මුලින්ම එවරස්ට් ගිය එඩ්මන්ඩ් හිලරි

මුලින්ම එවරස්ට් ගිය එඩ්මන්ඩ් හිලරි

ලොව උස්ම තැනට නැඟීමෙන්, උසස්ම පුද්ගලයකු වීමට ඔහු වරම් ලැබුවේය.

අදට පමණක් නොව මතුදාට ද ඔහු අමරණීය වන්නේ ඒ වාර්තාව නිසාය.

ශ්‍රීමත් එඩ්මන්ඩ් පර්සිවල් හිලරි මේ උත්සාහවන්තයාගේ නමයි.

නවසීලන්ත කඳු නඟින්නකු වූ එඩ්මන්ඩ් හිලරි, නේපාල ජාතික ෂර්පා කඳු නඟින්නකු වූ ටෙන්සිං නෝර්ගේ සමඟ එක් වී ලොව ප්‍රථම වරට එවරස්ට් කඳු මුදුන තරණය කෙළේය.

ඒ ඓතිහාසික දිනය 1953 මැයි 29 වැනිදායි.

ඒ වනවිට එඩ්මන්ඩ් හිලරි තිස් තුන් හැවිරිදි තරුණයෙකි. මේ හපන්කම නිසා විසි වැනි සියවසේ ලොවට වඩාත් බලපෑම් කළ පුද්ගලයන් සිය දෙනා අතරට එඩ්මන්ඩ් හිලරි ද නම්කර තිබුණේය.

හිලරි ඉපදුණේ 1919 ජූලි 20 වැනිදා ඕක්ලන්ඩ්හිය. ඔහුගේ පියා පර්සිවල් ඔගස්ටස් හිලරි ය. මව ගර්ටෘඩ් හිලරි ය. කුඩා වියේදී හිලරිගේ සිත විර ක්‍රියා ලොවක සැරිසැරී ය.

ද්විතික අධ්‍යාපනය ලබන විට ඔහුට කඳු නැඟීමේ ආසාවක් ඇති විය.

එයට හේතු වූයේ පාසලෙන් රෞපේහු කඳුකරයට ගිය විනෝද ගමනයි.

එම ගමනේදී ඔහු සමකාලීනයන්ට වඩා පහසුවෙන් කඳු තරණය කෙළේය. ඕක්ලන්ඩ් සරසවියෙන් ගණිතය සහ විද්‍යාව හදාරමින් සිටියදී 1939 දී ඔහු පළමු කඳු තරණය කළේ මවුන්ට් ඔලිවියර් තරණය කිරීමෙනි.

උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු ඔහු නවසීලන්තයේ රාජකීය ගුවන් හමුදාවට බැඳුණේය. ඒ 1943 දීයි.

ඔහු එවරස්ට් කන්ද තරණය කිරීමට පෙර නවසීලන්තයේ උසම කන්ද තරණය කෙළේය. ඒ 1948 ජනවාරි 30 වැනිදායි. ඊළඟට ඔහු තරණය කළේ ඇල්ප්ස් කඳුවැටියයි. අවසානයේදී ඔහු හිමාලය තරණය කරන ලදී. මේ අත්දැකීම් සමඟ ඔහු එවරස්ට් තරණයට සූදානම් වූයේය.

එඩ්මන්ඩ් හිලරි එවරස්ට් කන්ද නැඟීමේ මුල් පියවර තැබුවේ 1951 දීයි. ඔහුගේ උත්සාහය සාර්ථක වූයේ 1953 මැයි 29 වැනිදායි. එදින උදේ 11.30 ට ඔහු ටෙන්සිං නෝගේ සමඟ කන්ද තරණය කෙළේය.

මේ වීර ක්‍රියාවට බ්‍රිතාන්‍යයට පැමිණි හිලරිට දෙවැනි එළිසබෙත් මහ රැජින නයිට් පදවියෙන් පුදනු ලැබුවාය.

ලෝක ප්‍රසිද්ධ හිලරි ඇන්ටාක්ටික් ගවේෂණයට ද සහභාගි වූයේය. හිලරි හැටේ දසකයේදී නේපාලයට පැමිණ සායන, රෝහල්, පාසල් ඇරැඹුවේය. එවරස්ට් කඳු තරණයෙන් පසු ඔහු තම චරිත කතාව අලලා පොතක් ලිව්වේය. හිලරි ඉතා ලැජ්ජාශීලී අයෙකි.

ඔහුගේ හිත ගිය තරුණියගේ සිත ගත්තේ ද ඇයගේ මවගේ මාර්ගයෙනි. දෙදෙනා දරුවන් තිදෙනකුගේ මාපියෝ වූහ.

පීටර්, සාරා, බෙලින්ඩා ඔවුන්ගේ දරුවන් තිදෙනායි. බිරිය සහ එක් දියණියක් ගුවන් අනතුරකින් මිය ගිය අතර, ඉන් පසු ඔහු ජූන් මුල්ග්‍රෝ නම් වැන්දඹු කාන්තාව විවාහකර ගත්තේය.

2002 වසරේ එවරස්ට් කඳු තරණයට වසර 50 ක් පිරුණු අතර එය සැමරීමට හිලරිගේ පුතුª සහ මෝර්ගේ පුතු එවරස්ට් කඳු තරණය කළහ.

එඩ්මන්ඩ් හිලරි 2008 ජනවාරි 11 වැනි දින මිය ගියේ හෘදයාබාධයකිනි.රාජ්‍ය ගෞරව සහිත ව ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණි.