කිඩ්මන් මොනාකෝ රැජින වෙයි

කිඩ්මන් මොනාකෝ රැජින වෙයි

නිකොල් කිඩ්මන් ඔස්කාර් සම්මානලාභී නිළියකි. නිළියකට හෝ නළුවකුට ඔස්කාර් සම්මානයක් ලැබීම රජකම ලැබීම හා සමාන ය. ඇයට මේ ලැබෙන්නේ ද තවත් රජකමකි. හොලිවුඩයේ යුගයක රැජන සහ සැබෑ ජීවිතයේ ද රැජනක වූ ග්‍රේස් කෙලීගේ චරිතය තිරයේදී ජීවත්කර වීමට ඇයට වරම් ලැබී ඇත. ‘ග්‍රේස් ඔෆ් මොනැකෝ’ නම් මේ සිතුවම්පටයට පවුම් මිලියන 10 ක් වැයවෙනු ඇති බවට ගණන් බලා තිබේ.

ඔලිවර් දහන්, සිනමාපටයේ අධ්‍යක්ෂවරයායි. 1961 දෙසැම්බර් සිට 1962 නොවැම්බර් දක්වා කාලයේදී දෙදරු මවක් හා රජ බිරියක ලෙස ඇය මොනකෝවේ ලද අත්දැකීම් ඔහු තිරයට ගෙන එනු ලබයි. හිටපු ඔස්කාර් සම්මානලාභී නිළි ග්‍රේස්, සිය සැමියා සමඟ ග්‍රේස් කුමරිය යන භූමිකාව නිරූපණය කළ අන්දම, සැමියා, තෙවැනි රෙයිනර් කුමරුට ප්‍රංශ නායක චාර්ල්ස් ඩි ගෝල් පනවන ලද ආදායම් බදු නීතිය සමඟ ඇති වූ තිත්ත යුද්ධයේදී ඇයගේ ක්‍රියා කලාපය මෙහිදී සිනමා බසින් විවරණය කෙරෙයි.

‘ගේස් ඔෆ් මොනැකෝ’ 2011 දී අති සාර්ථක වූ ‘කිංග්ස් ස්පීච්’ ට සමාන විය හැකි බව වැඩි දෙනාගේ අදහසයි. හයවැනි ජෝර්ජ් රජු කථන ආබාධය ජය ගෙන සිහසුන රැක ගන්න කළ උත්සාහය ඉන් විද්‍යාමාන විය.

අදත් ජනතා සිත්සතන්හී රජ කරන සිනමා කුමරියගේ, පොදු ජනතාවගේ ආදරණීය රැජනගේ චරිතයට ආරූඨ වන්න හොලිවුඩයේ බොහෝ සුපිරි තාරකාවෝ පෙරුම් පිරූහ. එහෙත් සැබෑ වාසනාවන්තිය වූයේ නිකොල් කිඩ්මන්ය. හතළිස් පස් හැවිරිදි දෙදරු මවක වුවත් නිකොල් තවමත් මේ චරිතයට පණ පෙවීමට තරම් සොඳුරු ය. සැබෑ චරිත, සිනමා චරිත බවට පත් කිරීමට ද නිකොල් සමත් බව, ඇයට, ඔස්කාර් සම්මානයක් ගෙන දුන් වර්ජිනියා වුල්ෆ් (දි අවර්ස් සිනමාපටයේ) චරිතයම නිදසුනකි.

1950 හොලිවුඩයේ තාරකා සංකේතය වූ ග්‍රේස්, ඇල්ෆ‍්‍රඩ් හිච්කොක්ගේ සිනමාපටවලින් තැබු මතකය තවමත් අමරණීය ය. ඩයල් එම් ෆෝ මර්ඩර්, ටු කැච් අ තීෆ්, හයි සොසයිට් වැනි සිනමා රංගන ග්‍රේස් ජනහදවත්හී රැජනක් කළ සිනමාපටයි.

ජනප්‍රියත්වය, අසමසම රුව, රංගන හැකියාව වයස විසි හයේදී ඇයට පාර කැපුවේ තවදුරටත් තරු මාවතක යාමට නොවේ. රජ මාවතක යාමටයි.

සිනමාපටයක් යළි දැකීමටවත් වරම් ලබා නොදෙමින්, තෙවැනි රෙයිනර් කුමරු මේ තරු කුමරියගේ දෑත ගත්තාය. 1956 දී කුමරුන් සමඟ විවාහ වූ පසු ඇය ආපසු ආ සිනමා මාවත තහනම් දේශයක් විය. කැරොලින්, ස්ටෙෆනි, සහ ඇල්බට් රාජකීය විවාහයෙන් ඇය ලද දරු තිදෙනායි.

තමන් පැද වූ වාහනය පාලනය කළ නොහැකිව කුමරිය බරපතළ අනතුරකට මුහුණ දුන්නේ පනස් දෙහැවිරිදි වියේදීයි. අනතුරින් පසු වැඩිකල් ජීවත් නොවූ ඇය 1982 සැප්තැම්බර් 14 වැනි දින මිය ගියේ කුමරියක වූ තරකාවක ගැන සදාදරණීය මතකයක් රන්දවමිනි.

පසුගිය දාහතර වැනිදා සැමරුණේ ඇයගේ තිස් වැනි අනුස්මරණයයි. ඇය ඉපදී වසර හැත්තෑ හයක් සපිරෙන්නේ 2012 නොවැම්බර් 12 වැනි දිනටයි. ඒ අනුව 2012 වසර ඇයගේ ජීවන චාරිකාවේ අපූරු වසරකි. කුමරියක වු පසු සිනමා රංගනයට තහංචි පැන වුණ ද ඇයගේ තිස්වැනි අනුස්මරණය මොනැකෝ රාජකීයයන් සමරන්නේ සිනමා මතක මුල්කර ගනිමිනි. මොනැකෝහි සංචාරක ප්‍රධානියා පවසන අන්දමට, එරටට ජන හද ඇද බැඳ තබන හොඳම දැන්වීම මොනැකෝ කුමරිය, ග්‍රේස් කෙලී ලෙස සිටියදී රැ¼ගූ ‘ටු කැච් අ තීෆ්’ සිනමා දැන්වීමයි.

ග්‍රේස්ගේ පෞද්ගලික ලේකම් ලුසෙට් ලෙවී සුසාන් ඇසෝගිලෝ දහනව වසරක් ඇය සමඟ සේවය කර ඇත. ඇය පවසන්නේ ඇය සැබෑම නිළියක සහ සැබෑම කුමාරිකාවක කියායි.

නිකොල් මෙන්ම ග්‍රේස් ද ඔස්කාර් සම්මානලාභිනියකි. සිනමාපටයේ අධ්‍යක්ෂවරයා ද ඔස්කාර් සම්මානලාභියකි. මේ ඔස්කාර් වීරයන් සහ වීරවරියන් ‘ග්‍රේස් ඔෆ් මොනැකෝ’ සිනමාපටය තවත් ඔස්කාර් සිනමා මතකයක් බවට පත් කිරීමට ද වෙර දරනු බවට සැකයක් නැත.

නිකොල් ජීවමාන කිරීමට යන්නේ අමෙරිකානු සිනමාවේ වඩාත්ම ජනප්‍රිය චරිතයයි. ජනතා මනාපය ඇයට, මැරිලින් මොන්රෝට ද වඩා ඉහළින් ඇත.

නිකොල් ඔස්ට්‍රේලියානු - අමෙරිකානු නිළියකි. ගායිකාවකි. සිනමාපට නිෂ්පාදිකාවකි. ඇය චලන සිනමා කර්මාන්තයේ වැඩිම ගෙවීමක් ලද නිළියකි.

කුඩා වියේදී ලැජ්ජාකාරියක වුවත් වයස දහසයේදී ඇය රංගනයට එක් වූවාය. නිළි නයෝමි වොට්ස් ද නිකොල්ගේ පන්තියේ යෙහෙළියකි.

නිකොල්ගේ විවාහ ජීවිතය නම් ග්‍රේස්ගේ විවාහ ජීවිතය මෙන් සතුටින් ගලා ගියේ නැත. ඇය පළමුවර විවාහ වූයේ ‘ඩේස් ඔන් තන්ඩර්’ රූගත කිරීමේදී හමු වූ ටොම් කෲස් සමඟයි. ඒ විවාහය පැවතුණේ එකොළොස් වසරකි. දෙදෙනා දරු දෙදෙනෙක් අරන් හදා ගත්හ. ඇයගේ දෙවැනි විවාහය සිදු වූයේ ගායකයකුª වූ කීත් අර්බන් සමඟයි. දැන් ඔවුන්ට දරුවන් දෙදෙනකු සිටියි.

නිකොල්ගේ ජීවිතය ආදරණීයයන්ගෙන් පිරී ඇතත් තවමත් ඇයගේ වැඩි කැමැත්ත ටොම් කෲස්ටය. ඒ ආදරය සදා මතකයේ රැඳෙන බව ඇය ටොම් සමඟ දික්කසාද වූ පසු ප්‍රසිද්ධියේ කියා සිටියේ තදබල සිත් වේදනාවකිනි.

ග්‍රේස් කුමරිය ලෙස රඟද්දී නම් නිකොල්ට ආදරය කිරීමට සිදු වන්නේ තෙවැනි රෙයිනර් කුමරුට පමණි.