අහසින් පොළොවට බට කුමාරයාගේ කතාව

අහසින් පොළොවට බට කුමාරයාගේ කතාව

අහසින් පැමිණෙන කුමාරයා දෙස ඈ නෙත් අයාගෙන බලා සිටියාය. සුදු සහ නිල් වලාකුළු මැදින් හිරු එළි විනිවිද ගෙන පොළොව දෙසට වේගයෙන් පාවී පාවී ආ කුමාරයා අවසානයේ අමෙරිකාවේ නිව් මෙක්සිකො හි යම්තම් තණකොළෙන් වැසී ගිය පාළු බිමකට සේන්දු වූයේය. මෙතෙක් වේලාවක් භීතියෙන් ගැහෙමින් විපිළිසරව තිබුණු ඇගේ හදවතත් ඒ සමඟම කෙමෙන් කෙමෙන් ආදරණීය සුමට තැනිතලාවකට පිවිසියේය.

තද කොළ පැහැ තුරුලියෙන් පිරුණු එහි මල් පිපී සුවඳ පැතිරෙමින් තිබිණි. මී ලොල් කැලගේ සිහින් ස්වරය නොනැවතී පැතිරෙන්නට වූයේය. අහසින් බිමට බට කුමාරයා තවත් මොහොතකින් මේ කුමරිය සොයා පැමිණේවි. ඊළඟට ඈ ඔහුගේ දෙතොල් උණුසුම් චුම්බනයකින් පුරවා දමනු ඇත. ඒ කවුරුත් සිතූ සැටිය. එහෙත් උතුරා ගලන වීරත්වය සමග ශෘංගාරය මුසු වූයේම නැත. මේ කතාවේ නිර්භීත කුමාරයා ෆීලික්ස් බවුම්ගාට්නර්ය. ඔහුගේ සුරු - විරුකම් චංචල හදැතිව අචල දෑසින් බලා සිටි සුරූපී කුමරිය නිකොල් ඔයිට්ල් ය

බොහෝ අය ෆීලික්ස්ගේ අභීත ක්‍රියාව හාදුවක උණුසුමෙන් රසවත් වනු ඇතැයි කියා බලා සිටියේ පෙර එක දවසක ඔහුට එවැන්නක් සිදු වුණු නිසාය. එදා ඔහු ඉගිලුනේ ක්‍රොඒෂියාවේ මාමෙට් සිරස් ගල් ගුහා තුළටයි. මේ ගල් ගුහා තුළට පියෑඹීම මරුවා පරදා ඉගිලීමකි. අඩි 600ක් ගැඹුරු පතුලට ගොස් යළිත් මෙගොඩට එන විට ෆීලික්ස්ව පිළිගන්නට ඔහුගේ සිහින කුමරිය එදත් එහි පැමිණ සිටියාය.

එදා ෆීලික්ස්ගේ සිහින ලෝකයේ සැරිසැරුවේ කටුස්ක්කා අල්ට්මාන්ය. මෙගොඩට පැමිණි විගසම අල්ට්මාන්ගේ ස්නේහය ඔහුගේ දෙතොල් අතර තැවරිණි. එසේ වුවත් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වූ අල්ට්මාන් ඔහුගේ හද අඹරෙන් හිටි අඩියේම බැස ගියේ කාටත් හොරාය. මාරක ඉසව්වලට ඉව අල්ලන ෆීලික්ස්ට ප්‍රේමයේ ආස්වාදනීය තැන් නොපෙනුණා වන්නට පුළුවනි. ඔහු හැමදාමත් මිනිසුන් දිහා බැලුවේ පොළොවෙන් සැතපුම් ගණනක් ඉහළට ගොස් හිස් අහසේ පාවෙමිනි. එවිට තරුණ ගැහැනු ළමයින්ගේ ගති - සොබා ඔහුට හරියටම දැකගන්නට හැකිවී දැයි කියා සැකයක් මතුවේ. අල්ට්මාන්ගේ ස්නේහයෙන් ඉවතට පැන ගත් ෆීලික්ස් කාලයකට පසු නිකොල්ගේ සිත ළඟ නැවතුණේ අහම්බෙන් මෙනි. 2006 වසරේ ඔහු සහභාගි වුණු සාදයකට නිකොල් ද පැමිණ සිටියාය. නිකොල් ඒ වසරේ ලෝවර් ඔස්ට්‍රියා ප්‍රාන්තයේ රූප රාජිනියයි. මේ නිසා ඇයගේ රූප සම්පත්තිය ගැන දෙවරක් සිතන්නට ෆීලික්ස්ට වුවමනා වූයේම නැත. ෆීලික්ස් - නිකොල් ආදර කතාව පටන් ගත්තේ එතැනිනි.

නිකොල්, ෆීලික්ස්ගේ හදවත දිනාගත්තේ ලද බොළඳ ආදරයක් ඔහු ඉදිරියේ තබමින් නොවේ. සැණෙකින් අහසට දිව යන, හිටි අඩියේ උස් ගොඩනැගිලි, කඳුවලින් පහළට පනින්නට, ගැඹුරු ප්‍රපාත තුළට පාවෙමින් යන්නට කැමැති ෆීලික්ස්ගේ සිතුවිලි නිකොල් හොඳින්ම කියවා බැලුවාය. ඒ අනුව ෆීලික්ස් සැනසිය හැකි වන්නේ ඔහු තබන සෑම භයානක පියවරක් පියවරක් පාසා ඔහුට ධෛර්යය ලබාදීමෙන් පමණක් බව ඇය අවබෝධ කරගත්තීය.

”ඇගේ ආදරය, ඔහුගේ මේ අපූරු හැකියාවන් දක්වා විහිදුණු එකක්. ඔහු කැමති භයානක කරණම්වලට හැකි හැම වෙලාවෙම ඇය සහය ලබාදෙනවා. මාස ගණන් ඔහු පුහුණුවීම්වල නිරතවෙලා ඉන්නකොට ඔහුට උපකාර කරනවා. ධෛර්යය දෙනවා. ඔහු ළඟම රැඳෙනවා. ඒ වගේම ඔහුට වුවමනා ශක්තිය ගෙන එන්නේ දැන් ඇයයි. ඈ විශ්මය සහගත පෙම්වතියක් ...” යැයි පවසන්නේ ෆීලික්ස්ගේ වැඩවලට නිකොල් කැපවෙන සැටි හොඳින්ම දන්නා ඔවුන්ගේ මිතුරෙකි.

ෆීලික්ස්ගේ යෝධ පිම්ම දිහා බලාගෙන සිටි ලෝ වැසි මිලියන ගණනක් ජනතාව අතර නිකොල් සිටියේ ෆීලික්ස් ගොඩබසින තැනට ආසන්නයෙන්මය. විශේෂිත කුටියක් තුළ සිය පවුලේ උදවිය සමඟ සිදුවන දෙය දෙස 26 හැවිරිදි මේ තරුණිය බලා සිටියේ වැඩි ගණනක් නැතිව ය. ආතතියක් හෝ බියක් තිබුණේම නැත. ඇගේ සෑම ඉරියව්වකම රැඳී තිබුණේ සැහැල්ලුව සහ සරල බවයි.

අවසානයේ ෆීලික්ස්ගේ මව - ඊවා බවුම්ගාර්ට්නර් සමඟ එක්වෙමින් නිකොල් ෆීලික්ස්ට උණුසුම් සුබපැතුම් පිරිනැමුවාය. මේ සුබ ප්‍රාර්ථනා අතර රැඳී තිබුණේ සාමකාමී චාම් බවක් පමණි. ඕනෑ තරමටත් වඩා වාර්තා තැබූ ෆීලික්ස්ට දැන් ඔහු ගැන හිතන – ඔහු ගැන සොයන, ඔහු වෙනුවෙන් පැතුම් පතන පෙම්වතියක් සිටී. ඔවුන් කවදා කූඩු තනාවිද යන්න ඊළඟ පැනයයි.

ෆීලික්ස් එයත් විසඳා ඇත. ලබන අවුරුද්දේ මුල් මාස දෙක තුන තුළදීම ඔහු නිකොල්ව සිය කැදැල්ලට කැඳවාගෙන එන්නට බලාපොරොත්තු වෙයි. විවාහයෙන් පසුව දෙදෙනා ජීවත්වීමට සැලසුම් කරන්නේ ස්විට්සර්ලන්තයේ අර්බෝන් නගරයේ ඔහුම තැනූ නිවහනකය. ඔස්ට්‍රියාවේ අතිශයින්ම ලස්සන නගරයක්වන සල්ස්බර්ග් හි උපත ලද ෆීලික්ස්ට අල්පයින් කඳුවැටිවලින් සෙවන වුණු ගම රට හැරදා යන්නට බැරිකමක් නැත. ස්විට්සර්ලන්තයේ නිස්කලංක නිවෙසක් තුළ හිඳගෙන පිය බිරිය සමඟ අනාගතය සැලසුම් කරන්නට ඔහුට තිබෙන දැඩි වුවමනාව ඒ සියල්ලටම යටය.

මාරක පිණුම් අපමණ සංඛ්‍යාවක් පැන ඇති ෆීලික්ස් වරක් දෙවරක් නීතියට පටහැණි කරණම් ගසන්නට ගොස් හිරේ – විලංගුවේ ද ලැග්ගේය. ඒ කුමන පිනුමත් හොඳටම ඇතැයි කියා 43 හැවිරිදි ඔහුට දැන් ඒත්තු ගොස් තිබේ. වා කදම්බ කපාගෙන සුපර් සොනික් වේගය දෙවැනි තැනට දමමින් පහළට පියඹාගෙන එන ෆීලික්ස් බවුම්ගාට්නර් කෙනකු යළි කිසිදාක දකින්නට ලැබෙන්නේ නැත. ඔහුගේ ආශාව දැන් ඉගිලෙන්නේ වෙනස්ම දිශාවකටය.

”මේ නිර්භීත පැනිලිවලින් මම දැන් විශ්‍රාම ගන්න ඕන. රසවත්, වැදගත් රැකියාවක නියැලෙන්න මට දැන් ඕනැ වෙලා තියෙනවා. ඒ වගේම හෙලිකොප්ටර් පදවන්නකු විධියටත් වැඩකරන්න ආසයි. ගිනි නිවීම් හා මිනිසුන් ආපදාවලින් මුදාගැනීමේ මෙහෙයුම්වලට ගුවනින් ගිහින් සහය වෙන එක මට හොඳට ගැළපෙනවා. හෙලිකොප්ටර් පදවන්නකු ලෙසත් එවිට මට වැඩ කරන්න පුළුවන්. එතකොට ඊ මේල්, දුරකතන ඇමතුම්වලින් මට ඈත්වෙලා ජීවත්වෙන්න පුළුවන්. ඒක නිදහසක්” යැයි නිව් මෙක්සිකො හිදී ඔහු කියා සිටියේය.

නිකොල්ගේ ආදරයත්, ෆීලික්ස්ගේ අලුත් බලාපොරොත්තුත් ස්විට්සර්ලන්තයේ පුංචි කැදැල්ලක දලු ලා වැඩෙනු ඇත. ඒ දලු අතරින් පුංචිම පුංචි ලස්සන මල් කැකුළුත් ඉක්මනින්ම පිපී හිනැහෙන්නට ඉඩ තිබේ.