විලියම් - කේට් අලකලංචි ගොඩක

විලියම් - කේට් අලකලංචි ගොඩක

* කේට්ගේ නිරුවත් රූප මාධ්‍යයට
* කේට් ගැබිනියක් දැයි සැකයක්
* පවුල් සැලැසුම් එළියට

බ්‍රිතාන්‍යයේ රජගෙදර අය කුමක් කීවත්, කළත් එයට තටු මැවෙන්නේ සැණෙකිනි. ඔවුන් කොතැනක ගියත් , ඒ යන එන සියලු තැනට ජන ගංගාවක් ගලයි. ඒ සියල්ල ම ලෝකයට කියන්නට මාධ්‍යවේදිනුත් වැල නොකැඩී එහි අදෙති. සමහර විටෙක ඔවුහු ඕනෑ දේත්, එපා දේත් යන දෙකම පමණ ඉක්මවා වාර්තා කරති.

රජගෙදර අයගේ විත්ති රසකර කියන හා ලියන අයටත් ඒවා රස කරමින් අසන බලන අයටත් දැන කියා ගන්නට අලුත් ආරංචි මාලාවක් එකතුවුණේ එකවර ම ය. මේ කතා වැඩි හරියක් ලෝකයට නිරාවරණය වුණේ විලියම් - කේට් යුවළගේ ආසියා සංචාරයේදී ය. රාජකීය යුවළ සිංගප්පූරුවට පැමිණියහ. රාජකීයයන්ට වහ වැටුණු සිංගප්පූරු ජනතාව උන්මාදයෙනුත් උන්මාදයට පත් කරමින් විලියම් හා කේට් සිංගප්පූරුවේ තැනින් තැන ඇවිදිමින් රිසි සේ ප්‍රීතිවුහ. දෙගොඩ තලා ගිය මේ සතුටට නැවතීමේ තිතක් වැටුණේ යුවළ සිංගප්පුරුවේ සිට මැලේසියාවට ළඟාවද්දී ය.

කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප්‍රංශ සඟරාවක පළවී ඇත කියා මේ දෙදෙනාට දැන ගන්නට ලැබුණේ ක්වාලාලම්පූර් වෙත ළඟාවීමත් සමඟ ය. දෙදෙනාගේම සිත් පිරී ඉතිරී යන්නට තරම් ශෝකයක් එකවරම පැන නැංගේය. ඒ ශෝකය කේන්තියකට පරිවර්තනය වන්නට වැඩි වෙලාවක් ගත වුණේ නැත. රාජකීය යුවළ ගොඩ බසින තුරු බලා සිටි මැලේසියා බලධාරින් හා ජනතාව අතරින්, මවාගත් සිනහවකින් යුතුව ගමන් කිරීමට දෙදෙනාටම සිදුවිය.

විලියම් කුමරු දැඩි වේදනාවකින් හා තරහකින් සිටි බව ඔහුගේ ඉරියව්වලින් හොඳටම පෙනෙන්නට තිබිණි. සුන්දර සිනහවකින් හැමවිටම මුව සරසා ගන්නා කේට්, මේ අලකලංචි මැද්දේත් සිනාසෙමින් සිටියාය. ඇගේ මුහුණ මත තැවරුණු සිනහව අතරින් මතුව එන කල්පනාකාරී බරපතළ සිතුවිලි කාගෙන්වත් වසන් කරන්නට බැරිවිය.

කේට්ගේ උඩුකය නිරුවත් ඡායාරූප පළවුණේ ප්‍රංශයේ ක්ලෝසර් නම් සඟරාවෙහි ය. යුවළ ආසියා සංචාරය අරඹන්නට පෙර ප්‍රංශයට ගොස් සිටියහ. එහි දී ඔවුහු දියෙන් පිරුණු තටාකයක දිය ද හිරු එළියද ස්නානය කරමින් නිදහසේ හැසිරුණහ. ඔවුන් දියෙහි සිසිලසටත් හිරු එළියෙහි උණුසුමටත් මැදිව අනන්ත සුව විඳිද්දී ඡායාරූප ශිල්පියකු ඒ බව සිය තෙවැනි ඇසට හසුකරගෙන තිබිණි. මේ ඡායාරූප දුරක සිට ගන්නා ලද ඒවා වූවත් ඒවායෙහි උඩුකය නග්නව සිටින්නේ කේට් කුමරිය බව හඳුනා ගැනීමට කාටවත්ම බැරිකමක් නැත. තම පෞද්ගලික ජීවිතයට කළ අසාධාරණ කැළල හමුවේ නොසැලුණු කේට් – විලියම් දෙදෙනා නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළහ.

ප්‍රංශ සඟරාවේ නොහික්මුණු පළකිරීම සම්බන්ධයෙන් බොහෝදෙනෙක් උරණව සිටියහ. අනෙක් අතට මේ සිද්ධියෙන් ඩයනා කුමරිය පිළිබඳ මතකය, විලියම් කුමරු තුළ යළි අවදි වූවාට කිසිදු සැකයක් නැත. පහළොස් වසරකට පෙර ඇයටත් මාධ්‍යයෙන් තම පෞද්ගලික ජීවිතය බේරා ගන්නට සැටියක් නැතිවිය. පැපරාසීන්ගේ උකුසු ඇස්වලින් ගැලවී ගත නොහැකිව දිව ගිය ඩයනා කුමරියට අවසානයේ දී ජීවිතයත් බේරාගන්නට බැරිවිය. එය සිදුවුණේත් ප්‍රංශයේදීමය. කේට්ටත් මේ සිදුවන්නට යන්නේ ඒ ටිකමදැයි කියා බොහෝ අය තුළ දැන් කුකුසක් මතුවෙමින් ඇත.

ආසියා සංචාරයේ දී සිංගප්පූරුවේ ගත කළ කාලය තුළ කේට් – විලියම් යුවළ සැනසීමක් සතුටක් භුක්ති වින්දාට කිසිදු සැකයක් නැත. ඔවුන් තවත් බරපතළ කටයුත්තකට අර අදිමින් සිටින බව ඉඟි පළවුණේත්, ඔවුන් සිංගප්පුරුවේ ගත කළ කාලයේදීම ය. ඔවුහු ඒ බවක් නිල වශයෙන් මහ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළහ. එහෙත් තරුණයකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට ගොස් හදිසියේම බළලා මල්ලෙන් එළියට පැන්නේය.

තරුණයා 17 හැවිරිදි පාසල් සිසුවෙකි. කොරින් ඇකර්මන් නම් හෙතෙම, බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි කුමරාගෙන් විමසා සිටියේ ඔබ දරුවන් කී දෙනෙක් හදනවාද?” යන්නයි. විලියම් කුමරු මේ ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි. ඔහු ගත් කටටම කීවේ තමන්ට දරුවන් දෙදෙනකු හදන්නට වුවමනා බවයි. පළමු වතාවට කුමරා තමන්ගේ පවුල් සැලසුම අනාවරණය කළේ එපරිද්දෙනි.

විලියම් කුමරා දැන් මදක් තැන්පත් තත්ත්වයකට පත්වෙමින් සිටින බව කියැවෙන කතා පසුගිය කාලයේ දී මාධ්‍යවල පළවිය. තිස් විය සපුරා ඇති දෙදෙනා ප්‍රීති ප්‍රමෝදයෙන් එහෙ මෙහෙ ඇවිදිමින් නොසිට තමන්ගේම යැයි කියන ජීවිතයක් ඇරැඹිය යුතු බවට ඒවායින් ඉඟිකෙරිණි. අනාගත රාජකීය පවුලේ විශාලත්වය ගැන කරදරවන අයට විලියම්ගේ මේ පිළිතුර හොඳ සැනසිල්ලක් ගෙනෙනු ඇත. විලියම් කියන මේ පවුල් ජීවිතය ඔවුන් දෙදෙනා ගොඩනඟන්නේ දැන් ඉතින් කවදාදැයි කියා අසන පිරිසකුත් සිටිති. බොහෝ අයගේ විශ්වාසය ආසියා සංචාරය නිමකිරීමෙන් පසු විලියම් - කේට් යුවළ තමන් අතරට තෙවැන්නකු එකතු කර ගැනීමේ කාර්යට අතගසනු ඇති බවයි.

මේ අතර සිංගප්පූරු සංචාරයේදී කේට්ගේ හැසිරීම ගැන පරීක්ෂාවෙන් සිටි අයට අලුත් දෙයක් දැක ගන්නට ලැබිණි. ඒ “අමුත්ත” මතුවුණේ රාත්‍රී භෝජන සංග්‍රහයකදීය. සිංගප්පූරු ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් මේ භෝජන සංග්‍රහය සංවිධානය කළහ. එය සම්භාවනීය අමුත්තන්ට ලබාදෙන රාජ්‍යය මට්ටමේ භෝජන සංග්‍රහයකි. මේ අවස්ථාවට සහභාගි වුණු අමුත්තන්ට, රතු වයින්වලින් සංග්‍රහ කෙරිණි. කේට් වයින් පානය කළේ නැත. වයින් ප්‍රතික්ෂේප කළ ඈ වතුර වීදුරුවක් පානය කිරීමෙන් සෑහීමකට පත්වුවාය. ඇගේ මේ අමුතු වෙනස කාට කාටත් තේරුම් ගත හැකිවිය. එයට හේතු හොයන අය තුළ දැන් අලුත් කුතුහලයක් මතුව තිබේ. දැනටමත් කේට් ගැබිනියක වී ඇති බවට ඔවුහු සැක පළ කරති. කේට්ගේ ළඟම හිතවතුන් පවසන්නේ ඇයට වයින් පානය නොකර සිටීමට හේතු රැසක්ම තිබෙන්නට ඇති බවයි. එය හුදෙක් ගර්භනී බව නිසාම සිදුකළ එකක් නොවන්නට ඇතැයි කියාද ඔවුහු මත පළ කරති.

සිංගප්පුරුවේ පැවැති තවත් උත්සවයකට එක්වුණු කේට් එහිදීත් වයින් වීදුරුවක් පානය කිරීම ප්‍රතික්ෂේප කළාය. අනෙක් අය රත් පැහැ වයින් පිරුණු බඳුන් තමන්ගේ මුවට ළංකර ගනිද්දී කේට් අවර්ණ දියරයකින් පිරුණු වීදුරුවක් අතට ගත්තාය. කේට්ගේ මේ අමුතු වැඩ දිහා දැන් ලෝකයම විමසිල්ලෙන් බලා සිටී.

කේට් වයින් නොබී වතුර බිව්වාද නැත්නම් වයිනුත් වතුරත් යන දෙකම ප්‍රතික්ෂේප කර ජලයේ පැහැයට සමාන වෙනත් දෙයක් බිව්වා දැයි කියා දන්නේ ඇයම පමණි. ඇය රතු වයින් ප්‍රතික්ෂේප කර එවැනි වෙනත් දෙයක් බිව්වේ ඇයි දැයි කියා දන්නේත් ඇයමයි. කේට් කෑ නොකා, බිව් නොබිව් දේ සොයන්නටත්, එදා මෙදාතුර ඇගේ ඡායාරූප සසඳමින් ඇය දැන් ගැබිනි තත්ත්වයට පත්ව ඇතැයි කියා පෙන්වා දෙන්නටත් ඉදිරිපත් වන අයට කේට් තවත් ඩයනා කෙනෙකි. එසේ වු කළ ඩයනාට අත් වූ ඉරණම කේට්ටත් අත්වන්නට බැරි නැත. මේ නිසා නැන්දම්මා සහ ලේලිය එකම මඟ යා යුතු යැයි තීරණය කරන්නේ ඉවසීමක් නැති කුතුහලයෙන් උමතුවුණු සෙසු ලෝකයාද යන්න ගැටලුවකි.

මිරර් නිව්ස් සහ මේල්ඔන්ලයින් අයුරිනි.