ඖෂධ මාෆියාවේ දොස්තර භූමිකාව

ඖෂධ මාෆියාවේ දොස්තර භූමිකාව

බොහෝ විට මාධ්‍ය මගින් හෙළිදරව් කෙරෙන්නේ ද ජනතාව කැලඹීමට පත්වන්නේ ද දේශපාලනඥයන් හා සම්බන්ධ අපවාද ගැනයි. එතරම් මතු නොවන එහෙත් මතු කළ යුතු ඊටත් වඩා බරපතළ තත්ත්වයන් ද ඇති බව වාර්තා වී තිබේ. ඩ්‍රෲ පින්ස්කි යනු අමෙරිකා මාධ්‍යවල නිතර පෙනී සිටින වෛද්‍යවරයෙකි.

ඔහු එක්තරා ඖෂධ වර්ගයක් ගැන කතා කරමින් සිටියේය. මේ ඖෂධය වෙනත් ප්‍රතිකාරයක් සඳහා නිර්දේශ කෙරෙතත් ඊට ලිංගික හැඟීම් උත්තේජනය කළ හැකි බව පෙනී ගොස් තිබිණි. ඉතා විශ්වාසනීය ලෙස වෛද්‍ය පින්ස්කි කියන දේ පිළිගැනීමට සැදී පැහැදී සිටි ප්‍රේක්‍ෂකයෝ නොදන්නා කාරණයද මෙහිදී වඩාත් වැදගත් ය. ඒ, අදාළ ඖෂධ සමාගම මගින් මේ වෛද්‍යවරයාට ඩොලර් 275,000 ක් ගෙවා ඇති බවයි. ඒ ගෙවීම කර ඇත්තේ මේ ඖෂධය ප්‍රචලිත කිරීම සඳහා ඔහු වැඩසටහන දායක කර ගන්නා ආකාරය වෙනුවෙන් බව තේරුම් ගැනීම අසීරු නැත.

අදාළ ඖෂධ සමාගමට එරෙහිව අමෙරිකා නීති අංශ අධිකරණයට නොගියේ නම් මේ බව අනාවරණ නොවීමටත් ඉඩ තිබිණි. නීති විරෝධී වෙළෙඳාම සහ ඖෂධයට අදාළ තොරතුරු හා දත්ත පිළිබඳ මුළුමනින් වාර්තා කිරීමට අසමත් වීම සමාගමට එරෙහි චෝදනාව විය. මේ පිළිබඳ පැවැති විමර්ශනය වසර 9 ක් තිස්සේ සිදුවිය. අවසානයේ සමාගමට ඇ. ඩො. බිලියන 3 ක දඩ මුදලක් නියම කෙරිණි. මෙවැනි දඬුවමක් ලැබූ එකම සමාගම ඔවුන් නොවේ. මෙවැනිම වැරැදි සම්බන්ධයෙන් තවත් ඖෂධ සමාගම්වලට දඬුවම් නියම වී තිබේ.

වෛද්‍ය පින්ස්කි හා සම්බන්ධ සිදුවීම මෙන්ම අනෙකුත් සිද්ධීන් ද හෙළිදරව් කරන අතර ඇ. ඩො. බිලියන 600 ක් පමණ දැවැන්ත ඖෂධ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ වෛද්‍යවරු, විශ්වවිද්‍යාල වෘත්තිකයන්, නියාමනය කරන්නන්, වෛද්‍ය සඟරා ආදියේ භූමිකාව කුමක්ද යන්නද පැහැදිලි කරමින් බෙන් ගෝල්ඩාක්‍ර විසින් කෘතියක් සම්පාදනය කර තිබේ. ඒ, Bad Pharma යනුවෙනි.

මීට පෙරද ඔහු Bad Pharma නමින් කෘතියක් එළිදක්වා ඇත. Bad Pharma යනු ගවේශනාත්මක වෛද්‍යමය වාර්තාකරණය සඳහා ප්‍රබල නිදසුනක් බව විචාරක මතයයි. ඉතාමත් සැලකිල්ලෙන් කරුණු හා සාක්‍ෂි රැස්කරමින්, දත්ත විශ්ලේෂණය කරමින්, ඇතැම් විට පෞද්ගලික තොරතුරු පවා එකතු කරමින් බෙන් බොහෝ අවංක ලෙස සිය කෘතිය සම්පාදනය කර ඇති බව පෙනෙන්නේ යැයි විචාරකයෝ පවසති.

බෙන් අනාවරණ කරන පරිදි, මේ කෘතිය විසින් හෙළිදරව් කෙරෙන්නේ ඖෂධ සමාගම් වෛද්‍යවරු මිලට ගන්නේ කෙසේද යන්න පමණක් නොවේ. ඇතැම් ඖෂධ වෙළෙඳපොළට එකතුවන වැරැදි ක්‍රියාපිළිවෙල පිළිබඳ ද එමගින් කරුණු අනාවරණ වේ. අලුත් ඖෂධ හඳුන්වා දීමට පෙර ඒවා පරීක්‍ෂාවට ලක්කිරීම සිදුවන්නකි. බොහෝ විට එය සිදුවන්නේ ඖෂධයේ ගුණාත්මක තත්ත්වය ඔසොවා තබමිනි. ඖෂධය හා සම්බන්ධ අතුරු බලපෑම් ආදී කාරණා පිළිබඳ වැඩි අවධානයක් යොමුකිරීමට සමාගම් නොකැමැතිය.

වෛද්‍ය සඟරාවල පවා ඖෂධය පිළිබඳ පළවන තොරතුරුවලදී එවැනි කාරණා මතුවනු දැකීමට ඔවුහු කැමැති නොවෙති. ඖෂධ පිළිබඳ සිදුවන නියාමන ක්‍රියාවලියේදී මේ සෑම කාරණයක් ගැනම වාර්තා වන නමුත්, ඇතැම් විට පර්යේෂකයන් අතට සෑම තොරතුරක්ම නොලැබෙන තත්ත්වයක් ද තිබේ. එවිට අදාළ තොරතුරු පිළිබඳ පර්යේෂණ කිරීමේ හැකියාව පර්යේෂකයන්ට නොලැබේ. මේ කාරණය නිදසුන් සහිතව Bad Pharma හි විස්තර කෙරී ඇත. වාණිජමය වශයෙන් සංවේදී වන බොහෝ තොරතුරු සංවාදයට ලක් නොවී ඇති බව ඉන් පැහැදිලි වෙයි.

ඖෂධ සමාගම් විසින් මුදල් යොදවා ඇත්තේ වෛද්‍යවරු සඳහා පමණක් නොවන බව ද මෙහි පෙන්වා දී ඇත. අලුත් ඖෂධ අනුමත කරවා ගැනීම සඳහා නියාමන යන්ත්‍රණයට බලපෑම් කෙරෙන පරිදි රෝගීන් මෙහෙයවීමට ද සමාගම් විසින් මුදල් යොදවා තිබේ. වෛද්‍ය සඟරාවක සේවය කිරීමෙන් ලැබූ අත්දැකීම් ද සමඟ බෙන් පෙන්වා දෙන්නේ එම සඟරාවල පළකෙරෙන සෑම පර්යේෂණ ලිපියක්ම ඊට සුදුසුකම් ලත් වෘත්තියමය භාවයකින් යුතු ලේඛකයන් විසින්ම ලියන ලද බව නොපිළිගත යුතුය යන්නයි. යම් ඖෂධයක සුබවාදී ප්‍රතිඵල ගැන වෛද්‍ය සඟරාවක් ලිපි පළකරෙන්නේ නම් එය අදාළ සඟරාවට විශාල වාසියකි. එහි පිටපත් සිය දහස් ගණනින් මිලදී ගන්නා ඖෂධ සමාගම් ඒවා වෛද්‍යවරු සහ රෝගීන් අතර බෙදා හරිති.

සාමාන්‍යයෙන් වෛද්‍යවරු රෝගීන් කෙරෙහි සිය උපරිමයෙන් ක්‍රියාත්මක වෙති. එහෙත්, යම් ඖෂධයක් පිළිබඳ සවිස්තරාත්මක දත්ත ඔවුන් වෙත නොපවතී නම් හෝ එම තොරතුරු යම් විකෘති කිරීමකට ලක්ව තිබේ නම් ඔවුන්ට සිය මෙහෙවර එපරිදි ඉටුකළ නොහැකිය. බෙන්ට අනුව වෛද්‍ය සඟරාවල සංස්කාරකවරු ද එලෙසමය. ඔවුන්ට අවශ්‍ය නිසි පර්යේෂණ පිළිබඳ පළකිරීමටයි. එහෙත් සෑම විටම එසේ කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ. ප්‍රතිකාර සඳහා ප්‍රශස්ත ඖෂධ තිබේ නම් ඉන්දියාවේ මෙතරම් ළමා මරණ සිදුවන්නේ ඇයිදැයි වරෙක බෙන් ප්‍රශ්න කරයි. සෑම විටෙකම ඖෂධයක් පිළිබඳ නිසි පර්යේෂණ ක්‍රමවේදයක් තිබිය යුතු වුවද එය එසේ නොවන අවස්ථා වාර්තා වී තිබේ. ඇතැම් විට පර්යේෂණ සිදු වුවද එය ප්‍රශස්ත මට්ටමින් සිදුවන්නේ නැත. ඒ ඖෂධ සමාගම්වල බලපෑම හේතුවෙනි. සිය කෘතිය මගින් මතු කරන ඇතැම් කාරණාවලට දැන් වලංගු භාවයක් නැතැයි ඖෂධ සමාගම් තර්ක කිරීමට ඉඩ ඇති බව ද බෙන් පවසයි. එහෙත්, ඔහු පෙන්වා දෙන්නේ මේ තත්ත්වය වෙනස් වී ඇත්නම් ඒ ඉතා අල්ප වශයෙන් බවයි. කිසිවකුත් මේවා පිළිබඳ යළි පරීක්‍ෂා කිරීමක් සිදු නොකරන බව ඔහු පෙන්වා දෙයි.

ඇතැම් වෛද්‍ය සඟරා, ඖෂධ සමාගම්වලින් මූල්‍යාධාර ලබන වෛද්‍යවරු සමඟ කටයුතු කිරීමෙන් වැළකී සිටින බව ද බෙන් සිය අත්දැකීම් ඇසුරෙන් පවසයි. (පර්යේෂණ සඳහා අරමුදල් යෙදවීම වෙනම කාරණයකි.)

ඖෂධ සමාගම් යනු පුණ්‍යායතන නොවේ. ඖෂධ අලෙවියෙන් ලාබ ලැබීම ඔවුන්ගේ පරමාර්ථයකි. එහෙත්, ලාබය ඉපැයීම සිය වගකීමට වඩා ඉහළින් තැබීමට ඉඩක් තැබිය යුතු නැත. ඖෂධ සමාගම් පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන්ට වැඩි මුදලක් වෙළෙඳ ප්‍රචාරණය සඳහා යොදවන බව ද පෙනී ගොස් තිබේ. එක් සමාගමක් පවුම් 550 ක් වැයකොට නව ඖෂධයක් හඳුන්වා දෙන විට තවත් සමාගමක් ඉන් 1/4 ක් වැයකොට එසේ කරන බවද බෙන් සිය කෘතිය මගින් පෙන්වා දී ඇත.

ගාඩියන් ඇසුරිනි