NEWSWEEK  වසා දැමෙයි

NEWSWEEK  වසා දැමෙයි

වසර අසූවක කීර්තිමත් ඉතිහාසයක් හිමි සහ ලොව කීර්තිමත් ම පුවත් සඟරාවක් ලෙස සැලකෙන නිව්ස්වීක් මුද්‍රණය කිරීම නතර කිරීම ට තීරණය කර තිබේ. 2012 දෙසැම්බර් 31 වැනිදා මුද්‍රණය කෙරෙන එහි අවසන් කලාපයෙන් පසු සඟරාව ඩිජිටල් මාධ්‍යයෙන් පමණක් පළ කෙරේ. විචාරකයන් ට අනුව නිව්ස්වීක් මුද්‍රණය නතර කිරීම යනු ජනමාධ්‍යයේ මධ්‍යම පාන්තිකයන්ගේ මළගම යි.

‘ද ඩේලි බීස්ට්’ වෙබ් අඩවියේ මුලින්ම පළ වූ පුවත තටු ලබා පියෑඹීය. එය අතිශය ආන්දෝලනාත්මක සහ සිත් කලබල කරන සුලු පුවතක් වූ නමුත් නිව්ස්වීක් සඟරාවේ ප්‍රධාන කර්තෘවරිය ටීනා බ්‍රවුන් මෙසේ කීවාය. ‘සඟරාවේ මුද්‍රණය නතර කිරීම හදිසි තීරණයක් නෙවෙයි. ඒ තීරණය ට අපි එළඹිලා මාස කිහිපයක් වෙනවා. අලුතින් තීරණය වුණේ එය නතර කරන්නේ කවදා ද කියන දිනය පමණයි. අලුත් අන්තර්ජාල සඟරාවේ නම නිව්ස්වීක් ග්ලෝබල්.’

කාරණය පැහැදිලි ය. හේතුව සරල ය. නිව්ස්වීක් මුද්‍රණය නතර කෙරුණේ එහි අලෙවිය සහ ආදායම් දරුණු ලෙස පහත වැටුණු නිසා ය. 2003 වර්ෂයේ සඟරාවේ ලොව පුරා අලෙවිය මිලියන හතරකි. එනම් ලක්ෂ හතළිහකි. ඒ අතරින් ලක්ෂ 27 ක් ම අමෙරිකානු පාඨකයෝ වූහ. එහෙත් 2010 වන විට එහි අලෙවිය මිලියන එකහමාරක් හෙවත් ලක්ෂ 15 ක් දක්වා පහත වැටිණි. සතියකට පිටපත් හතළිස් දහස බැගින් අලෙවිය අඩු වෙමින් යන බව පැහැදිලි ව පෙනිණි. වෙළෙඳ දැන්වීම්වලින් ලද ආදායම, වියදමට නොසෑහෙන බව පෙනිණි.

2007 සිට 2009 දක්වා කාලය තුළ සඟරාවේ වත්කම් සියයට 38 කින් අඩු විය. මේ පාඩුව පියවා ගැනීමේ මඟක් ලෙස වොෂින්ටන් පෝස්ට් සමාගමේ අනූ දෙහැවිරිදි හිමිකරු සිඩ්නි හාමන් විසින් සඟරාව මිලදී ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස එහි කර්තෘ ජෝන් මිචම් සඟරාව හැර ගියේය. 2010 නොවැම්බරයේදී නිව්ස්වීක් සඟරාව, එයට කිසි අදාළත්වයක් නැති “ද ඩේලි බීස්ට්” වෙබ් අඩවිය හරහා කියවිය හැකි විය. මේ එකඟතාව ඇති කරගෙන තිබුණේ ප්‍රකාශන දෙකහි ම හිමිකරුවන් විසිනි. එතැන් පටන් ද ඩේලි බීස්ට් හි ප්‍රධාන කර්තෘ ටීනා බ්‍රවුන් නිව්ස්වීක් හි ද ප්‍රධාන කතුවරිය බවට පත් කෙරිණි. එතැන් පටන් නිව්ස්වීක් හි ප්‍රකාශකයන්ගේ සමාගම් නාමය වූයේ නිව්ස්වීක් ඩේලිබීස්ට් කෝපරේෂන්ය.

‘පාඨකයන් මේ වන විට වඩාත් ම නැඹුරුව සිටින්නේ ටැබ්ලට් පරිගණක සහ ස්මාට් ෆෝන් හරහා නිව්ස්වීක් කියවීමටයි. මේ තාක්ෂණික වෙනසත් එක්ක අපේ පාඨක එකතුව දිනෙන් දින අඩු වෙන්න පටන් ගත්තා’ යැයි ද සඟරාවේ ප්‍රකාශකයෙක් කීය.

අමෙරිකාවේ නගර නවයක් සහ හොංකාං, මෙක්සිකෝ සිටි, මොස්කව්, ජෙරුසලම, බැග්ඩෑඩ් ආදී ස්ථානයන් හි අන්තර් ජාතික වශයෙන් කාර්යාල 22 ක් පවත්වාගෙන ගිය නිව්ස්වීක් හි ස්වර්ණමය යුගයක් ද විය. 1933 දී නිව්ස්වීක් සඟරාව ආරම්භ කිරීමට මුල් වූයේ ටයිම් සඟරාවේ විදෙස් පුවත් සංස්කාරකවරයා වූ තෝමස් ජේ. සී. මාටින් ය. අමෙරිකානු කොටස් වෙළෙඳපොළ දැවැන්තයන්ගේ අයෝජන තුළින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක් සඟරාව වෙනුවෙන් වෙන් කරවා ගැනීමට ඔහු සමත් විය. 1933 පෙබරවාරි 17 වැනිදා එළිදුටු එහි පළමු කලාපයේ කවරය සැරසුණේ පළමු ලෝක යුද්ධය ට අදාළ ව ගෙවී ගිය සතියේ ඡායාරූපයකිනි.

එතැන් පටන් නිව්ස්වීක් අමෙරිකානු ජනමාධ්‍යයේ ඉතිහාසය ලීවේය. අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් හා ධවල මන්දිර සේවිකාවක වූ මොනිකා ලෙවින්ස්කි අතර ඇති වූ අනාචාර පළහිලව්ව පිළිබඳ මුලින් ම ඉව වැටුණේ නිව්ස්වීක් හි වාර්තාකරුවකු වූ මයිකල් ඉසිකොෆ් හටය. එහෙත් සඟරාවේ කර්තෘවරු පුවත පිළිබඳ අනුමාන සැකයකින් යුතු වූ නිසා එය හෙළිදරව් කිරීමේ කීර්තිය සඟරාව ට අනූ නවයෙන් අහිමි විය.

පසුව 2005 වර්ෂයේදී කියුබාවේ ග්වන්තනමෝ බේ ත්‍රස්ත සැකකරුවන් පිළිබඳ අපවාදය හෙළිදරව් කළේ නිව්ස්වීක් ය. පෙර කී වාර්තාකරු මයිකල් ඉසිකොෆ් කඳවුරේ සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී රැඳවියන් ට කරන අමානුෂික සැලකීම් ගැන ද, කුරානයක් වැසිකිළි පෝච්චියකට දමා වතුර ගැසීමේ සිද්ධියක් ගැන ද ලීවේ වොෂින්ටනය අන්ද මන්ද කරවමිනි. ග්වන්තනමෝ රැඳවියන් මෙයට පෙර ද මෙවැනි දේ සිදුවන බව කියා තිබුණත්, නිව්ස්වීක් හි ප්‍රබලත්වය කෙතෙක් ද යත් පුවතේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහා ප්‍රථම වතාවට අමෙරිකානු රජය ට ඉදිරිපත් වීම ට සිදු විය. මේ අතර සමලිංගික විවාහවලට සහාය පළ කිරීම නිසා බරක් ඔබාමා ‘අමෙරිකාවේ පළමු සමලිංගික ජනපති’ යැයි ද නිව්ස්වීක් කීවේය.

නිව්ස්වීක් හි ජනප්‍රියතාව ඉහළ යාම සඳහා බලපෑ තවත් ප්‍රධානතම හේතුවක් වූයේ එහි කවරයයි. කුපිත කරවන සුලු හෝ මතභේදාත්මක කවර රාශියකින් යුත් ඉතිහාසයක් එයට තිබේ. මෙබඳු කවර නිසා ඇතැම් විට නිව්ස්වීක් විචාරකයන්ගෙන් ඇති පදම් බැණුම් ඇසුවේය. නමුත් ඒ හා සමානව ම ජනප්‍රිය ද විය. 1948 අප්‍රේල් 4 වැනිදා නිව්ස්වීක් කවරය සැරසුණේ මහා ප්‍රාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ සමීප රූපයකිනි.

අයින්ස්ටයින්: නූගත්කමේ විජයග්‍රහණය යැයි එහි සඳහන් විය. 1961 අප්‍රේල් 17 කවරය අයික්මාන්ගේ නඩු විභාගය පිළිබඳ වූ අතර එය ට යොදා තිබූ මාතෘකාව වූයේ ‘වරදකරු කවුද? විනිශ්චය කළ යුත්තේ කවුද?’ යනුවෙනි. 1984 මයිකල් ජැක්සන්ගේ ද ටුවර් සංගීත ප්‍රසංග මාලාව විවේචනය කරමින් නිව්ස්වීක් සිය කවරයකට යොදා තිබූ සිරස වූයේ ‘රැවටිල්ල සහ මායා රෝගය (හිස්ටීරියාව)’ යන්නයි. 2009 දී එය ට පෙර වසරේ අමෙරිකානු උප ජනාධිපතිනි අපේක්ෂිකාව වූ සේරා පේලින් ගේ රුවින් නිව්ස්වීක් හි කවරය සැරසුණේ ‘සේරා වැනි ප්‍රශ්නයක් ඔබ විසඳන්නේ කෙසේ ද?’ යන මාතෘකාව ද සමඟිනි. සේරා පේලින් එහි සැරසී සිටියේ ක්‍රීඩිකාවකගේ කෙටි ඇඳුමකිනි.

එය කාන්තා දේශපාලනඥයන් ට කළ අගෞරවයක් සේ සැලකිණි. නිව්ස්වීක් මුද්‍රණය නතර කිරීම නූතන ජනමාධ්‍ය තුළ නව මාධ්‍යය හෙවත් නිව් මීඩියා වෙත සිදු ව ඇති නැඹුරුව පිළිබඳ අති ප්‍රබල සාක්ෂියකි. එසේම අමෙරිකාවේ පමණක් නොව ලොව සෑම රටක ම දැකගත හැකි සඟරාවෙන් කෙරෙන කාර්ය දිනපතා සහ සතිපතා පුවත්පත්වලින් සිදු කීරීමේ සංස්කෘතිය හේතුවෙන් ඇති ව තිබෙන සඟරා වෙළෙඳපොළ බිඳ වැටීමේ ද ප්‍රතිලඵලයකි. අනෙක් අතට එය, නූතන සහ අනාගත ජනමාධ්‍යය, ආර්ථිකය විසින් අන් කවරදාටත් වඩා ප්‍රබල ලෙස ට පාලනය කරනු ඇති බවට නියත ලකුණකි. නමුත් ඔන්ලයින් සඟරාවක සහ මුද්‍රිත සඟරාවක වෙනස එහි යාවජීව පාඨකයන් කෙසේ වටහා ගනීවි ද? ඔවුන්ට එය කෙසේ බලපානු ඇති ද? යුරෝපය සහ අමෙරිකාව වැනි රටවල කෙසේ වෙතත් ආසියාතික රටවල නිව්ස්වීක් පාඨකයන් ට මේ වෙනස වඩාත් සංවේදී ව දැනෙනු ඇත. දෙසැම්බර් තිස් එක් වැනිදායින් පසු නිව්ස්වීක් යනු පිටු පෙරළන්නට බැරි පොතකි.