කරමල්කාරයන්ගේ ආදර සටන

කරමල්කාරයන්ගේ ආදර සටන

හිම කැලයට වසන්තය උදා වෙයි. මාස කිහිපයක ට පසු ප්‍රථම හිරු කිරණ පොළෝ තලය සිඹියි. යෝධ ෆයිනස් ගස්වලට හිරුගේ සෙවණැල්ල පතිත වෙයි. සුදුපාට හොටක් ද කළුපාට කරමලයක් ද ඒ කේතුධර ගසකට මුවා වී එබිකම් කළේය. උහු මනරම් කැපකයිලී පක්ෂීහු වෙති. උතුරු යුරෝපයේ කේතුධර වනාන්තරවල වෙසෙන හබන් කුකුළන් උන් ය.

පෘථිවියේ විසල් ම වනාන්තරය පිහිටා තිබෙන්නේ උතුරු අර්ධගෝලයේ බව, අප විශ්වාස කිරීමට පසුබට වන ඇත්තකි. හිරුගේ සෙවණැල්ල ඇති විටත්, නැති විටත් එක සේ ම පණ රැකගන්නා, අති දුෂ්කර පරිසරවල පවා නොනැසී සිටිනු පිණිස සොබාදම් දිනිතියගෙන් වරම් ලද යෝධ කේතුධර ගස් විසින් මේ විසල් වනාන්තර තනා තිබේ.

කලාපයේ අණසක පතුරුවාගෙන සිටින්නේ ඒවා විසිනි. එහෙත් අති ඝන කේතුධර වනයට සැතපුම් දහසක් පමණ දකුණු දිගට ගිය විට, හමුවන්නේ වෙනස් ම පරිසරයකි. එම වෙරළ තීරය ගොඩැලි සහිත ය. ඒ ලොවේ කිරුළු පළඳා සිටින්නේ හෙම්ලොක් සහ ඩග්ලස් වර්ගයට අයත් ෆර් ගස් සහ යෝධ රෙඩ්වුඩ් හෙවත් රතු ලී ගස් ය.

යෝධ රෙඩ්වුඩ් වනය මිහිදුම් වලාවකි. මෙහි ජලය කිසි විටෙක අයිස් ලෙස අගුලු නොවැටේ. වැසි නොවැටුණ ද කම් නැත. කේතුධර ගස්වල ඉඳිකටු වැනි තුඩුවලට මහ සයුර දෙසින් ඇදී එන මිහිදුම් වලාවෙන් තෙතමනය යහමින් උරා ගැනීමට පුළුවන. මුහුදු සුළඟ සමඟ එක්වූ විට මිහිදුම ද සුළඟකි. හිරු නැඟෙන්නට ප්‍රථම ඉඳිකටු වැනි කේතුධර පත් මිහිදුමෙන් පෙඟී යයි. ආර්ද්‍රතාවෙන් සංතෘප්ත වී ඇති හෙයින් කුඩා දිය බිඳු ඒවායේ අග්ගිස්සෙන් රූරා වැටෙන්නට පටන් ගනියි.

රුසියාවට අයත් තයිගා මහ වනය මෙන් නොව, වසරින් මාස හයක් ම මේ කැලයට හිරු එළිය පතිත වේ. එනිසා ම මෙහි යෝධ කේතුධර ගස් වැවෙන්නේ ආක්ටික් වෘත්තය අසලදී ඒවා වැවෙන වේගය මෙන් දස ගුණයක වේගයෙනි. එසේම වසර දහස් ගණනක ආයු කාලයක් ද ඒ නිසා ම ඒවාට හිමිවෙයි.

තයිගා වනාන්තරයට වඩා මෙවැනි බටහිර අර්ධගෝලයට අයත් කැපකයිලීන්ගේ පෙනුම මනරම් ය. නැඟෙනහිර රුසියාවේ තයිගා වනයේ හෝ උතුරුදිග මොන්ගෝලියාවේ සහ චීනයේ දැකිය හැකි කාල වර්ණ හොටැති කැපකයිලීන් ට වඩා උන් පෙනුමෙන් විසල් ය. බටහිර අර්ධගෝලයේ වසන විශාලතම හබන් කුකුළන් වන්නේ බටහිර අර්ධගෝල කැපකයිලීන් ය. ස්කොට්ලන්තයේ කඳුකර බද සෙල්ටික් බසින් ‘කැපයි – කයිලී’ කියා කියන්නේ කඳුකර තුරඟාට ය. සහකාරියන් දිනා ගැනීමේදී දක්වන මනරම් පෙම් රැඟුම නිසා මේ පක්ෂීන්ට ඒ නම හොඳින් ම ගැළපෙන්නේ ඒ රැඟුම තුරඟා වන්නමක් බඳු වන නිසා ය.

මේ විසල් වනයේ ගාම්භීර දිවිපෙවෙතක් ගෙවන, මනරම් කැපකයිලී පක්ෂීන්ට ඉදිකටු වැනි කේතුධර පත්‍ර පවා කිසිදු අපහසුතාවකින් තොරව ආහාරයට ගැනීමට පුළුවන. ඒවා ආහාරයට ගැනීමෙන් පසුව පවා උන් හට කිසිඳු ජීර්ණ අපහසුතාවක් ඇති නොවේ. ඒ උන්ගේ සැටි ය. ඒ අතින් උන් සොබාදහමේ ත්‍යාගලාභීන් ය. කෙසේ වෙතත් උන්ගේ ජීවිතවලත් ප්‍රශ්න තිබේ. අභියෝග තිබේ.

අනෙක් අතට මේ ජීවිතවල තිබෙන එකම අභියෝගය ආහාර සොයාගැනීම පමණක් ද නොවේ. වසන්ත සමය උදාවත් ම උන්ගේ ජීවිතවලට ද වසන්තය උදා වේ. වසන්ත සමය යනු අන් බොහෝ වන ජීවීන්ට මෙන්ම අභිජනන සමයයි. එහිදී එදිනෙදා ජීවිතයේ ඇතිවන ප්‍රශ්නවලට අමතරව විශේෂිත ප්‍රශ්නයක් ද ඇති වේ. අපගේ කථා නායකයා ද මුහුණ දී තිබෙන්නේ එම විශේෂිත ප්‍රශ්නයට ය. එනම් සහකාරියක් සොයාගැනීමේ තරගයට ය.

එවිට මේ නිස්කලංක කරමල්කාරයෝ ග්ලැඩියේටරයන් බවට පත් වෙති. පිරිමි සත්තු අලංකාර පිල් කළඹ විදහාගෙන පොරයට සැරසෙති. ලා කහ - සුදු පැහැ හොටය දිගු කරමින් උඩු අතට හැරී සිය අභිමානය විදහා පාති. ඒ හඬ අමිහිරි බව ඇත්තකි. නමුත් ප්‍රතාපවත් ය. ගාම්භීර ය. හරියට තම සහකාරිය සතුටු කිරීම සඳහා ජීවිත කාලයට ම ලැබෙන එකම එක අවස්ථාව මේ දැන් උදා වී ඇත්තාක් මෙනි. එනිසා ම ඇසිපිය ගහන ඇසිල්ලකින් උහු පොරකා ගැනීම අරඹති.

කැපකයිලී පක්ෂීන්ගේ මුහුණුවල වර්ණවත් රතු පැල්ලමක් වෙයි. එය පිහිටන්නේ ඇස වට කරමින් වන එහෙත් ඇස් වටයට මදක් ඉහළිනි. සටනට එළඹෙන විට ඇස් වටය ද වියරු වැටෙනවා සේ ය. එවිට එය ද මනරම් ලෙස කැපී පෙනෙයි. එවිට උහු ළය මඬල පුම්බා ගනිති. ලුමිනස් නිල් පැහැති මොනර පාට ගෙළ අවානක් මෙන් ළෙලවමින් අනෙකා මත කඩා පනිති.

අවානක් බඳු පශ්චාත් පිල් කළඹ එවිට පුම්බාගත් ගමන් ම ය. මේ සටන් අතිශයින් ම බිහිසුණු ය. නපුරාගේ පිහාටුවකට පවා තුවාලයක් සිදු නොවීම කැපකයිලී සටන්වල ස්වභාවයයි. හැම විටෙක ම තුවාල ලද්දා යනු පරාජිතයා ය. තුවාල ලද්දා තටු හකුළා ගනියි. පරාජිතයා වැඩි කලක් ජීවත් නොවනු ඇත.

බී. බී. සී. ඇසුරෙනි.