නාසි උමතුවේ සාප ලද්දෝ

නාසි උමතුවේ සාප ලද්දෝ

ඖෂධ දේශපාලනයේ සංවේදී කතාවක්

දැරියගේ හිස මඳක් පසුපසට හැරී තිබේ. වේදනාවෙන් හඬන ඇයගේ මුව විවර වී ඇත. ඇයට කිසිවක් පිළිබඳ හැඟීමක් නැති සෙයකි.... මේ දැරිය ජීවමාන නොවේ, ඇය ලෝකඩ මූර්තියකි. එහෙත් ඇය විසින් සංකේතවත් කරනු ලබන්නේ 1950’ – 60’ දශකවල තමන් හෝ තම මවුපියන් නොදැක විකෘතිතා සහිතව මෙලොවට බිහිවූ ලොව පුරා නොයෙක් තැන්වල අදත් ජීවතුන් අතර, සිටින දස දහස් සංඛ්‍යාත පිරිසකගේ වේදනාවයි. වැඩිහිටියන් වුව ද මේ විකෘතිතා නිසා ඔවුහු අදටත් කායිකව මෙන්ම මානසිකවද කොතෙකුත් පීඩා විඳිති.

එලෙස දස දහස් සංඛ්‍යාත විකෘති දරුවන් බිහිවීමට හේතුවූයේ ඔවුන්ගේ මවුවරුන් ගර්භණී සමය තුළ තැලිඩොමයිඩ් නම් ඖෂධය ලබා ගැනීම බව අනාවරණය කරගෙන තිබිණි. ප්‍රති – ට්‍රැන්ක්විලයිෂර් වර්ගයේ ඖෂධයක් වූ එය, ලොවට හඳුන්වා දුන් 1950 ගණන්වල අගභාගයේ දී ලෝපතල වූයේ ‘විශ්මිත ඔසුව’ වශයෙනි.

එහෙත් මේ විශ්මිත ඔසුව විවිධ කායික විකෘතිවීම් සහිත මෙන්ම අන්ධභාවයෙන් යුතු හෝ හදවතට සහ මොළයට සිදුවූ අනර්ථකාර බලපෑම් සහිත දරුවන් බිහිකිරීමට හේතුවූ බව ලෝකය දැනගන්නා විට විශාල විනාශයක් වී හමාර ය. ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ මේ ඖෂධය නිෂ්පාදනය කළ සමාගම එහි අතුරු බලපෑම් පිළිබඳ මුල පටන්ම දැන සිටි බව සහ එය ලෝකයෙන් සැඟවීමට වගබලා ගත් බව පෙනෙන්නට තිබීමයි. මේ කාරණා දෙකත් සමඟ ම සම්බන්ධ වන වඩාත් බියකරු මෙන්ම විශේෂිත හෙළිදරව්ව වන්නේ තැලිඩොමයිඩ් හඳුන්වා දී ඇත්තේද, එම ඖෂධ සමාගමේ ඉහළ තනතුරු බොහොමයක් දරා ඇත්තේද යුදෙව් සංහාරයට වගකිව යුතු නාසි ප්‍රබලයන් බවයි.

අදාළ ඖෂධ සමාගම කෙමි ග්‍රැනන්තාල් නම් කුඩා පරිමාණයේ ජර්මානු සමාගමකි. එවක එය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට මුළුමනින්ම ආගන්තුක සමාගමක් වූව ද මේ ඖෂධය ලොව පුරා රටවල් 46 ක අලෙවි කිරීමට තරම් ඔවුහු ආක්‍රමණශීලී වූහ. ඖෂධය වෙළෙඳපොළට හඳුන්වාදී වසර 4ක් ඇතුළත වෛද්‍යවරුන් අතර එය විස රහිත ඇන්ටිඩෝට් වර්ගයේ ඖෂධයක් ලෙස බෙහෙවින් ජනප්‍රිය විය. උදෑසනදී ඇතිවන අපහසුතා මෙන්ම නින්ද නොලැබීමටත් අගනා ඖෂධයක් ලෙස පෙනී ගිය එය මිලියන ගණනින් ලොව පුරා අලෙවි වෙමින් තිබිණි.

එහෙත්, අඩසිය වසක් පමණ තිස්සේ එම පෞද්ගලික ඖෂධ සමාගම ඖෂධය නිසා ඇතිවිය හැකි ඛේදනීය බලපෑම් පිළිබඳ නිහඬ වූයේ අතිවිශාල ලාබයක් ඉන් උපයන අතර ය. මේ ඖෂධය ලොවට හඳුන්වාදීමටත් පෙර එනම් එහි මුල් නිෂ්පාදන අවදියේදී සමාගමේ සේවකයකුගේ බිරියක් කන් නැති දරුවකුට උපත ලබා දී තිබිණි. එය අදාළ ඖෂධයේ අනර්ථකාරී බලපෑම් පිළිබඳ ප්‍රබල ඉඟියක් වූවද සමාගම එය නොතකා හැරියේය. ඉන් වසර 2 ක් ඇතුළත බටහිර ජර්මනියේ වැසියන් මිලියන සංඛ්‍යාත පිරිසක් දෛනිකව තැලිඩොමයිඩ් භාවිත කරමින් සිටියහ.

එහෙත්, 1959 වසරේ මුල්භාගය වනවිට වැඩිහිටි ජනයා ස්නායු ආබාධවලින් පීඩා විඳීමට පටන්ගෙන ඇති බව පැහැදිලි විය. ඒ පිළිබඳ කරන ලද අධ්‍යයනවලින් පෙනී ගියේ මේ ඖෂධය විස සහිත බවයි. එහෙත්, ඒ බව හෙළිදරව් වීම යටපත් කිරීමට ඖෂධ සමාගම ක්‍රියා කළේය. ඒ සඳහා වෛද්‍යවරුන්ට අල්ලස් දීම, වසර ගණනාවක් යනතුරු විචාරකයන්ට හා වෛද්‍ය සඟරාවලට බලපෑම් කිරීම වැනි ක්‍රමෝපායන් සමාගම යොදා ගත්තේය. 1961 වසරේදී ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයකු කියා සිටියේ තැලිඩොමයිඩ් නිසා විකෘතිතා සහිත දරු උපත් සිදුවන බවයි. මේ හෙළිදරව් කිරීමෙන් පසුව ද අදාළ ඖෂධය වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනීමට සමාගම මාස 4ක කාලයක් ගත කළේය. ඒ වන විට ගර්භනී කාන්තාවන් 100,000 කට පමණ එහි බලපෑම් ඇතිවී තිබිණි. 90,000 කට පමණ ගබ්සාවීම් සිදුවූ බව වාර්තා විය. උපත ලැබූ දරුවන් දහස් සංඛ්‍යාත පිරිසක් විවිධ විකෘතිතාවලින් යුක්ත වුහ.

සිදුවූ හානියට මුදලින් පියවීමක් කළ ද මේ ඖෂධය නිසා පීඩා විඳි අය සහ ඔවුන්ගේ පවුල්වලින් සමාව අයැදීමට සමාගමට වසර 50ක්ම ගතවිය. ඉකුත් අගෝස්තු 31 වැනිදා ජර්මනියේ ස්ටොල්බර්ග් හි පිහිටි සමාගමේ මූලස්ථාන පරිශ්‍රයෙන් පිටතට ආ එහි නව ප්‍රධාන විධායක නිලධාරියා වූ හැරල්ඩ් ස්ටොක් තැලිඩොමයිඩ් ඖෂධයේ බලපෑම නිසා පීඩාවට පත්වූවන් සංකේතවත් කරන දැරියගේ මූර්තිය නිරාවරණ කළේය. ඉන්පසු පීඩාවට පත් සියලු දෙනාගෙන් සහ එම පවුල්වල අයගෙන් සමාව අයදින බවද කියා සිටියේය. මේ කාර්ය සඳහා වසර 50 ක් තිස්සේම වින්දිතයන් වෙතට ළඟාවීමට මාවතක් පාදා ගැනීම සමාගමට අසීරු වූ බව ඔහු පවසා තිබිණි.

ග්‍රැනන්තාල් සමාගම වසාගත් අඳුර පහ කරමින් සත්‍ය මතුවෙමින් තිබියදී සමාගම සහ නාසි ප්‍රබලයන් අතර තිබූ සබැඳියාවද අනාවරණ වී තිබේ. නාසින්ගේ කුප්‍රකට වධ කඳවුරු තුළදී නොයෙකුත් විද්‍යාත්මක අත්හදා බැලීම් සිදුවූ බව සහ සිය දහස් ගණන් යුදෙව්වන්ගේ ජීවිත ඒ වෙනුවෙන් කැපවූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. එවැනි අමානුෂීය ක්‍රියාදාමයන්ට දායක වූවන් හා ඒවා මෙහෙය වූවන් අන්තිමේදී නතර වූයේ ග්‍රැනන්තාල් සමාගමේය. ඉන් සමහරු තැලිඩොමයිඩ් ඖෂධය හඳුන්වාදීම සඳහා සෘජුවම දායක වී ඇති බව හෙළිදරව් වී තිබේ. අදාළ විද්‍යාත්මක පරීක්ෂණ ශිෂ්ටසම්පන්න සමාජයකට නොගැලපෙන්නේ වූවද සමාගමේ සිටි හිටපු නාසි නිලධාරීන්ට මිනිස් ජීවිත යනු නොවටිනා දෙයක් විය.

1939 දී දෙවැනි ලෝක සංග්‍රාමය ඇරැඹෙන වකවානුවේ සමාගම පැවැතියේ හර්මන් විට්ස් යටතේය. ඔහුගේ නිවුන් සොයුරු ඇල්ෆ‍්‍රඩ් ඔහුට සහය විය. ඇල්ෆ‍්‍රඩ් ඉංජිනේරුවකු මෙන්ම හිට්ලර්ගේ පක්ෂයේ සාමාජිකයකු ද විය. හිට්ලර් විසින් දියත් කළ ආර්යකරණ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ සමාගමටද ලැබිණි. යුද සමයේ දී සමාගමේ ප්‍රමුඛ නිෂ්පාදන වූයේ සබන්, සුවඳ විලවුන් සහ සනීපාරක්ෂක නිෂ්පාදනයි. යුද්ධය නිමාවෙමින් තිබියදී විට්ස් පවුල සිය සමාගම කෙමි ග්‍රැනන්තාල් ලෙස ස්ථාපිත කර තිබිණි. හිට්ලර්ගේ කම්කරු පක්ෂයේ සිටි විද්‍යාඥයන්, වෛද්‍යවරු ආදී පිරිස්වලට ග්‍රැනන්තාල් සමාගම සුරපුරක් බඳුවිය. හිටපු නාසි ක්‍රියාකාරීන් සමාගමට බඳවා ගැනීම මවිතයට කාරණයක්ද නොවේ. ස්ටෑන්ඩච් ඔයිල් සියු පොන්ට් ආදී අමෙරිකා සමාගම් විසින්ද නාසි පාලනය සමඟ පැවැති ව්‍යාපාරික සබඳතා ඔස්සේ එවැනි බඳවා ගැනීම් කර තිබිණි.

හර්මන් විට්ස් විසින් සමාගමට බඳවා ගත් නාසි ප්‍රබලයකු වූයේ මාටින් ස්ටෙම්ලර්ය. ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කරනවිට ජීවත්විය යුත්තේ හා විසිය යුත්තේ කවුදැයි තීරණය කළ එක් අයකු වුයේ ඔහුය. නියුරම්බර්ග්හි යුද අපරාධ අධිකරණයේ දී ද ඔහුට එරෙහිව චෝදනා නැඟී තිබිණි. සිරකරුවන් සහ සිවිල් වැසියන් යොදා ගනිමින් වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම ඔහුට එරෙහි චෝදනාවයි. 2004 දී තිරගත වූ ඩවුන්ෆෝල් චිත්‍රපටයේ ද පිළිබිඹු වූ චරිතයක් වන වෛද්‍ය අර්නස්ට් සමාගමේ සිටි නාසි නිල ඇඳුම ඇඳි එකම නිලධාරියාය. ඉඉ භටයන්ගේ පෝෂණය භාරව සිටි ඔහු තැලිඩොමයිඩ් නිපදවීමේ ක්‍රියාවලියෙන් නම් නිදහස්ව සිටියේය. යුදෙව් රැඳවුම් කඳවුරුවලදී ප්‍රෝටීන සොසේජ් වර්ගයක් අත්හදා බැලීමට ඔහු දැරූ ප්‍රයත්නයේ දී සිරකරුවන් 100 ගණනක් මියගොස් තිබිණි. සෝවියට් සංගමයෙන් සිර දඬුවමක් නියමව සිටි යුදෙව් කඳවුරු භාර වෛද්‍යවරයකු වූ හෙන්ස් බවුමැක්ටර් ද සමාගමේ සේවයට බඳවාගෙන තිබිණි. ග්‍රැනන්තාල් සමාගමේ සේවයට එක්ව සිටි තවත් නාසි ප්‍රබලයකු වන්නේ ඔටෝ ඇම්බ්‍රොස්ය. එරිස් නම් විෂ වායුව සොයා ගත් සිව්දෙනාගෙන් අයෙකු ලෙස ද ඔහු ප්‍රකටය. දක්ෂ රසායන විද්‍යාඥයකු වූ ඔහු හිට්ලර්ගේ රසායනික යුද කටයුතු පිළිබඳ උපදේශකයාද විය. යුදෙව් සිර කඳවුරුවල තිබූ ගෑස් කාමරවලදී මියගිය දහස් ගණනකගේ ජීවිතවලට ඔහුද වන්දි ගෙවිය යුතු විණි. තවත් කේන්ද්‍රීය චරිතයක් නම් හෙයින්රිඩ් මැක්ටර්ය. සිය වෛද්‍ය පරීක්ෂණ සඳහා ඔහු අවුෂ්ට්ස් හා බුචන්වල්ඩ් රැඳවුම් කඳවුරුවල සිටි සිරකරුවන් යොදාගෙන තිබිණි. අත්අඩංගුවට පත් වුවද ඔහු සිය අතීතය වසන් කළේය. ඖෂධ සමාගමේ ප්‍රධාන විද්‍යාඥයා සහ පර්යේෂණ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු ධනවතකු බවට පත්ව සිටියේය.

නාසි ප්‍රබලයන් සහ ග්‍රැනන්තාල් සමාගම අතර තිබූ සම්බන්ධය පැහැදිලි කර ගන්නා විට තැලිඩොමයිඩ් ඛේදවාචකය තවදුරටත් ප්‍රහේළිකාවක් නොවේ. කෙසේ වූවද ඉතිහාසයට එක්වූ දරුණුම ඖෂධ අපවාදය ලෙස මෙය සටහන්වී ඇත.

නිව්ස්වීක් ඇසුරින්