තන පුඩු වැහැරුණු අම්මලාගේ කිරිපිටි අදෝනාව

තන පුඩු වැහැරුණු අම්මලාගේ කිරිපිටි අදෝනාව

පාතිමා අබ්දුල්ලාහ් කළු දුම අතරින් සැතපුම් සිය ගණනක් දුර මඟ ගෙවාගෙන සිරියා - තුර්කි දේශසීමාවට පැමිණියේ පුළුවන් ඉක්මනින් තුර්කියට පැනගන්නට ය. එකවර දරුවන් දෙදෙනකුට කුස යහන කරගෙන, වැටි - නොවැටී, යම්තමින් දිවිගැට ගසාගෙන, එතෙක් පැමිණි ගමන ඇගේ සිතට කොහෙත්ම ශක්තියක්, සැනසිල්ලක් ගෙන ආ එකක් නොවේ. පාතිමාගේ නිවෙස පිහිටි සිරියාවේ මාරියා පෙදෙස, බෝම්බ පිපිරීම් නිසා ගිනි ගැනුණු එකකි. හිත් – පිත් නැති බෝම්බවලට මැදිවුණු අහිංසක මිනිසුන්ගේ විලාපය යන - එන හැමතැනකම පැතිරී ඇත. මිනිස් රුධිරයෙන් තෙමුණු මහ පොළොව මත මළ කඳන් ය.

උන්හිටිතැන් ද, එතෙක් - මෙතෙක් හරිහම්බ කළ දේ ද අත්හැර හිස් ලූ ලූ අත දුවන ගැහැනුන්, පිරිමින් සහ දරුවන්ගෙන් පිරුණු වීථි වලින් ඇසෙන්නේ කෙළවරක් නැති අඳෙීනා ය. මිනිසකු යළි කිසිදාක නොදැකිය යුතු මේ අප්‍රසන්න දේ දැක දැකත් පාතිමා නොසැලී සිටියාය. එකම බලාපොරොත්තුව දැන් දැන් ඉටු වී සැනසිල්ලේ “ඩිංගක් හාන්සි වෙන්න” ඉඩක් ලැබේ යැයි කියා ගෙවුණු හැම තත්ත්පරයම ඇය සිතුවාය. බොල් වී අහුරු උඩු සුළඟට හසුව ගියාක් මෙන් ඈ සිතූ සිතුම් අවසානයේ දී ඇගෙන් ඈත්ව ඈතට ඇදී ගියේය.

රටට දරන්නටත් බැරි තරම් සිරියා සරණාගතයන් පිරිසක් මේ වන විටත් තුර්කිය භාරගෙන හමාර ය. අසූදහසක් වන මේ පිරිසට වුවමනා පහසුකම් සැපයීම සිරියාවට පහසු කටයුත්තක් නොවේ. තවත් සරණාගත කඳවුරු කිහිපයක් ඉදිකර හමාර වන තුරු තුර්කියට අලුතින් සිරියා සරණාගතයන් ගැනීම තාවකාලිකව නතර කෙරිණි. මේ වගක් නොදත් පාතිමා එහි පැමිණෙනවිට දරු බරින් කියාගන්න ට බැරි තරමට වෙහෙසට පත්ව සිටියාය.

හැලහැප්පීම් මැද තම මව සමඟ තවත් දුර යා නොහැකියැයි දැනුණු නිසාදෝ ඇගේ දරුවෝ මෙහි පැමිණෙන්නට මහ කලබලයක් කරමින් සිටියහ. තමන් නුදුටු සිරියා බිම ගිනි ගැනුණු ආත්ම ඇති මිනිසුන්ගේ පව්වලින් සාපලත් එකකැයි කියා දැන සිටියා නම් ඔවුන් එතරම් හදිස්සියෙන් නොපැමිණෙනු ඇත. වරද නූපන් ඔවුන්ගේ නොව, ඉපදී නූපන්වුන්ට විනකටිනවුන් අත ය. පාතිමා එලොවත්, මෙලොවත්, දෙලොවත් නැතිව ජීවිත තුනක් වෙනුවෙන් දෙවියන් යැද්දා ය. අවසානයේ දී ඇයට පමණක් තුර්කි රෝහලකට ඇතුළුවන්නට අවසර ලැබිණි.

රෝහලට ඇතුළුවුණු සැණෙකින් පාතිමා නිවුන් පුතකුටත් – දුවකටත් මව වූවාය. මවටත් දරුවන්ටත් කෙතරම් ආරක්ෂාව, රැකවරණය හා පෝෂණය අවැසි වුවත් තුර්කි බලධාරීන් ඔවුන්ව දිගු කලක් රෝහලේ තබාගන්නට කැමති වූයේ නැත. දරුවන් ඉපදී දින දෙකකින් ඔවුන් යළිත් සිරියාවට හරවා එවිණි. අහ්මඩ් පුතුගේත් බයාන් දියණියගේත් මොළකැටි දෑත් දෙපාවල සුවය දැනෙන විට, පාතිමාගේ හිතේ හා ගතේ දුක් වේදනා ඉබේටම නැති වී යයි. එහෙත් දරුවන් දෙදෙනා සුවසේ තබන්නට ඇයට කිසිදු පහසුකමක් නැත.

තුර්කියෙන් සිරියාවට එවූ මේ තිදෙනාට අවසානයේදී නිවහන වුණේ සිරියා - තුර්කි දේශ සීමවේ තිබෙන සරණාගත කඳවුරකි. දරුවන් දෙදෙනකුට ලේ කිරි කරන අම්මාට හරිහැටි කෑමක් – බීමක් නැත. සනීපාරක්ෂක පහසුකම් කිසිවක් ද එහි නැත. ඒවා නිවාගන්නට ඇහැ පියාගන්නට තැනක් වේ නම් ඇයට එය කෙතරම් අස්වැසිල්ලක්ද? එහෙත් 5000ක් දෙනා නිතර ගැවසෙන කඳවුරේ ගිමන් අරින තැනක් කොහිද? දරුවන්ට හරිහැටියට ඇඳුම් පැලඳුම්ද, බෙහෙත් හේත් ද, මදුරු දැල් යනාදී අවශේෂ දේ ද එහි නැත. ඒ නිසා උපන්තැනම සිඟිත්තන්ට ද දුක උරුම වී ඇත.

දරුවන් සිය ගණනක් වෙසෙන කඳවුරට වෛද්‍ය සායනයක්වත්, වෛද්‍යවරයකුවත් නැත. අඩු පහසුකම් යටතේ යම් තම් අටවාගත් කුඩා සායනය පවත්වාගෙන යන්නේ තුර්කිය යි. කඳවුරේ අයකුට එහි ගොස් ලෙඩට දුකට බේතක් - හේතක් ලියවා ගත හැකිය.

වැඩිදුර ප්‍රතිකාර කිසිවක් එහි නැත. ගැබිනි මාතාවන් පමණක් තුර්කි රෝහල් වෙත යොමු කෙරේ. ඒ දරු ප්‍රසූතිය සඳහා පමණි. ප්‍රසූතිය අවසන් වුණු වහාම මවත්, දරුවත් යළිත් කඳවුරට භාර කෙරේ. වැඩි සැලකිලි,ආරක්ෂාව, රැකවරණය – මේ සියල්ල සපයාගත යුත්තේ තම තමන් ය. තුර්කි වෛද්‍ය සායනය භාරව සිටින්නේ වෛද්‍ය පී. නෙක්මො ය. කඳවුරේ සිටින සිය ගණනක් දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය ගැන ඔහු කියන කතාව මෙබඳුය.

“ළමයි හුඟදෙනෙක් චර්ම රෝගවලින් පෙළෙනවා. මැස්සන් , මදුරුවන්, සහ අනෙක් කෘමීන්ගේ දෂ්ට කිරීම්වලට දරුවන් ගොදුරු වෙනවා. දරුවෝ ඒ තැන් තදින් කසනවා. නොයෙක් විෂබීජ ඒ තැන්වල රැඳෙනවා. ඉදිමිලා සැරව ගලන තුවාලවලින් හෙම්බත් වුණු දරුවෝ කඳවුරු බිම පුරාම, මේ මිහිපිට මේ තරම් නරක දෙයක් මම කවදාවත්ම දාකලා නැහැ.”

කඳවුරට පිරිසුදු පානීය ජලය ලැබෙන්නේ ම නැතිතරම් ය. පයිප්පවලින් කාන්දුවන අපිරිසුදු වතුර දෝතට ගෙන උගුරක් දෙකක් බඩට හලාගන්නා දරුවන් සුලභ දසුනකි. ඔවුහු තවත් පැයක් දෙකක් තැනින් තැන ඇවිදිමින් සිටිති. ඊළඟට ඔවුන් බිම ගුලිවී කෑගසන්නේ පාචනයෙන් පීඩාවට පත්වෙමිනි. පිරිසුදු දිය දෝතක් සොයාගන්නටවත් වැඩිහිටියේා අහලකට - පහළකට නොයති. කොයි මොහොතක හෝ ගුවන් ප්‍රහාර එල්ල විය හැකිය . තැනක්, නොතැනක් නැතිව බෝම්බ පුපුරායයි. ගිනි අවි මානාගත් මිනිස්සු ඉවක් - බවක් නැතිව ලේ පිපාසයෙන් ඇවිදිති. තැති ගැනුණු සරණාගතයින්ට කඳවුරු බිමෙන් තවත් එක අඩියක්වත් ඔසොවන්නට හිත් නොදෙයි.

මේ බිය, සැක, සංකා සියල්ලක්ම, මේ විධියටම පාතිමාගේ සිත තුළත් තිබේ. ඇගේ දෙතන පුඩු වියැළී ළැම ගල් ගැසෙන්නේ ඒ නිසාය. ඉතින්, දරුවන්ට මවුකිරි නැත. මවුකිරි නැති දරුවන් ට ළදරු කිරිපිටි ස්වල්පයක් සොයාගන්න ළඟ - පහත තැනක් ද නැත. මොන තරම් බෝම්බ පිපිරුවත් අලුත උපන් ළදරුවන් බඩගින්නේ තබන්නට හිත්පිත් ඇති මිනිසුන්ට හිත් නොදෙන්නේය. ඒ නිසා ළදරුවන්ගේ පියාත්, බාප්පාත් අසල්වැසි ගම්වලට පැමිණ ළදරු කිරිපිටි ස්වල්පය බැගින් එකතුකරගෙන යති. ළදරු කිරිපිටි අල්ලට සිඟාගෙන ගොස් තවත් කොතරම් කාලයක් මේ විධියට දරුවන්ගේ බඩ – කට පුරවන්නේදැයි කියා ඔවුහු අසති.

යාහු නිවුස් ඇසුරිනි