ආසියාවට, අප්‍රිකාවට සීනි අමාරුව වැඩි වෙලා

ආසියාවට, අප්‍රිකාවට සීනි අමාරුව වැඩි වෙලා

දියවැඩියාව ජීවිතයට අඬවැඩියාවකි. එය වැලඳුනහොත් හරිහැටි කෑමක් – බීමක් ගන්නටත්, වැඩක් – පළක් කරගන්නටත් බැරිය. දියවැඩියාව නිසා තවත් අතුරු ආබාධ රැසකටම මුහුණ දෙන්නට සිදුවන අවස්ථාත් එමටය. ජීවිත කාලය පුරාම විවිධ ඖෂධ වර්ග ලබා ගනිමින්, කරදරයන්ටත් මැදි වෙයි. ජීවිතයේ සතුට ලබන්නට තිබෙන මං සියල්ලක්ම ඇහිරී ගියාක් මෙන් යැයි විටෙක සිතෙන තරම්ය. නිමක් නැති දියවැඩියා ප්‍රශ්නය ලොව කාටත් අමිහිරි අත්දැකීම් එකතු කරමින් සිටී. මේ අතර වෙල්කම් ට්‍රස්ට් සහ බ්‍රිටිෂ් හාර්ට් ෆවුන්ඩේෂන් යන ආයතන අනුබද්ධව කළ පර්යේෂණයකින් ලෝක දියවැඩියා තත්ත්වය ගැන අලුත්ම තොරතුරු අනාවරණය වුණේ ය.

විද්‍යාඥයන්ගේ ව්‍යායාමය වූයේ නොයෙකුත් ජාතීන්ට දියවැඩියාව බලපා තිබෙන ආකාරය අනාවරණය කර ගැනීමයි. මේ සඳහා ලබාගත් සාම්පලයට පුද්ගලයෝ 5000ක් ඇතුළත් වූහ. දකුණු ආසියාතික, අප්‍රිකා, කැරිබියානු සහ යුරෝපා කලාපවලට අයත් පුද්ගලයෝ ඒ අතර සිටියහ. ඔවුහු වයස අවුරුදු 40 හි පසුවූවෝය. පර්යේෂණයේදී වැඩි අවධානයක් යොමු කෙරුණේ දෙවැනි ආකාරයේ දියවැඩියා තත්ත්වය හෙවත් type - 2  දියවැඩියා තත්ත්වය කෙරෙහිය.

type - 2 දියවැඩියා තත්ත්වය බහුල ලෙසට දැකගත හැකි වුණේ දකුණු ආසියා, අප්‍රිකා සහ කැරිබියානු කලාපවල පුද්ගලයන් තුළ ය. මේ කලාපවල ජීවත්වන බොහෝ දෙනකු වයස අවුරුදු 80 පමණ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී හමාර බව පර්යේෂකයන්ගේ අදහසයි. අසූ වැනි විය ඉක්මවූ යුරෝපා ජාතිකයන් දියවැඩියාවෙන් පීඩා විඳිනවාට වඩා වැඩියෙන් අසූ වැනි විය ඉක්මවූ දකුණු ආසියාතිකයන්, අප්‍රිකානුවන් සහ කැරිබියානුවන් දියවැඩියාව නිසා පීඩා විඳින බව අනාවරණය වී තිබේ. පර්යේෂකයන් ලබා ගත් සාම්පලයේ සිටි පුද්ගලයන් 5000ට වසර 20ක් පුරා විවිධ පරීක්‍ෂණවලට යොමු කිරීමෙන් ලබාගත් දත්ත මත මේ නිගමනයට එළඹ ඇත.

type - 2 දියවැඩියා තත්ත්වය පිළිබඳ මුල් අවධියේදීීම දැනගන්නට ලැබුණොත් එය පාලනය කර ගැනීම පහසු ය. ව්‍යායාම සහ නිසි ආහාර පාන පිළිවෙතක් අනුගමනය කිරීම ඊට ප්‍රමාණවත් ය. එසේ වුවත් තවත් සමහර අවස්ථාවල ඖෂධ මත යැපෙන්නටත් සිදු වේ. එහෙත්, ඉන්සියුලින් ලබාදීමට වන්නේ දියවැඩියා තත්ත්වය උග්‍ර තත්ත්වයට හැරුණු විටදී පමණි. බරනඥ -1 තත්ත්වය මෙයට වඩා වෙනස් ය. type - 1 දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන කෙනකුට ආරම්භයේ සිටම ඉන්සියුලින් සහය අවශ්‍ය වේ.

පර්යේෂකයන් පවසන පරිදි දකුණු ආසියාතික, අප්‍රිකා සහ කැරිබියානු කලාපවල සිටින පුද්ගලයන් වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ type - 2 දියවැඩියා තත්ත්වයෙනි. type - 2 දියවැඩියා තත්ත්වය විවිධ ජාතීන් තුළ අඩු වීම හෝ වැඩි වීම සිදුව තිබෙන්නේ කුමන හේතුවක් නිසාද? යන්න පිළිබඳත් අවධානය යොමු කෙරිණි. පර්යේෂණයට සහභාගි වුණු විශේෂඥ වෛද්‍ය නිෂ් චතුර්වේද් පවසන්නේ එය ආහාර පුරුදු සහ ජීවන පැවැත්ම මුල් කරගෙනම පැන නැඟුණු තත්ත්වයක් බවයි.

එසේ නැතිව විවිධ ජාතීන් තුළ type - 2 දියවැඩියා රෝගීන් වැඩිවීමට හෝ අඩුවීමට හෝ බලපාන විශේෂ හේතුවක් නැත. type - 2 දියවැඩියා තත්ත්වය ඇතිවන්නට හේතු වනු ඇතැයි කියා මෙතෙක් අනුමාන කරගෙන සිටි සාධක ගණනාවක් කෙරෙහි අවධානය යොමු කිරීමට විද්‍යාඥයන් අමතක නොකළහ. විශේෂයෙන්ම ප්‍රවේණිය සහ දියවැඩියාව අතර සම්බන්ධය සොයා බැලිණි. පර්යේෂකයන් පවසන්නේ type - 2 දියවැඩියා තත්ත්වය දකුණු ආසියාතිකයන්, අප්‍රිකානුවන් හා කැරිබියානුවන් තුළ වැඩියෙන් ඇතිවන්නට ජානවල බලපෑමක් නැති බවයි.

දියවැඩියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තුළ පර්යේෂණ කරන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක වෛද්‍ය ඉයන් ෆ්‍රේම් අවධාරණය කරන්නේ, සෑම පුද්ගලයකුම තමන්ගේ සිරුරේ බර පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.

“හැම කෙනෙක්ම type - 2 දියවැඩියා තත්ත්වය ඇතිවන්නට තමන් තුළ අවදානමක් තිබේදැයි කියා දැනගත යුතුම යි. ඒ අය වෛද්‍ය පර්යේෂණවලට යොමු වෙලා තත්ත්වය අවබෝධ කරගෙන සිටීම හරිම වැදගත්. මම දන්න විදියට දකුණු ආසියා කලාපයේ ඇතැම් අය දන්නේ නැහැ තමන්ට දියවැඩියාව තියෙනවද නැද්ද කියලවත්. අවුරුදු ගණන් දියවැඩියාව නිසා ඔවුන් පීඩා විඳිනවා. හරිහැටි ප්‍රතිකාරයක් ලබාගන්න යන්නේ නැහැ. අන්තිමට රෝගය දරුණු අතට හැරෙනවා. එතකොට තවත් රෝග ගණනාවක් ඇතිවෙන්න පුළුවන්. ඒ අතර හෘද රෝග, ආඝාත තත්ත්ව ඇතිවීම, වකුගඩු දුර්වලවීම වගේ අවාසනාවන්ත තත්ත්ව තිබෙනවා. සමහරු අන්ධ වෙනවා. තවත් සමහරුන්ගේ අත් පා කපලා ඉවත් කරන්නත් වෙනවා.”

මේ කතා ඇසෙන විට සිතෙන්නේ දියවැඩියාව කෙතරම් භයානක රෝගයක් දැයි කියාය. පසුගිය වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ ලෝක ප්‍රජාවෙන් මිලියන 34.6 කට දියවැඩියාව ඇති බවයි. දියවැඩියාව නිසා වැඩිපුරම මියයන්නේ අඩු ආදායම් තත්ත්වයක් ඇති රටවල මිනිසුන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අලුත්ම පර්යේෂණයේ තොරතුරුවලින් දැක්වෙන විධියට, දකුණු ආසියාතිකයන් වූ අපිත් දියවැඩියා අවදානමට මුහුණ දී සිටින්නෙමු. මේ අවදානමෙන් මිදෙන්නට හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම වැදගත් ය. එපමණකින්ම සෑහෙන්නට ද බැරිය. නිතර දෙවේලෙහි තමන්ගේ සිරුර තුළ සිදුවන ක්‍රියාකාරිත්වයන් පරීක්‍ෂණ මගින් අනාවරණය කරගැනීමටත් සිදුවේ.

බී. බී. සී. ඇසුරිනි