හිට්ලර්ගේ පෙම්වතිය කෙනඩි තුරුලේ

අමෙරිකානු ජනපතිවරයකුගේ පෙම් හබ – (1)

හිට්ලර්ගේ පෙම්වතිය කෙනඩි තුරුලේ

ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි 1917 මැයි 29 දා උපත ලැබුවේ ය. ජේ.එෆ්.කේ යන කෙටි නාමයෙන් හැඳින් වුණු ඔහු අමෙරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා ලෙස 1961 සිට ඔහුගේ ඝාතනය සිදුවූ 1963 නොවැම්බර් 22 දා දක්වා කටයුතු කළේ ය.

දේශපාලනයට පිවිසෙන්නට පෙර නාවික හමුදා සේවයට එක් වූ ජෝන් එෆ් කෙනඩි දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී පැසිෆික් සයුරේ යුද කටයුතුවල නියැලුන අයෙකි. ඔහුගේ පළමු පෙම් හබය ගැන වාර්තා වන්නේ දෙවන ලෝක යුද්ධය ඇරඹෙන්නට පෙරය.

ඩෙන්මාර්ක මූලය සහිත අමෙරිකානු ජාතික යුවතිය ඉන්ගා 1936 මියුනිච් ඔලිම්පික් උළෙලට සහභාගි වූයේ 16 හැවිරිදිව සිටියදීය. රූමතියක වූ ඇය ජර්මනියේ ආඥාදායක හිට්ලර්ගේ ඇසට හසුවූ අතර ඇය ගැන උනන්දුවූ ඔහු ඇය හා එකට සිට ඡායාරූප ගත්තේ ය. ජර්මනිය හා එහි පාලකයා පිළිබඳ සැකයෙන් හා විමසිල්ලෙන් සිටි අමෙරිකාවේ ෆෙඩරල් ඔත්තු සේවය ඉන්ගා හා හිට්ලර් එක්ව පෙනී සිටි ඡායාරූප තම ලිපි ගොනු අතරට එක් කර ගත්තේ ය.

ඔලිම්පික් උළෙල අවසන් වූ පසු ද ඉන්ගා කෙටි කලක් ජර්මනියේ නතර වී සිටියා ය. හිට්ලර් තමා පසුපස පැමිණෙනු ඇතැයි සමහර විට ඇය සිතන්නට ඇත. ඔලිම්පික් උළෙල අවසන් වීමත් සමඟ හිට්ලර්ට ඉන්ගා ගැන අමතක වී තිබිණි.

ඉන්ගා අමෙරිකාවට පැමිණ ‘නිව්යෝර්ක් ටයිම්ස් හෙරල්ඩ්’ පුවත්පතේ සේවයට එක් වූවා ය. කෙසේ වෙතත් හිට්ලර්ට හා නාසීන්ට සමීප වූ අය ගැන ෆෙඩරල් ඔත්තු සේවය දිගින් දිගටම විමසිලිමත් ව සිටියේ ය. ඔවුහු ඉන්ගා ගේ නිවෙසේ රහස්‍ය කැමරා සවි කළ අතර ඇගේ නිවෙසට යන එන පුද්ගලයන් පිළිබඳ මහත් විමසිල්ලෙන් පසුවූයේය.

ඉක්මනින්ම ඔත්තු සේවයට දැන ගන්නට ලැබුණේ අමෙරිකානු නාවික හමුදාවේ ලුතිනන්වරයකු වූ තරුණ ජෝන් එෆ්.කෙනඩි නිතර ඉන්ගා ගේ නිවහනට යන එන බවය. ජෝන් බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළ එමෙන්ම සමකාලීන අමෙරිකානු ජනාධිපති තියඩෝර් රෑස්වෙල්ට් ගේ සමීපතමයකු වූ ජෝශප් කෙනඩිගේ පුත්‍රයා වූයේ ය.

රහස්‍ය කැමරාවල සටහන්ව තිබූ ඡායාරූපවලින් ඔත්තු සේවය වටහා ගත්තේ කෙනඩි සහ ඉන්ගා අතර දුරදිග ගිය සම්බන්ධයක් පවතින බවයි. ඔත්තු සේවය බියට පත්වූයේ නාවික හමුදාවේ රහස් කෙනඩිගෙන් දැනගෙන ඉන්ගා ඒවා ජර්මනියට දන්වනු ඇත කියා ය. ජෝන් එෆ්.කෙනඩි මේ වන විට සේවය කරමින් සිටියේ වොෂිංටනයේ හමුදා මූලස්ථානයේ ය.

ඔත්තු සේවා වහා පවතින තත්ත්වය පිළිබඳ නාවික හමුදා බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්තේ ය. ඔහු වහා පැසිෆික් නාවික හමුදා මධ්‍යස්ථානයට මාරු කර යැවිනි. ජෝන් එෆ්. කෙනඩි - ඉන්ගා පෙම් හබයේ අවසානයද එයම විය. කෙනඩි ඉන්ගාට ප්‍රේම කළේ නැත. ඔහුට එය හුදෙක් විනෝදාස්වාදය මූලික කරගත් ඇසුරක් පමණක්ම වූයේ ය.

ජෝන් ගේ ඊළඟ පෙම්වතිය වූයේ ඇලීසියා ය. ඇය පෝලන්ත - යුදෙව් යුවතියකි. ජෝන් හා ඇලීසියා අතර ඇසුර විනෝදාශ්වාදය නොව ප්‍රේමය මූලික කරගත් එකක් වූයේ ය. ඔහු ඇලීසියා ඩාර්ට පොරොන්දු වූයේ ඇයව විවාහ කර ගන්නවා කියා ය. එම පොරොන්දුව අධිකරණය තෙක් ගිය එකක් වූයේ පසුවය.

කෙනඩි ඇලීසියා හා විවාහ වීමට දුන් පොරොන්දුව ඔහුගේ පියාට බරපතළ ගැටලුවක් වූයේ ය. පෝලන්ත යුදෙව් යුවතිය හා තම පුතු විනෝදයට ඇසුරු කිරීම ඔහු මුලදී ගණනකට නොගත් නමුත් ජෝන් ඇය හා විවාහ වීමට දුන් පොරොන්දුව ඔහු ඉවසූයේ නැත. තම පුතු දේශපාලන ක්ෂේත්‍රයේ දුර ගමනක් යනු දැකීම ජෝෂප් කෙනඩිගේ බලාපොරොත්තුව විය. ඔහු වහා ජෝන් කෙනඩිට අණ කළේ ඇලීසියාගෙන් ඈත් වන්නට කියා ය.

ජෝන් ඊට එකවර එකඟ වූයේ නැත. එහෙත් ඇලීසියා හා විවාහය දේශපාලන කේෂේත්‍රයේ දුර ගමනකට බාධාවක් වන ආකාරය ජෝෂප් කෙනඩි තම පුතුට අවබෝධ කර දුන්නේ ය. ඒ අවවාද පිළිගත් ජෝන් එෆ්.කෙනඩි ඇලීසියාගෙන් ඈත් වූයේ ය.

එහෙත් ඇලීසියා විරහා වේදනාව විඳගෙන පසෙකට වී සිටින්නට කැමති වූයේ නැත. ‘විවාහ පොරොන්දුව බිඳ දැමූවේය.’ යන චෝදනාව ජෝන්ට එල්ල කරමින් ඇය අධිකරණය වෙත ගියා ය. පෙම් හබයක් විවෘත අධිකරණයේ විභාග වනු දැකීම කෙනඩි පරපුරේ අපේක්ෂාව නොවීය. ඒ අනුව ඇලීසියා සමඟ අධිකරණයෙන් පිටතදී එකඟත්වයකට පැමිණෙන්නට කෙනඩිවරු තම නීතිඥයන්ට උපදෙස් දුන්හ. ඒ අනුව ඩොලර් ලක්ෂ පහක මුදලක් ලබාගෙන නිහඬ වන්නට ඇලීසියා තීරණය කළා ය.

දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී නාසි නාවික හමුදාවන්ට හා විශේෂයෙන්ම ජපන් නාවික හමුදාවට එරෙහිව සටන් කළ ජෝන් එෆ්. කෙනඩි විවාහ වූයේ 1953 දී ය. ජැකොලයින් ලී බොවියර් ඔහුගේ මනාලිය වූවා ය. ඇය නිව්යෝර්කයේ කොටස් වෙළෙඳපොළ බ්‍රෝකර්වරයකු වූ ජෝන් වෙමොයු බොවියර්ගේ හා ජැනට් නෝර්ටන් ලී ගේ දියණිය වූවා ය.

1952 දී සෙනෙට් සභාවට ප්‍රවිෂ්ට වනු පිණිස ජෝන් කෙනඩි වෙහෙස වෙමින් සිටියදී පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ජැකොලයින් ජෝන් කෙනඩිට හඳුන්වා දෙනු ලැබූයේ චාල්ස් එල්. බාර්ට්ලෙට් නමැති මාධ්‍යවේදියා විසිනි. දෙදෙන වහා පෙමින් බැඳුණු අතර දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම 1953 ජූනි 25 දා නිල වශයෙන් නිවේදනය කෙරිණි. එම වසරේ සැප්තැම්බර් 12 දා ඔවුහු රෝඩ්ස් දූපතේ ශාන්ත මේරි දේවස්ථානයේදී විවාහ වූහ. ඔවුන්ගේ විවාහ මංගලෝත්සවයට අමුත්තන් 700ක් සහභාගි වූ බව වාර්තා විය. එය සමකාලීනව අමෙරිකාවේ පැවැත්වුණ විශාලතම විවාහ මංගල්‍යෝත්සවය වූයේ ය. දෙදෙන මධුසමය ගත කිරීමට ගියේ මෙක්සිකෝවේ අකපුල්කෝ ප්‍රදේශයටය.

නිල වශයෙන් ප්‍රකාශ වන්නේ මෙය ජෝන් එෆ්.කෙනඩිගේ පළමු සහ එකම විවාහය ලෙසය. එහෙත් එය එසේමද? ලුවිස් එල්.බ්ලාවෙල්ට්ගේ ‘ ද බලාවෙල්ට් ෆැමිලි ජිනිඅලොජි’ ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට ජෝන් ඊට පෙර, විවාහයක් කරගෙන ඉන් දික්කසාද වී තිබේ. ඔහු එසේ විවාහ වී ඇත්තේ දෙවතාවක් විවාහ වී දෙවතාවක් දික්කසාද වූ ඩූරී කර්. මැල්කම් නමැති කාන්තාව සමඟිනි. ඇගේ මුල් සැමියා ෆර්මින් ඩෙස්ලාස් ය. දෙවැනි සැමියා ජෝන් බර්ස්බැක් ය.

ඩූරී ජෝන් ගේ වැඩිමල් සොහොයුරා වූ ජෝ ගේ පෙම්වතිය වී සිට ඇත. ජෝ මියගිය පසු ඇය සමීප වී ඇත්තේ ජෝන්ට ය. දෙදෙන නිතර හමු වී ඇති අතර ඔවුන් අතර සිදුවූ, කෙටි කාලයක් පැවැති විවාහයට හා දික්කසාදයට අදාළ නිල ලිපි ලේඛන සියල්ල ඔහුගේ පියා ජෝෂප් සිය දේශපාලනමය බලය යොදා විනාශ කිරීමට කටයුතු කළ බව පැවසෙයි. ජෝන් - ඩූරී විවාහය හා දික්කසාදය පිළිබඳ සමකාලීනව විවිධ කට කතා පැතිර ගියද ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ ඒවා ප්‍රතික්ෂේප කිරීමට යුහුසුළු වූයේ නැත.
 

ලබන සතියට...

ලේකම්වරියගේ නිවෙසට බොරලු ප්‍රහාරයක්