ගෑනු නැත්නම් ජනපතිට හිසරදය

ගෑනු නැත්නම් ජනපතිට හිසරදය

1962 වසරේ දී ජෝන් එෆ් කෙනඩි සමකාලීන බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ හැරල්ඩ් මැක්මිලන් සහ විදේශ ඇමැති ආර්. ඒ. බී. බට්ලර් ද සහභාගි වන සම්මන්ත්‍රණයකට සහභාගි වූයේ ය. මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන කාලය ඇතුළත ස්ත්‍රී ඇසුරෙන් වැළකී සිටින්නට ඔහු අදිටන් කර ගත් අතර, එහෙයින් ම සම්මන්ත්‍රණයට සහභාගි වූ අමෙරිකානු ජනාධිපති නිලධාරී මණ්ඩලයට එකම ලේකම්වරියක හෝ ඇතුළත් කර ගැනුණේ නැත. එහි ප්‍රතිඵලය වූයේ කුමක් ද? ජනාධිපති කෙනඩි එම සම්මන්ත්‍රණය පැවැත්වෙන කාලය පුරාම තද බල හිසරදයකින් පීඩා විඳීම ය. ස්ත්‍රී ඇසුර ජනාධිපති කෙනඩිට කායිකව මෙන්ම මානසිකව ද අවශ්‍ය වූයේ ද?

ස්ත්‍රියක ළඟ පාතක නොමැති කල තද බල හිසරදයන් ගෙන් පීඩා විඳීමේ අත්දැකීම් ලැබූ පසු ජනපතිවරයා ගේ කාර්ය මණ්ඩලයට කාන්තාවන් දෙදෙනකු ඇතුළත් කර තිබුණේ, ඔවුනට නියමිත නිල කාර්යයන් ගෙන් තොරව ය. මේ කාන්තාවන් දෙදෙනා හැඳීන්වී තිබුණේද සංඥා නාම දෙකකිනි. ෆිඩ්ල් සහ ෆැඩ්ල් එම සංඥා නාම වූයේ ය.

මේ දෙදෙනා අතරින් එක් කාන්තාවක ජෝන් එෆ් කෙනඩි සෙනේට් සභිකයකු ලෙස කටයුතුª කළ කාලයේ පටන් ඔහු දැන හඳුනන්නියක බව පැවසෙයි. කෙනඩි ජනධිපති තනතුරට පත්වූ පසු ඔහු ඇයට ජාතික ආරක්‍ෂක කවුන්සලයේ රැකියාවක් ලබා දී තිබිණි.

ෆිඩ්ල් සහ ෆැඩ්ල් ට නිල වශයෙන් රාජකාරියක් නොපැවරුණ ද ඔවුන් නිතරම සූදානමින් සිටිය යුතු වූයේ ජනපතිවරයා ගේ යහනට නැඟෙන්නට ය. ඔහුගේ ඇසුරේ කාන්තාවක නො සිටිය හොත් තදබල හිසරදයක් වැලෙඳන්නට පෙර ෆිඩ්ල් හෝ ෆැඩ්ල් කැඳවුණු බව පැවසෙයි.

එක් සන්ධ්‍යාවක ධවල මන්දිරයේ ලින්කන් නිදන කාමරයේ ජෝන් එෆ් කෙනඩි සිට ඇත. මන්දිරයේ අනෙකුත් අය දැන නොසිටිය ද ඔහු එවෙලේ සිට තිබුණේ ෆිඩ්ල් හෝ ෆැඩ්ල් සමඟිනි. කිසිවකු දොරට තට්ටු කරන විට කෝපයට පත් ජනපතිවරයා දොර විවෘත කරද්දී දොරකඩ සිටගෙන සිට ඇත්තේ ජනාධිපති කාන්තාවක හා නිදන කාමරයේ සිටින බවක් නොදැන එතනට පැමිණ සිටි විදේශ කටයුතු පිළිබඳ උපදේශකවරුන් දෙදෙනෙකි.

ජනපතිවරයා කෝපය නිසාම දොර පුළුල්ව විවෘත කළ නිසා යහන මත කාන්තාවක නිරුවතින් සිටින බව උපදේ්ශකවරුන් දෙදෙනාට පැහැදිලිවම දැකගන්නට ලැබී ඇත. උපදේශකවරුන් පැමිණ තිබුණේ විදේශයකින් ලැබුණු පණිවිඩ දෙකකට යවන පිළිතුරු පිළිබඳ ජනපතිවරයා ගේ අදහස් විමසන්නට ය. දොර වසන්නට හෝ උනන්දු නොවූ ජනාධිපතිවරයා එතැන සිටගෙනම තම අදහස් උපදේ්ශකවරුන්ට දන්වා තිබේ.

1963 කෙනඩි ඇසුරු කර ඇත්තේ එලන් රොමෙට්ස්ට් නමැති නැඟෙනහිර ජර්මානු ජාතික කාන්තාවකි. සී අයි ඒ සහ එෆ් බී අයි සංවිධාන සැක කර ඇත්තේ ඇය ඔත්තුකාරියක ලෙස ය. එකල ජර්මනිය බර්ලින් පවුරෙන් දෙකට බෙදී තිබූ අතර, නැඟෙනහිර ජර්මනිය අයත් වූයේ කොමියුනිස්ට් කඳවුරට ය. විශේෂත්වය වන්නේ ඔත්තු සේවා යම් අනතුරු ඇඟවීමක් කළ වහා එම කාන්තාවන් ගෙන් ඈත් වීමට කෙනඩි සතු වූ දක්‍ෂතාව යි. මාෆියා සංවිධානයට සම්බන්ධ ජුසිත් කැම්බල් ගෙන් මෙන්ම මේ නැඟෙනහිර ජර්මන් කාන්තාව එලන්ගෙන්ද ඔහු ඉවත් වූයේ ඔත්තු සේවාවන් ගේ අනතුරු ඇඟවීම් අනුව ය.

මැරලින් මොන්රෝ සමඟ පවත්වා ගෙන ගිය සබඳතාවේදී ඔත්තු සේවා ඔහුට අනතුරු ඇඟවීමක් කළේ නැති ද? ඔත්තු සේවාවන්ට මැරලින් ගැන අනතුරු ඇඟවීම් කරන්නට හේතු තිබුණේ නැත. මැරලින් ගැන ජනපති කෙනඩි ට අනතුරු ඇඟවීම් කළේ ජැකොලයින් සහ රොබට් කෙනඩි පමණි. ජනපතිවරයා ඒවා ගණනකට ගත්තේ නැත.

මොන්රෝ හැරෙන්නට ජේන් මැන්ස්ෆීල්ඩ් හා ඇන්ජී ඩික්සන් වැනි හොලිවුඩ් නිළියෝ ද ජනාධිපති කෙනඩිට සමීප වී සිටියහ. 1967 වසරේ දී, කෙනඩි ඝාතනයෙන් සිවු වසරකට පසු හදිසි අනතුරකින් ජේන් මැන්ස්ෆීල්ඩ් මිය ගියාය. ඇය මිය යන්නට පෙර ප්‍රසිද්්ධියේම ප්‍රකාශ කර තිබුනේ තමා සහ ජෝන් කෙනඩි අතර වසර තුනක කාලයක් තිස්සේ අනියම් ඇසුරක් තිබූ බව ය.

“මම ඔහු සමඟ ඇසුරු කළේ එය කල් පවතින ආදරය මූලික කරගත් ආශ්‍රයක් නොවන බව දැන දැනමයි” ජේන් මැන්ස්ෆීල්ඩ් පවසා තිබිණි. “එහෙත් ඔහු ඉතා උණුසුම්, හැඟුම්බර, කාන්තා රුචිකත්වයන් මනාව දැන හඳුනන පුද්ගලයෙක්.”

“ජනාධිපති කෙනඩි මගේ ප්‍රේමවන්තයෙක් නෙවෙයි. එහෙත් අප අතර සුවිශේෂ සම්බන්ධතාවක් තිබුණා, ඒක ඇත්ත” එසේ පවසා ඇත්තේ හොලිවුඩ් නිළි ඇන්ජි ඩික්සන් ය. 1960 ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක රැලි පැවැත්වෙද්දී එක් රාත්‍රියක් ජෝන් එෆ් කෙනඩි ඇතුළු පිරිස ගත කර තිබුණේ පීටර් ලෝෆෝර්ඩ් ගේ නිවෙසේ ය. ලෝෆෝර්ඩ් විවාහ වී සිටියේ කෙනඩි ගේ සොහොයුරිය පැට් සමඟිනි. එදින එහි සිටි හොලිවුඩ් නිළියන් අතර ඇන්ජි ද සිට තිබේ. කෙනඩි ඇන්ජි හමුව සිදු වී ඇත්තේ එහිදීය.

මොන්රෝ - කෙනඩි හමුව සිදු වූ සාදය සංවිධානය කර තිබුණේ ද ලෝ ෆෝර්ඩ් ය. කෙසේ වෙතත් ජෝන් එෆ් කෙනඩි ජනපතිවරණයෙන් ජය ගත් පසු ලොෆෝර්ඩ් ඇන්ජි ට පවසා ඇත්තේ ජනපතිවරයා ලෙස කෙනඩි දිවුරුම් දෙන අවස්ථාවට අනිවාර්යයෙන් ම ඇන්ජිට ද ඇරැයුම් පතක් එවනවා කියා ය. එවිට ඇන්ඩි ඩික්සන් දී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

“කරදර වෙන්න එපා පීටර්... මට ආරාධනා පත්‍රයක් එවනවා කියලා ජෝන් කීවා. එයා මට එහෙම කිව්වේ ප්‍රතිඵල නිකුත් වුණ ගමන්ම වගේ දුරකථනයෙන් කතා කරලා. එවෙලේ මට සතුටට කතා කරගන්න බැරි වුණා දෙවියනේ... මට මේ කතා කරන්නේ අපේ රටේ ඊළඟ ජනාධිපතිවරයා නේ ද කියලා මට හිතුණා.”

පසු කාලීනව ඇන්ජි තමා හා කෙනඩි ඇසුර පිළිබඳ නිතර සිහිපත් කළාය.

“ඉතාමත් හොඳ හදවතක් සහ ලිබරල් චින්තනයක් තිබූ අයෙක්” ඇන්ජි නිතරම ජෝන් එෆ්. කෙනඩිව හැඳින්වූයේ එලෙසිනි. “ඔහුගේ හදවත ආදරයෙන් පිරී තිබුණා. ඒ ආදරය ඕනෑම අයකුට ලබා දෙන්න ඔහු පසුබට වූයේ නැහැ”

1963 නොවැම්බර් 22 දා ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් හිදී අමෙරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි ඝාතනය කෙරිණි. ලී හාර්වේ ඔස්වල්ඩ් එම ඝාතනය සිදු කළේ යැයි සැක කෙරුණු අතර, ඊට දින දෙකකට පසු ලී හාර්වේ වෙඩි තබා මරා දැමිණි. කිසි විටෙක ලී හාර්වේ අධිකරණයක් වෙත ගෙනැවිත් නඩු විභාගයක් පවත්වන්නට ඉඩ ලැබුණේ නැත.

එහෙත්, අදටත් බොහෝ දෙනාගේ අදහස වන්නේ ජේ. එෆ් කේ ඝාතනය කුමන්ත්‍රණයක් හා අබිරහසක් බව ය.

සමාප්තයි