අසමසම අලිට ලිබර්ටි සම්මානය

අසමසම අලිට ලිබර්ටි සම්මානය

මොහොමඩ් අලි ලිබර්ටි සම්මානයෙන් පිදුම් ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දාවේ ය. ඒ බොක්සිං ක්‍රීඩකයකුට අමතරව මානවහිතවාදී ක්‍රියාකාරකම්, පුරවැසි හිමිකම් සහ ආගමික නිදහස වෙනුවෙන් ඔහු ඉටු කළ අසමසම මෙහෙය වෙනුවෙනි. 70 හැවිරිදි අලි ස්වකීය සම්මානය ලබා ගනු පිණිස පිලඩෙල්ෆියාවට පැමිණි සිටියේ තරමක අපහසු සෞඛ්‍ය තත්ත්වයක සිට ය. කාලයක් මුළුල්ලේ ඔහුට බැට දෙන පාකින්සන් රෝගයට අවනත නොවෙමින් අලි යෝධයකු ලෙස නැඟී සිටින්නට ඉටා ගෙන සිටියා වැනි ය. ලයිලා අලි වෙතින් තම සම්මානය ලබා ගත් මොහොමඩ් අලි ස්වල්ප මොහොතක් ඒ දෙස බලා සිටියේය.

ඉන් පසුව රැස්ව සිටි පිරිස වෙත අත වනමින් සුහදත්වය පළ කළ අලි ප්‍රකට කළේ මහත් වූ සංතෝසයකි. මේ සමඟ අමෙරිකානු ඩොලර් 100 000 ක මුදල් ත්‍යාගයක් ද හිමි විය. මොහොමඩ් අලි ගේ බිරිය වූ ලෝනි අලි තම සැමියා ගැන පැවසුවේ මෙවැන්නකි. ‘අලි හැම තිස්සේ ම සාධාරණ දේ වෙනුවෙන් නැඟී හිටියා’

අලි නැඟී සිටි සාධාරණත්වය වෙනුවෙන් ඔහුට ලැබුණු ලිබර්ටි සම්මානය අලිට මෙන් ම සෙසු ලෝකයටත් බොහෝ වටී. මන්දයත් ලිබර්ටි සම්මානය ලැබීම සුළු පහසු කටයුත්තක් නොවන බැවිනි. ඒ කෙසේද යත් 1990 වසරේ පිලඩෙල්පියා ලිබර්ටි සම්මානය ලැබුවේ ජිමී කාටර් විසිනි. 1993 දී නෙල්සන් මැන්ඩෙලා සහ ෆෙඩ්‍රික් විලියම් ඩි ක්ලාක් දෙපොළ වෙත එය පිරිනැමීය. 2001 වසරේදී කොෆී අනන් වෙත එය ලැබුණු අතර, 2002 දී එය ලැබුණේ කොලින් පවෙල් ට ය. 2004 දී හමීඩ් කර්සායි මේ සම්මානය හිමි කර ගත් අතර 2006 දී ජෝර්ජ් බුෂ් සහ බිල් ක්ලින්ටන් ට එය හිමි විය. 2008 වසරේදී මිහයිල් ගොර්බචෝව් වෙතත් 2009 දී ස්ටීවන් ස්පිල්බර්ග් වෙතත් හිමි විය. 2010 දී ටෝනි බ්ලෙයාර්ත් 2011 දී රොබට් ගේට්ස් වෙතත් ලිබර්ටි සම්මානය හිමි විය. මේ 2012 වසරයි. මොහොමඩ් අලිගේ වසරයි.

හුදෙක් බොක්සිං ක්‍රීඩකයකු පමණක් නොවන මොහොමඩ් අලි අපූර්ව මිනිසෙකි.

ඔහුගේ අතීත කතාව ඒ අපූර්වත්වයට සාක්ෂි සපයයි. 1942 ජනවාරි 17 වැනිදා කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්වැලි හි උපන් මේ කොලු පැටියා නම් ලැබුවේ කැෂියස් මාසලස් ක්ලේ නමිනි. කැෂියස් නම් ලැබුවේ 19 වැනි සියවසේ විසූ වහලකු සිහිවන සේය. ඔහුගේ පියා බිල්බෝඩ්වල අකුරු අදින්නෙක් විය. ඔහුගේ මව ඔඩෙසා ඕ ග්‍රේඩි ක්ලේ නම් විය. ලුයිස්වැලි හි පොලිසියේ නිළධාරියකුගේ සහ ජෝ.ඊ මාටින් නමැති බොක්සිං පුහුණුකරුගේ මඟ පෙන්වීම මත බොක්සිං නමැති බරපතළ ක්‍රීඩාවට යොමු වූ කැෂියස් ඉන් පසු නැවතීමට නම් නොසිතීය. කැෂියස් සතුව කදිම බයිසිකලයක් විය. එහෙත් එය කිසිවකු විසින් සොරකම් කරණු ලැබ තිබුණි. මේ පැමිණිල්ලත් සමඟ පොලිසිය වෙත පැමිණි කැෂියස් කීවේ සොරාගේ ඇට කටු කුඩු කර දමන බවකි. මේ ඇසූ පොලිස් නිළධාරියා ඔහුට කීවේ පළමුව බොක්සිං ඉගෙනීම වැදගත් බවයි. මින් උද්දාමයට පත් කැෂියස් බොක්සිං නමැති අරුමය පසු පස ලුහු බදින්නට විය.

කැෂියස් ස්වකීය පුහුණුව ලැබුවේ චක් බොඩැක් වෙතිනි. ඔහු ප්‍රකට බොක්සිං පුහුණුකරුවෙකි. ඔහු වෙතින් ලත් පුහුණුව හේතුවෙන් කෙන්ටකි ප්‍රාන්තය වෙනුවෙන් ආධුනික මළල ක්‍රීඩා සංගමය මෙහෙයවූ බොක්සිං තරගවලින් රන් අත්වැසුම් සම්මාන හයක් ලැබුවේය. රාත්තල් 168 බර කාණ්ඩය යටතේ තරග වැදී 1960 දී රෝමයේ පැවැති ඔලිම්පික් උළෙලකදී රන් පදක්කමක් හිමි කර ගන්නා ලදී. ආධුනිකයකු වශයෙන් සහභාගී වූ කැෂියස් තරග සියයකින් පහක් පමණක් පරාජය විය. එහෙත් ඔහු ලත් ඒ රන් පදක්කම ඔහියෝ ගඟට වීසි කිරීමට තරම් කැෂියස් නිර්භීත විය. ඒ ආපනශාලාවකදී කළු හම ඇති අයට සේවා සැපයීම ප්‍රතික්ශේප කළ විටදීය. මේ බව සඳහන් වන්නේ ඔහුගේ ජීවිත කතාවේය. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වුවත් පසු කාලීනව ඔහුට ඔලිම්පික් කමිටුව වෙතින් ආදේශ පදක්කමක් ලබා දුනි. ඒ, කැෂියස්ගේ ස්වරූපයයි. වහලකුගේ නමක් ඇතිව ඉපදුණු කැෂියස් වර්ණභේදවාදය දැඩිව හෙළා දැකීම එතරම් අරුමයක් නොවේ.

තම ඔලිම්පික් ජයග්‍රහණයත් සමඟ නැවත ලුයිස්විල් වෙත පැමිණි කැෂියස් වෘත්තිමය බොක්සිං ක්‍රීඩකයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරන ලදී. 1960 ඔක්තොම්බර් 29 වැනිදා ඔහු පළමු වෘත්තිමය තරගය ජයග්‍රහණය කරන ලදී. 1960 සිට 1963 දක්වා කැෂියස් දිගින් දිගටම තරග දිනීමට සමත් විය. නමගිය බොක්සිං ක්‍රීඩකයන් වූ ටෝනි එස්පර්ටි, ජිම් රොබින්සන්, ඩොනී ෆ්ලීමන්, අලොන්සෝ ජොන්සන්, ජෝර්ජ් ලෝගන් සහ විල් බෙස්මනෝෆ් ආදීන් පවා පරාජය කිරීමට සමත් විය. තරුණ බොක්සිං ක්‍රීඩකයකුට මේ මහත් ගෞරවයක් සහ කීර්තියක් අත් කර දෙන සුළු ක්‍රියාවක් විය. ක්‍රමයෙන් කැෂියස් යනු ලෝකයේ බොක්සිං ක්‍රීඩාව වෙනස් ගමන් මඟකට යොමු කළ ක්‍රීඩකයකු විය.

එමෙන්ම බොක්සිං ක්‍රීඩාවේ පුරාවෘතයක් බදු වූ ආචි මෝරේ ව බොක්සිං වළල්ලේ බිම හෙළීමත් සමඟම කැෂියස් කාගේත් කතාබහ බවට පත් විය. ඔහුව බොක්සිං වළල්ල තුළ නොයෙකුත් අන්වර්ථ නම්වලින් හදුන්වන ලදී. ‘අවලස්සන කළු වලසා’ යනුවෙන් කැෂියස් ක්ලේ හැදින්වුවත් ඔහු හදවතින් ඉතා ලස්සන මිනිසෙකි. ඔහු සටන් කරන විලාසය ගැනද නොයෙක් උදෘත ඇති විය. එනම් ඔහු සමනලයකු මෙන් පාවෙමින් බඹරකු මෙන් දෂ්ට කරන බවයි. ඉතාමත් ප්‍රකට බොක්සිං තරග කිහිපයකට පසුව කැෂියස් තම ආගම මාරු කිරීමට තීරණය කරන ලදී. වහලකු සිහි වීම පිණිස කැෂියස් ක්ලේ නමින් ලත් නම ඉස්ලාම් ආගමට හැරීමත් සමඟ ම මොහොමඩ් අලි නම් විය. මේ ආගම් මාරුව ඔහු දෙස ලෝකය හැරී බැලීමට සමත් වූ බව කාටත් නොරහසකි.

වියට්නාම් යුද්ධයට යාම ප්‍රතික්ශේප කිරීමත් සමඟ යළිත් ආගම සම්බන්ධ කාරණාව වේදිකාවට පැමිනිණි. ඉස්ලාම් දහමට අනුව අන් පණක් නැසීම පාපයක් බව සැලකූ මොහොමඩ් අලි තමා වියට්නාම යුද්ධයට සහභාගි නොවන බව තරයේම ප්‍රකාශ කරන ලදී. යළිත් බොක්සිං ක්‍රීඩාවටම පැමිණි අලි 1971 දී මුහුණ දුන් සියවසේ සටන වඩාත් වැදගත්ය. ජෝ ෆ්‍රේසර් සමඟ පැවැති මේ සටනින් මොහොමඩ් අලි පරාජයට පත් විය.

ජයග්‍රහණ රාශියක් සමඟ පරාජයන් කිහිපයක් ලත් මොහොමඩ් අලි 1984 දී පාකින්සන් රෝගය වැලදීම හේතුවෙන් ඔහු බොක්සිං ක්‍රීඩාවෙන් සමු ගත්තේය. බොක්සිං ක්‍රීඩාවේ අසමසම කිරුළ හිමි මොහොමඩ් අලි ගැන කීමට ඇති දේ සහසක් අතර අල්පයක් දේ කීම ලජ්ජාවට කරුණකි. එහෙත්, මොහොමඩ් අලි තවත් බොහෝ කාලයකට යළි යළිත් පුවත් මවනු ඇත. එවිට ඔහු ගැන අපට යළි යළිත් කථා කළ හැකි වනු ඇත.

ලිබර්ටි සම්මානය අතැතිව හැඟීම්බරව සිටින මොහොමඩ් අලි නොකියා කියන්නේ එවන් කථාවක් නොවේද?

ස්කයි නිවුස් ඇසුරිනි