. ඒ නම් මරණීය සාපයකි. එහෙත් හැරී මැජික් යෂ්ටිය වැනුවේ නම් නැත.

හැරී පොටර් හත්වැන්නේ විශේෂ ප්‍රයෝග ශිල්පී ටිම් බර්ක් උගුර පාදමින් පෙනී සිටියේ යමක් කීමට විය යුතු ය.

“... මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. හැරී සහ වොල්ඩමෝට් අතර සිද්ධ වෙන අන්තිම සටන සකසන්න අපිට මාස 09 ක් පමණ ගියා. ඒත් චිත්‍රපටියේ මේක විනාඩ් 30 ක විතර පුංචි කෑල්ලක් විතරයි. හොග්වාට්ස් පාසල හදන එකටත් අපි නොසෑහෙන කාලයක් වැය කළා. කොහොමත් චිත්‍රපටයේ සියයට 80 ක් විතර තියෙන්නෙ ත්‍රිමාණ සජීවිකරණ ප්‍රයෝග තමයි...”

“... අලහොමෝරා...”

මම වැසුණු දොරක් විවර කළෙමි. එතැනින් පටු මාර්ගයකි. මාර්ගය කෙළවර මහා වනාන්තරයකි. මම අඳුරට දෑස හුරු කළෙමි. වොල්ඩමෝට් සාමි හැරී පොටර් වෙත මැජික් යෂ්ටිය දිගු කරගෙන ය. සැණින් හැරී වෙත පාවී ආවේ මරණයේ ශාපයයි. ආරංචිය කියන්නට මම පසු නොබලා දිවීමි. රොන්ටත්, හර්මොයිනිටත්, නෙවිල් ලෝන්ග්බොටම්ටත් කියූ ආරංචිය ම මහාචාර්ය මැක්හොනෙගල්ටත් කීමි. ඈ කඳුළු සලන්නට වූවාය.

සුණු විසුණු වූ පාලම මතින් වොල්ඩමෝට් සහ සහචරයෝ මතු වූහ. මිය ගිය හැරීව ඔසවාගෙන එන්නේ හැග්රිඩ් ය. ඔහු ගැන නරක ලියනවාට කිපී මට සාපයක් නොකළ හැරී පොටර් මිය ගොසිනි. තවත් කුමක් වී දැයි කීම නොහොබී.

හොග්වාට්ස් පාසලේ මායා බන්ධන හොලිවුඩය සලිත එකවර ම නිහඬ විය. සියලු මායාකරුවෝ දිගු කබා ගස්සමින් හොලිවුඩයෙන් බැස යනයුරු බලා සිටිය නොහැකියෙන් මම ආපසු හැරුනෙමි.

“... අවාඩා කෙඩව්රා...”

ඒ නම් මරණීය ශාපයකි.