සොරි සර්! ඇත්ත කිව්වම ලොක්කන්ට තදවෙනවා තමයි.!

සොරි සර්! ඇත්ත කිව්වම ලොක්කන්ට තදවෙනවා තමයි.!

රාජ්‍යයට දේශද්‍රෝහී වූ බවට චෝදනා කර ඉන්දීය පොලිසිය විසින් රඳවා තබාගත් කාටුන් ශිල්පි අසීම් ත්‍රිවේදී ඉකුත් සතියේ ඇප පිට නිදහස් කරන ලදී. ඔහු තව දුරටත් රඳවා තබා ගැනීමට අවශ්‍ය නොවන බව මුම්බායි අධිකරණය තීන්දු කිරීමත් සමඟ ඔහුගේ පාඨකයන් අධිකරණය අසළ ඝෝෂා පැවැත්වූහ. අසීම් ත්‍රිවේදී නිදහස් කාටුන් ශිල්පියකු මෙන්ම දුෂණ විරෝධී ව්‍යාපාරයක යෙදෙන්නෙකි. ඉන්දියාවේ ජාතික විවාදයක් වූ කතා කිරීමේ නිදහස” පිළිබඳ වන කතිකාව යළි දල්වන්නෙකි.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වන ඉන්දියාවේ බලධාරීන් විසින් ට්විටර් මාධ්‍ය මර්දනය කිරීමට කටයුතු කිරීමට එරෙහිව ඔහු සිය පැන්සල හා පින්සල භාවිතයේ යෙදවිය . විසි පස් හැවිරිදි ත්‍රිවේදී මුලින්ම තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය. ඔහු ඉල්ලා සිටිනු ලැබුවේ තමාට එල්ල කරනු ලැබූ චෝදනා ඉවත තබන ලෙසයි. එසේ නමුත් මුම්බායි මහාධිකරණය ඔහුට ඉන්දීය රුපියල් 5000 ක් (ඇ. ඩො. 90)ක ඇප මත නිදහස් කිරීමට තීරණය කළේය. ඒ ප්‍රාන්ත ආණ්ඩුව ඔහුට එරෙහිව ගොනු කරනු ලැබූ චෝදනා පිළිබඳ යළි සිතා බලන බවට අධිකරණයට වූ පොරොන්දුවෙන් පසුවය.

තරුණ නීතිඥයකු විසින් ත්‍රිවේදීට එරෙහිව මුම්බායි අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් හෙතෙම අත්අඩංගුවට ගැනීමට ඉවහල් විය. ඉන්දීය ජාතික සංකේත ත්‍රිවේදී විසින් හාස්‍යයට ලක් කර ඇතැයි තරුණ නීතිඥයා සිය පෙත්සම මගින් අධිකරණයට කරුණු දක්වා තිබිණි. මොහුගේ කාටුන් වලින් එක් නිර්මාණයක වාක්‍ය 4ක ඉන්දීය ජාතික සංකේත වැරැදි ලෙස අර්ථ නිරූපණ වන සේ දක්වා ඇති බව පැමිණිල්ලේ චෝදනාව විය. එසේම ඉන්දීය ජාතික උදාන වාක්‍යයක් වන “සත්‍යය ජය ගනී” යන්න “ දුෂණය ජයගනී” ලෙස විකෘති කර ඇති බවටද පැමිණිල්ලේ නීතිඥයා අවධාරණය කර තිබිණි. චෝදනා තහවුරු වූයේ නම් උපහාස රචකයාට වසර 3 ක සිරදඬුවම් නියම වීමට ඉඩතිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් ත්‍රිවේදීට තමන් කරමින් සිටින්නේ කුමක්ද යන්න පිළිබඳ මනා අවබෝධයක් හා අනාගත දැක්මක් ඇති බව පැහැදිලිය. සත්‍ය හාස්‍යජනක ලෙස නිරූපණය කරමින් තමන් ගෙන යන කුරුස යුද්ධය ඉදිරියටත් ගෙන යන බවට ඔහු කියා සිටියි. සමාජීය හා වාර්ගික සාධාරණත්වය, පංති විෂමතාව පිටුදැකීම තම අරමුණ බව ඔහු පෙන්වාදෙයි.

“ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 124 ඒ වගන්තිය මුළුමනින්ම අහෝසි කරන තෙක් ඒ සඳහා මිනිසුන් පොලඹවන මාගේ අරගලය ඉදිරියට ගෙනියනවා. එම අරගලය මාව නිදහස් වනතුරුත් සීමා වූයේ නෑ. එය රටට එරෙහිව කරන ලද අභ්‍යාසයක් නොව කතා කිරීමේ නිදහස පිළිබඳ වූ අයිතියක් විය යුතුව තිබුණා.” ත්‍රිවේදී පවසයි.

භාෂණයේ නිදහස හා දුෂණ විරෝධී සමාජ ක්‍රියාකාරීන් අතර, ත්‍රිවේදීට හදිසියේම ඉමහත් පිළිගැනීමක් හිමිවිය. ඉන්දියානු රජය මේ වන විට තමාට දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ ඇඟිල්ල දිගුකරන්නන් නොරුස්සන මට්ටමට පැමිණ ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං ගේ නියෝග මත ට්විටර් ගිණුම් ගණනාවකට ප්‍රවේශවීමට නොහැකි ලෙස ඉකුත් මාසයේ තාවකාලිකව අවහිර කර තිබේ. අන් අයගේ පුද්ගලික තොරතුරු ආශ්‍රයෙන් ව්‍යාජ ලෙස සකසන ලද ට්විටර් ගිණුම් මෙලෙස තාවකාලිකව අවහිර කර ඇති බව එරට බලධාරීන් පවසා ඇතත්, ඇතැමුන් පවසන්නේ එසේ ව්‍යාජ ලෙස සකසන ලදැයි කියන ගිණුම මෙන්ම ඒවාද ඇතුළත්ව රජයේ දුෂණ හා අක්‍රමිකතා විවේචනය කරන්නන්ගේ හා ඊට එරෙහිව අරගල කරන්නන්ගේද ගිණුම් අවහිර කිරීමට පියවර ගෙන ඇති බවයි. රටේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවට අන්තර්ජාතික වශයෙන් හා රටේ අභ්‍යන්තරයෙන් ඉන්දීය රජයට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතියදී ත්‍රිවේදී ද එහි ගිනි පළිඟුවක් දල්වන්නකු බවට පත්ව තිබේ. ලෝකය වේගයෙන් ඉදිරියට ගමන් කරද්දී යළි ආපසු හැරෙමින් යටත් විජිත කාලයේ පැවති නීති යළි ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවට ඔවුහු ඉන්දීය රජයට චෝදනා එල්ල කරති.

“දේශපාලනඥයන් ඉවසීමට ඉගෙන ගත යුතුයි. මේක ආඥාදායක පාලනයක් නෙවෙයි” ඉන්දීය පුවත්පත් මණ්ඩලයේ ප්‍රධානියා මෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්කන්ඩි කත්ජු CNN-IBN television පුවත් සේවයට අදහස් දක්වමින් පෙන්වාදෙයි. මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍ය පී. ආර්. පටෙල් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරමින් පවසා ඇත්තේ ත්‍රිවේදීගේ සිදුවීම හා ඔහුට එරෙහිව නඟා ඇති චෝදනා පිළිබඳ රජය යළි සිතා බැලයි යුතු බවයි.

ත්‍රිවේදී ඉන්දියාවේ නිදහස් කාටුන් ශිල්පියෙකි. එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් “ කාටුන් ශිල්පීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ජාලය, 2012 වසරේ නිර්භීත කාටුන් ශිල්පීන් වෙනුවෙන් ප්‍රදානය කරන ලද සම්මාන ද්විත්වයෙන් එකකට හිමිකම් කියුවේ ඔහුය. මෑත කාලීන ඉන්දීය දුෂණ විරෝධී අරගලයේ කැපී පෙනෙන චරිතයක් වූද, ඉකුත් දෙසැම්බරයේ මුම්ඛායි නගරය කේන්ද්‍රකරගත් දුෂණ විරෝධී ව්‍යාපාරයේ මඟ පෙන්වන්නා වුද අන්නා හසාරේගේ දැක්ම ත්‍රිවේදීගේ කාටුන් නිර්මාණවල පතිතවී ඇති සෙවනැල්ලයි. ඔහු ඉන්දීය දේශපාලනඥයන් ගේ දුෂණ හා අක්‍රමිකතා හාස්‍යජනක ලෙස හෙළිදරව් කරමින් සිටියි. ඉන්දීය ජනමාධ්‍ය අමාත්‍ය අම්බිකා සෝනි මෙම සිදුවීම පිළිබඳ දැඩි කම්පනයෙන් යුතුව සිටියි. ඉන්දීය ව්‍යවස්ථාව තුළින් අර්ථ දක්වා ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කිරීම පිණිස තමන් වගකියන අතරම, ඉන්දියානු පුරවැසියන් ලෙස සියලු දෙනාම ජාතික සංකේතවලට ගරු කළ යුතු බව හෙතෙම පවසයි. “අපේ රජය වාරණය කරන්නේ නෑ. එය සෑම පියවරක් සඳහාම ස්වයං වාරණයක් පනවා ගන්නවා පමණයි” හෙතෙම අවධාරණය කරයි.

ත්‍රිවේදි අත්අඩංගුවට ගැනීමෙන් මාස 5කට පමණ පසු බටහිර බෙංගාලයේ විශ්වවිද්‍යාලයක සේවය කරනු ලබන මහාචාර්යවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බටහිර බෙංගාල ප්‍රාන්ත රජයේ ප්‍රධාන අමාත්‍ය මම්තා බෙනර්ජි උපහාසයට ලක් කළ කාටුනයක් ඔහු විසින් ඊ මේල් කළ බැවිනි. ඒ අයුරින්ම පසුගිය මාසයේ බටහිර බෙංගාලයේ ගොවියකු අත්අඩංගුවට ගෙන තිබේ. බෙනර්ජි සහ ඔහුගේ ගොවිපොළ ප්‍රතිපත්ති විවේචනය කළ බැවින් මාඕවාදියකු ලෙස හංවඩු ගසා මොහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි. ඔවුන් දෙදෙනාද මේ වන විට ත්‍රිවේදි මෙන් ඇප මත මුදාහැර ඇති මුත් රාජ්‍ය ද්‍රෝහි චෝදනා තාමත් වලංගුය.

අල්ජසීරා ඇසුරිනි