දෙවියන්ට ගැරහුවැයි මිනිස්සු කෝප වෙති

දෙවියන්ට ගැරහුවැයි මිනිස්සු කෝප වෙති

ලිබියාවේ බෙන්ගාෂි හි පිහිටි කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකදී අමෙරිකා තානාපති ක්‍රිස් ස්ටීවන්ස් ඇතුළු කිහිප දෙනකු ඝාතනයට ලක්වූයේ අමෙරිකාව 9/11 ප්‍රහාරයේ අඳුරු මතකය 11 වැනි වරටත් සිහිපත් කරමින් සිටියදීය. අන්තර්ජාලයට එක්වූ “ඉනිසන්ස් ඔෆ් මුස්ලිම්ස්” නම් විනාඩි 14 ක චිත්‍රපටයක් නිසා මහම්මද් තුමාට දරුණු ලෙස අපහාස කෙරී ඇතැයි කියමින් මුස්ලිම් ලෝකය කැලඹී තිබේ.

මේ චිත්‍රපටය අමෙරිකාවේදී නිෂ්පාදනය වූවකි. චිත්‍රපටයට හා අමෙරිකාවට එරෙහිව ලොව පුරා මුස්ලිම් රටවල් තියුණු හා ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර දක්වමින් සිටියදී වාර්තා වූ බරපතළම සිදුවීම මෙයයි. යේමනයේ ද අමෙරිකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වූ අතර, එය ගිනි තබා විනාශ කෙරිණි. චිත්‍රපටයට එරෙහි විරෝධයට මුවා වී ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වන බව පෙනී යාම නිසා ලොව පුරා පිහිටි අමෙරිකා තානාපති හා කොන්සල් කාර්යාලවල ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. ලිබියාවේ අමෙරිකා කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය මගින් බරපතළ ලෙස හා තවදුරටත් ආරක්‍ෂාවේ බිඳවැටීමක් ඇති බව පෙනී යන්නේ යැයි ඇතැම් අමෙරිකා මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රහාරයෙන් පසු ඒ පිළිබඳ කරුණු දක්වා ඇති ලිබියානු නිලධාරියකුට අනුව චිත්‍රපටයට එරෙහි විරෝධය අතරතුර, උපරිම අන්දමින් සන්නද්ධ වූ සටන්කාමීන් කණ්ඩායමක් ක්‍රියාත්මකව තිබේ. ප්‍රහාරයට අවශ්‍ය තොරතුරු ලිබියානු ආරක්‍ෂක අංශ වෙතින් සැපයී ඇතැයි ද ඔහු සැක පහළ කර තිබිණි. “දෙවියන් ශ්‍රේෂ්ඨයි” යනුවෙන් හඬ නඟමින් විරෝධතාකරුවන් එහි කඩා වැදී ඇති අතර, කොන්සල් කාර්යාලයේ තාප්පයෙන් ඇතුළටද පිරිසක් කඩා වැදී ඇත. රොකට් සහ ග්‍රෙනේඩ් ප්‍රහාර කිහිපයක්ම එල්ල වී තිබියදී එම කාර්යාල පරිශ්‍රය දුමෙන් වැසී ගොස් තිබිණි. කලබලකාරී වාතාවරණය යටතේ තානාපති ස්ටීවන්ස් සොයාගැනීම එම කාර්ය මණ්ඩලයට ද අපහසු වී ඇතැයි කියැවේ.

පසුව ඔහු සොයාගන්නා විට සිහිසුන්ව සිට ඇති අතර, හුස්ම ගැනීම අපහසු වීම නිසා මරණය සිදුව ඇතැයි ද වාර්තා වී තිබේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ 11 වැනිදා රාත්‍රී 10 ට ආසන්නවයි. ඉන් පැයකට පමණ පසු ආසන්න ප්‍රදේශයක පිහිටි අමෙරිකා ආරක්‍ෂිත නිවස්නයකට ද ප්‍රහාර එල්ල වී තිබේ. තානාපති කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන් එහි රැගෙනවිත් සිටියේය. නැඟෙනහිර ලිබියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වනිස් එල් ෂරිෆ්ට අනුව එම ආරක්‍ෂිත නිවස්නය අනාවරණය වී ඇත්තේ ආරක්‍ෂක අංශවල ඇතුළාන්තයෙනි. අමෙරිකා තානාපතිවරයා සමඟ තොරතුරු කළමනාකරණ නිලධාරී සීන් ස්මිත් ද, ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු ද ඝාතනයට ලක්ව තිබේ. සිදුවීම සම්බන්ධයෙන් ලිබියානුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. තවත් අය අත්අඩංගුවට ගන්නා බව එරට නව අගමැති මුස්තාෆා අබු ෂකූර් පවසා තිබිණි.

ප්‍රහාරයේදී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින ලිබියානු ආරක්‍ෂක නිලධාරියකු මාධ්‍යයට පවසා තිබූ පරිදි වෙඩි වරුසාවක් එහි පතිත වී තිබේ. වම් පාදයට ඇතිවූ බරපතළ තුවාල නිසා බිම වැතිර සිටියදී එහි ළඟා වූ තුවක්කුකරුවකු උඹ ද්‍රෝහියෙක්! උඹ ද්‍රෝහීන්ව ආරක්‍ෂා කළා!! කියා කෑගසමින් දකුණු පාදයට ද දෙවරක් වෙඩි තැබූ බව ඔහු පවසයි. ඉන්පසු තමා කවුදැයි වෙනත් අයකු විමසා ඇත. තමා උද්‍යාන සේවකයකු යැයි පැවසූ බවත් අනතුරුව රෝහලට ගෙන ගිය බවත් ඔහු කියා තිබේ.

ඇතැම් ලිබියානු බලධාරීන් මේ ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ල කර ඇත්තේ අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන අන්සර් අල් ෂරියා බ්‍රිගේඩයටයි. එහෙත්, ප්‍රහාරය අගය කළ ද ඔවුන් එහි වගකීම භාරගෙන නැත. මෙය ජනතා නැඟිටීමක් බව එහි ප්‍රකාශකයකු පවසා තිබිණි.

ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පාලනය පෙරළා දැමීම සඳහා දියත් වූ ක්‍රියාදාමයේදී අමෙරිකාව ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය. ගඩාෆි පාලනයට එරෙහිව විපක්‍ෂ කණ්ඩායම් මෙහෙයවීමේදී ඝාතනයට ලක්වූ අමෙරිකා තානාපති ස්ටීවන්ස් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකර ඇත. බෙන්ගාෂි හි සිට ක්‍රියාත්මක වූ කැරැලිකරුවන් සමඟ ඔහු සබඳතා පැවැත්වූ බව පෙනෙන්නට තිබේ. ලිබියානු නායකයාට එරෙහිව කැරැලිකරුවන් ශක්තිමත් කරමින් අමෙරිකාව සහ ඇතැම් බටහිර රටවල් අවි ආයුධ ලබා දුන් බව ද හෙළිදරව් විය. ඇතැම් දේශපාලන විචාරකයන්ට අනුව බෙන්ගාෂි ප්‍රහාරය මගින් පෙනෙන්නේ ගඩාෆි පාලනය බිඳවැටීමෙන් වසරකට පමණ පසුවත් එහි ඇති අරාජික වාතාවරණයයි. ලිබියාවේ දුර්වල ආණ්ඩුවක් බිහිවී ඇති අතර, සටන්කාමී සංවිධාන විසින් ප්‍රාදේශීය පාලනය මෙහෙයවමින් තිබේ.

බෙන්ගාෂි ප්‍රහාරයේ ඇතුළාන්තය මැයෙන් “ද ඉන්ඩිපෙන්ඩන්ට්” පුවත්පත ඉදිරිපත් කර තිබූ විග්‍රහයක අවධානයට ලක්විය යුතු කරුණු ගණනාවක් පෙන්වා දී ඇත. එම ප්‍රහාරය සැලසුම් සහගතව සිදුවූවක් බව අමෙරිකා බලධාරීන් විශ්වාස කළ ද, තානාපති ක්‍රිස් ස්ටීවන්ස් එහි ළඟාවී වැඩි වේලාවක් ගතවී නොතිබිණි. ඔහු පැමිණි බවට තොරතුරු කාන්දු වී තිබීම ඉන් පෙන්වා දී තිබේ. ඇතැම් සංවේදී තොරතුරු කාන්දුවීම බරපතළ කාරණයක් බව එහි ඉදිරිපත් කරන්නේ “ආරක්‍ෂිත නිවස්නය” හෙළිදරව් වී තිබීම ද නිදසුන් ලෙස දක්වමිනි. ලිබියාවේදී අමෙරිකා බලධාරීන් අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ද ඉන් පැවසේ.

බාහිර පාර්ශ්ව අතට පත් වී ඇති තොරතුරු අතර, අමෙරිකා නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරන ලිබියානුවන්ගේ නාමලේඛන ද වන බව සඳහන් ය. තෙල් කොන්ත්‍රාත්තුවලට අදාළ ලියැවිලි ද ඒ අතර, ඇති බව පැවසේ. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර උපුටමින් “ද ඉන්ඩිපෙන්ඩන්ට්” වාර්තා කර තිබූ පරිදි බෙන්ගාෂි හි අමෙරිකා කොන්සල් කාර්යාලය සහ ඊජිප්තුවේ කයිරෝ හි අමෙරිකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසනීය තොරතුරු ඊට පැය 48 කට පෙර රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලැබී තිබිණි. එහෙත් දැඩි ආරක්‍ෂක සූදානමක් තිබිය යුතු බවට අනතුරු ඇඟවීමක් එම තානාපති නිලධාරීන් වෙත සිදුකෙරී නොමැත. ජර්මනිය, ඔස්ට්‍රියාව හා ස්වීඩනයේ චාරිකාවක යෙදුණු තානාපති ස්ටීවන්සන් ලිබියාවට පැමිණි විගස බෙන්ගාෂි බලා ගොස් ඇති අතර, එහි යාම අනතුරුදායක බවට ආරක්‍ෂක අංශ ඔහුට දන්වා තිබී නැත.

ආරක්‍ෂිත නිවස්නයට ගෙන ගොස් සිටි අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට අයත් 40 දෙනකු පමණ ආරක්‍ෂිතව රැගෙන ඒම සඳහා අට දෙනකුගෙන් සමන්විත ප්‍රබල අමෙරිකා භට කණ්ඩායමක් යොදවා තිබිණි. එහි ප්‍රධානියා වූ කපිතාන් ෆාති අල් ඔබෙයිදීට අනුව ද ආරක්‍ෂිත නිවස්නය හෙළිදරව් වී තිබීම බරපතළ කාරණයකි.

“ සැලසුම් සහගතව සිදු වූ ප්‍රහාරයක් බව පෙනුණා. අපට මෝටාර් එල්ල වුණා. මෝටාර් 6 ක් විතර නිවස්නයට එන මාර්ගයටම පතිත වුණා....” 9/11 ප්‍රහාරයේ සංවත්සරය යෙදී තිබීම නිසා බෙන්ගාෂි කොන්සල් කාර්යාලයේද ආරක්‍ෂක සූදානම පිළිබඳ පරීක්‍ෂාවක් සිදුව තිබිණි. එහෙත් ඇසින් දුටු සාක්‍ෂිකරුවන්ට අනුව එහි යොදා තිබූ ආරක්‍ෂාව ප්‍රමාණවත් නැත. ඒ ආශි‍්‍රත පදිංචිකරුවකු වූ ගණකාධිකාරිවරයකු මාධ්‍යයට පවසා තිබූ පරිදි ලිබියානු ආරක්‍ෂකයන් 30 දෙනකු පමණ ඊට යොදවා සිටියේය. “ප්‍රහාරය ඇරැඹීමත් සමඟ ඔවුන් සියල්ල ඉවතට දිව ගියා. ඉන්පසු එය තුවක්කු සහ බෝම්බ සහිත තරුණ පිරිස් අතට පත්වුණා...” ඔහු කියා තිබිණි.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් පැට්‍රික් කෙනඩිට අනුව, ප්‍රහාරයේ ස්වභාවය සහ ඊට භාවිත කර ඇති ආයුධවල ස්වභාවය අනුව එය සැලසුම් සහගත ප්‍රහාරයක් බව සිතිය හැකිය. සෙනෙට් මණ්ඩලයේ බුද්ධි කමිටුවේ සාමාජිකයකු ද වන බිල් නෙල්සන් කමිටු සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කරමින් මේ ප්‍රහාරය පිළිබඳ අල් ඛයිඩාවේ භූමිකාව කුමක්දැයි සොයා බැලිය යුතු බව යෝජනා කර ඇත. ඊට එරෙහිව පියවර ගැනීම ගැන ද ඔහු මතුකර තිබේ.

ඇතැම් විශ්ලේෂකයන්ට අනුව බෙන්ගාෂි ප්‍රහාරය 9/11 ප්‍රහාරය සිහිපත් කරමින් සිදු කළ එකක් මෙන්ම පාකිස්තානයේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් වල ප්‍රධානීන් ඉලක්ක කරමින් බව පවසා සිදුකරන ඩ්‍රෝන ප්‍රහාරයන්ට විරෝධය පළකිරීම සඳහා ද සිදුකරන ලද්දක් විය හැකිය. කෙස් වුවද එය සිදු වී ඇත්තේ “ඉනසන්ස් ඔෆ් මුස්ලිම්” චිත්‍රපටයට එරෙහිව මුස්ලිම් ලෝකයේ ඇති වූ විරෝධය ආවරණයක් කර ගනිමිනි.

යේමනයේ සානා අගනුවර ද මේ චිත්‍රපටයට එරෙහිව ප්‍රබල විරෝධයක් නිර්මාණය වී තිබිණි. එහි පිහිටි අමෙරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා 5000 ක පමණ පිරිසක් එක්වූ බව වාර්තා විය. දෙවියන් වෙනුවෙන් තම ජීවිත කැප කිරීමට සූදානම් බව පවසමින් තරුණ මුසල්මානුවන් හඬ නැඟූ බව මාධ්‍ය වාර්තා කළේය. කාර්යාල පරිශ්‍රයේ තිබූ රථවාහන කිහිපයක් ද ගිනි තබා වැනසූ විරෝධතාකරුවෝ අවසානයේ තානාපති කාර්යාලය ද ගිනි තබා විනාශ කළහ. යේමනය අල්කයිඩාවේ මුල් පෙළේ ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීම සඳහා එරට රජයට අමෙරිකාව අනුග්‍රහය දක්වයි.

ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මොර්සිද බෙන්ගාෂි ප්‍රහාරය හෙළා දැක තිබිණි. ඔහු ජනාධිපති ඔබාමා අමතා ඒ බව දැනුම් දී ඇත. ඉන්පසු ඔබාමා පවසා ඇත්තේ ඊජිප්තුව අමෙරිකාවේ මිතුරකු ලෙස කල්පනා නොකරන නමුත් සතුරකු ලෙස ද නොසලකන බවයි. කයිරෝ නුවර පිහිටි අමෙරිකා තානාපති කාර්යාලයට ද ප්‍රහාර එල්ල වී තිබිණි. මේ අතර, කයිරෝ හි අමෙරිකා තානාපති කාර්යාලය හා “මුස්ලිම් සහෝදරත්වය” අතර හුවමාරු වූ ට්විටර් පණිවිඩ කිහිපයක් ද මාධ්‍ය මගින් අනාවරණ කර ඇත. තානාපති කාර්ය මණ්ඩලයට හානියක් සිදු නොවනු ඇතැයි ද අමෙරිකා - ඊජිප්තු සබඳතා යථා පරිදි පැවැත්වෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද මුස්ලිම් සහෝදරත්වය තානාපති කාර්යාලයට යොමු කළ පණිවිඩයේ දැක්වේ. ස්තූති පූර්වකව ඊට ප්‍රතිචාර දක්වා ඇති තානාපති කාර්ය මණ්ඩලය , අරාබි බසින් ඔවුන් නිකුත් කර ඇති පණිවිඩ කෙරෙහි ද තමන්ගේ අවධානය යොමුව ඇතැයි දන්වා ඇත. මුස්ලිම් සහෝදරත්වය අරාබි බසින් නිකුත් කළ පණිවිඩයක් මගින් මුස්ලිම්වරුන්ගේ විරෝධතා ක්‍රියාමාර්ග දිරිගන්වා තිබිණි.

ඉරාකයේ ද මේ චිත්‍රපටයට එරෙහිව විරෝධතා දියත් වී ඇත. එරට සටන්කාමීන් ලොව පුරා මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා ඇත්තේ පොදු සතුරාට එරෙහිව මුහුණ දෙන ලෙසයි. බැග්ඩෑඩ් නුවර පැවැති විරෝධතාවලදී අමෙරිකා ධජය ගිනිබත් කර තිබේ. අමෙරිකා තානාපති කාර්යාලය වසා දමන ලෙස ද හඬ නැඟී ඇත.

බංග්ලාදේශයේද අමෙරිකා තානාපති කාර්යාලය අසල විරෝධතා පැවැත්විණි. දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් එහි ළඟාවීම ආරක්‍ෂක අංශ විසින් වළක්වා ඇත. අමෙරිකා විරෝධී සටන් පාඨ කියමින් එරට ධජය ගිනි තබමින් එම විරෝධතා සිදුවිය. සුඩානයේ හා ඔස්ට්‍රෙලියාවේ ද විරෝධතා ව්‍යාපාර පැවැත්විණි.

ගාසා තීරයේද හමාස් සංවිධානයේ මෙහෙයවීමෙන් විරෝධතා ව්‍යාපාර පැවැත්වී ඇත. ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඩ් කර්සායි සිය නෝර්වේ සංචාරය කල් දමා තිබේ. පාකිස්තානය ද විරෝධතා ව්‍යාපාර සඳහා මුහුණ දීමට සූදානමින් සිටී. මැදපෙරදිග අමෙරිකා තතානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල වීමෙන් පසු අදහස් දැක්වූ අමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් බෙන්ගාෂි ප්‍රහාරය කුඩා හා ප්‍රකෝපකාරී කණ්ඩායමක ක්‍රියාවක් බව හඳුන්වා ඇත. එක්සත් ජනපදය ඉනසන්ස් ඔෆ් මුස්ලිම් චිත්‍රපටය මුළුමනින් ප්‍රතික්ෂේප කරන බව ඇය පවසා තිබුණේ ඊද් උල්ෆිතර් සැමරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

තමා පෞද්ගලිකවද එම චිත්‍රපටය පිළිකෙව් කරන බව ඇය කියා සිටියාය. ලොව මුල් පෙළේ ආගම්වලට එරෙහිව මෙවැනි අපවාදාත්මක ප්‍රචාර එල්ල වීම සිදුව ඇතැයි පෙන්වා දුන් ඇය, ඒවාට එරෙහිව ප්‍රචණ්ඩකාරීව ප්‍රතිචාර නොදැක්විය යුතු බවත් එය ශිෂ්ට ලෝකය අනුමත නොකරන බවත් පෙන්වා දී තිබිණි. මෙවැනි පහත් ප්‍රචාරයන්ට වඩා ඒ ආගම් බලවත් බව ද ඇය කියා ඇත. ආගමට මුවා වී ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට කිසිවකු වෑයම් කරන්නේ නම් ඊට එරෙහිව දහස් ගණනින් නැඟී සිටින ලෙස ද එහි සිටී ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඇය ඉල්ලා තිබිණි. මේ උත්සව අවස්ථාවට එක්ව සිටි ලිබියා තානාපති අලිසුලෙයිමාන් අවුජාලි දැක්වූ අදහස්වලට ඇය කෘතඥ වූවාය. තානාපතිවරයා කියා තිබුණේ, ඝාතනයට ලක්වූ අමෙරිකා තානාපති ස්ටීවන්සන් සිය සමීප මිතුරකු වූ බව සහ ඔහු වීරයකු බව දැක්වීමට තමාට ඉඩ දෙන්න යනුවෙනි. ඔහු බෙන්ගාෂි ප්‍රදේශයටත් එහි ජනතාවටත් ආදරය කළ බවත් ඔවුන් සමඟ ජීවත් වූ බවත් එම මැදිහත්වීම් නිසාම අවාසනාවන්ත ලෙස ඔහු ඝාතනය වූ බවත් ලිබියා තානාපතිවරයාගේ කතාවේ සඳහන් විය.

මුස්ලිම් ලෝකය ගිනි ගැනීමට හේතු වී ඇති ඉනසන්ස් ඔෆ් ඉස්ලාම් චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර ඇත්තේ සදාම් බැසිල් නම් තැනැත්තා බව මුලදී වාර්තා විය. චිත්‍රපටයේ නළු නිළියන්ට අනුව එහි අධ්‍යක්‍ෂ ඇලන් රොබට්ස් නමැත්තෙකි. දේපළ වෙළෙඳාම්කරුවකු වන ඔහු චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ තමන් බව පිළිගෙන නැත. එහෙත් එය නිෂ්පාදනය කළ බව පිළිගනී. ඊට යුදෙව්වන් ඇ. ඩො. මිලියන ගණනින් ආධාර කළ බව ද ඔහු පවසා ඇත. කෙසේ වුවද අලුත්ම තොරතුරුවලට අනුව චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර ඇත්තේ නකවුලා බැසිලි නකවුලා නමැත්තෙකි. ඔහු මින් පෙරද අමෙරිකා අධිකරණයකින් වරදකරුවකු වී සිරදඬුවම් ලැබූවෙකි. චිත්‍රපටයේ නළු නිළියන් ඇතැමෙක් එහි අන්තර්ගතය ගැන දැනුවත්ව නොසිටි බව ද කියැවේ. මුලින් එහි නම සඳහන්ව තිබී ඇත්තේ ද ඩෙසට් වොරියර්ස් වශයෙනි. පසුව ඉනසන්ස් ඔෆ් බින් ලාඩන් ලෙසත්, එයින් අනතුරුව ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් ලෙසත්, එහි නම වෙනස් වී ඇත. මේ චිත්‍රපටය මගින් මහම්මද් තුමාගේ චරිතයට බරපතළ ලෙස නින්දා කර ඇති බව පෙනී යයි. ජූනි 23 වැනිදා එය අන්තර්ජාලයට නිකුත් වූ තැන් පටන් ලොව පුරා එය ප්‍රචාරය වී ඇත.

මින් ඉහත දී ද, Fitar (2008) නම් චිත්‍රපටයකට මුහම්මද් තුමාට අපහාස කළ කාටුනයකටද රෂ්ඩි ගේ සැටනික් වර්සස් කෘතියට එරෙහිව ද මුස්ලිම් ලෝකයේ ප්‍රබල විරෝධයක් ඇතිවිය. 1977 හනාෆි නැඟිටීමට හේතු වූයේ ද චිත්‍රපටයකි.