සයිෆ්ගේ ඇස් කරීනාට කතා කළ හැටි

සයිෆ්ගේ ඇස් කරීනාට කතා කළ හැටි

සයිෆ් අලි ඛාන්ගේත් අම්රිතා සිං ගේත් විවාහ මංගලෝත්සවය පැවැත්වුණේ 1991 දී ය. එවකට 11 හැවිරිදි දැරියක වූ කරීනාත් මේ උත්සවයට සහභාගි වූවාය.

“මං ඔයාලට සුබ පතනවා...”

උත්සවය අවසානයේදී මනාල යුවළ අසලට ගිය කරීනා කීවාය.

“බොහොම ස්තූතියි පුතේ...”

සයිෆ් අලි ඛාන් පැවසීය.

සත්තකින්ම මෙය සැබෑවටම සිදු වූ දෙයක් නොව සයිෆ්ගේත් කරීනාගේත් විවාහයෙන් පසුව ට්විටර් වෙබ් අඩවියේ පළ වූ විහිළුවකි. මෙය පළකොට තිබුණේ සුහේල් සෙන් නම් වන තීරු ලිපි රචකයාය.

“මෙයින් ගත හැකි ආදර්ශය තමයි තමන්ගෙ මංගල දිනයේදී සුබ පතන කිසිම ගැහැනු ළමයකුට පුතේ කියල කතා නොකිරීම...”

ඔහු තවදුරටත් සඳහන් කොට තිබේ.

කරීනාගේත්, සයිෆ් අලි ඛාන්ගේත් මංගල උත්සවය පැවැත්වුණේ ඔක්තෝබර් 16 දා මුම්බායි හි ටාජ් පැලස් හෝටලයේදීය. කරීනා සයිෆ්ට වඩා දස වසරකින් වැඩිමහලු වීම මෙන්ම සයිෆ් ගේ පෙර විවාහයේ දියණියගේ වයස අවුරුදු 19 ක් වීමත් වෙබ් අඩවිවල සරදමට ලක් වී තිබිණි.

“සයිෆ් ගෙ පළමු බිරිය ඔහුට වඩා අවුරුදු 12 ක් වැඩිමහලුයි... දෙවැනි බිරිය අවුරුදු 10 ක් බාලයි... එතකොට ඊළඟ බිරියගෙ වයසේ සාමාන්‍ය අගය ගණනය කර ගන්න පුළුවන් වෙයි..”

තවත් කෙනකු වෙබ් අඩවියක සඳහන් කර තිබුණේ එලෙසය.

“දැන් සාහිඩ් කපූර්ට කරන්න තියෙන්නෙ සයිෆ් අලි ඛාන්ගේ දුව විවාහ කර ගන්න එක... කරීනාගෙන් පළිගන්න තියෙන හොඳම ක්‍රමය ඒකයි...” එම වෙබ් අඩවියේම එලෙසත් සඳහන් කොට තිබිණි.

ෂාහිඩ් කපූර් හා කරීනා අතර පැවැති සිවු වසරක පෙම් පලහිලව්ව අවසන් වූවාට පසුව ඇය සිටියේ දැඩි සිත් වේදනාවෙන් යුතුව ය.

2007 වන විට සයිෆ් අලි ඛාන් ද ඔහුගේ බිරියගෙන් දික්කසාද වී සිටියේය. ඔහු දික්කසාද වූයේ 2004 දීය.

කරීනා හා සායිෆ් ප්‍රධාන චරිත නිරූපණය කළ “තේෂාන්” චිත්‍රපටියේ දර්ශන තලයකදී ඔවුන්ගේ පෙම් කතාවට මුල පිරුණු බව තතු දන්නෝ පවසති.

සයිෆ් නාන ඇඳුමකින් සැරසී පිහිනුම් තටාකය අසල සිටිනු කරීනාට පෙනිණි.

“සයිෆ්ට තියෙන්නෙ හරිම අනුරාගී පෙනුමක් නේද...?”

ඇය අසල සිටි සහෝදර නිළියකගෙන් විමසුවාය. ඒ කිසිදු යටි අදහසක් ඇතිව නොව, ඔහු ගේ පෙනුම අගය කරන අරමුණින් පමණකි. එහෙත් ඒ පිළිබඳ දැනගත් සියලු දෙනාම සයිෆ්ටත් කරීනාටත් සරදම් කරන්නට පටන් ගත්හ. මුලදී මේ සරදම් සීමා වූයේ දර්ශන තලවලට පමණකි. ඉනික්බිති ඒවා කටකතා ලෙසින් මාධ්‍ය ඔස්සේ මුළු සිනමා ක්ෂේත්‍රයේම පැතිර ගියේය.

අවසානයේ ඔවුහු තිරයේ පමණක් නොව සැබෑ ජීවිතයේදීත් පෙම්වත්තු බවට පත් වූහ. ඔහු තමාට වඩා අවුරුදු 10 ක් වැඩිමහලු වීමවත්, වැඩුණු දියණියකගේ පියකු වීමවත් කරීනාට ප්‍රශ්නයක් වූයේ නැත. විවිධ හැලහැප්පීම්, බාධක මැද ඔවුන්ගේ ප්‍රේම කතාව අවුරුදු පහක් තිස්සේම ගලාගෙන ගියේය. ඔවුන් දෙදෙනා සිනමා ක්ෂේත්‍රයේ හැඳින්වුණේ “සයිෆ්රීනා” යන ආදරණීය නාමයෙනි.

1980 සැප්තැම්බර් 21 දා උපත ලද කරීනාගේ වයස මේ වන විට අවුරුදු 32 කි. ජනපි‍්‍රය නළු නිළියන් වන රන්ධීර් කපූර් සහ බබිතා ඇගේ මවුපියන්ය. ඇගේ වැඩිමහලු සොයුරිය කරිෂ්මාත් නිළියකි. සුප්‍රකට නළුවකු හා නිෂ්පාදකයෙකු වූ රාජ් කපූර් ඇගේ සීයාය.

ඇයට නම ලැබී ඇති ආකාරයත් අපූරු ය. ඇය ලැබීමට සිටින කාලයේදී ඇගේ මව ඇනා කැරලිනා නවකතාව කියෙව්වාය. ඇය “කරීනා” ලෙසින් නම් කොට ඇත්තේ ඒ අනුසාරයෙනි.

කුඩා කල ඇය ඉතාමත් දඟ කෙල්ලකි. සිනමා නිර්මාණකරුවන්ගේ ඇස් ඇය වෙතට යොමු වූයේ ඒ කාලයේදීම ය. එහෙත් ඇය 2000 වසර වෙනතුරුම සිනමාවට එක්වූයේ නැත.

ඇගේ පියා රන්ධීර් නළුවකු වුවත් සාම්ප්‍රදායික අදහස් ඇත්තකු වූයේය. කාන්තාවන් රංගන වෘත්තිය තෝරාගැනීම නිසා පවුල් දිවියේ හා මාතෘත්වයේ වගකීම් පැහැර හැරෙන බව ඔහු ඇදහුයේය. එම නිසාම ඔහු සිනමාවට එක්වීමට සිය දියණියන්ට අනුබල දුන්නේ නැත. මෙයින් බබිතා සහ රන්ධීර් අතර ගැටුම් ඇති වූයේය. අවසානයේදී බබිතා දියණියන් දෙදෙනා ද රැගෙන නිවෙසින් පිට වූවාය.

එතැන් පටන් දියණියන් හදා වඩා ගන්නට නොයෙකුත් රැකියාවන් කිරීමට ඇයට සිදු වූවාය. එහෙත් ඇය එයින් අධෛර්යමත් වූයේ නැත. කරිෂ්මා ජනපි‍්‍රය නිළියක වනතුරුම ඇය ඇගේ උත්සාහය අත්හැරියේ නැත.

කරීනා සිනමාවට එක්වූයේ 2000 දී “රිෆියුජි” චිත්‍රපටිය තුළිනි. 1971 ඉන්දු – පාකිස්තාන් යුද්ධය පසුබිම් කරගෙන නිර්මාණය කළ මේ චිත්‍රපටයේ ඇගේ රංගනය විශිෂ්ට වූවාය. හොඳම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගැනීමට ඇය සමත් වූවාය.

කෙසේ වුවත් ඇය බොහෝ සෙයින් ජනපි‍්‍රය වූයේ 2001 වසරේ තිරගත වූ “කභි ඛුෂි කභි ගම්” චිත්‍රපටියෙනි. මේ චිත්‍රපටිය ඉන්දියාවේ පමණක් නොව විදෙස් රටවල ද වාර්තා තබමින් ප්‍රදර්ශනය වූයේය. මෙයින් ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18.9 කි.

සයිෆ් – කරීනා විවාහයට සයිෆ්ගේ මව වන ෂර්මිලා තාගෝර්ගෙන් උපරිම අනුබලය ලැබිණි. පතාඋඩි නවාබ් පරපුරෙන් පැවැත එන සයිෆ් ගේ පියා මන්සූර් අලි ඛාන් පතාඋඩි ය. ඉන්දියානු ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ඔහු පතාඋඩි හි 9 වැනි නවාබ්වරයා ද විය. 2001 දී නවාබ්වරයා මිය ගිය පසු එම තනතුර හිමි වූයේ සයිෆ් අලි ඛාන්ට ය. මේ තනතුරේ කිසිදු නීතිමය හෝ නිල වටිනාකමක් නැතත් එය පාරම්පරිකව පැවත එන්නකි.

බෙංගාලයේ සුප්‍රකට තාගෝර් පවුලේ සාමාජිකාවක වන ෂර්මිලා විවාහයෙන් අනතුරුව ඉස්ලාම් ධර්මය වැලඳ ගත්තාය. ඉනික්බිතිව ඇගේ නම බේගම් අයේෂා සුල්තානා නමින් වෙනස් වූයේය.

යිෆ් අලි ඛාන් ඉපදුණේ 1970 අගෝස්තු 16 දාය. ඔහුගේ උපත් නාමය වූයේ සජිඩ් අලි ඛාන් ය. ඔහුගෙ විවාහ සහතිකයේ සඳහන් වෙන්නේත් එම නම ය.

සයිෆ් සිනමාවට පැමිණියේ 1992 දී යාෂ් චොප්රා ගේ “පරම්පරා” චිත්‍රපටියෙනි. එහෙත් ඔහු ජනපි‍්‍රය වූයේ එයින් නොව 1994 දී තිරගත වූ “මෑ ඛිලාඩි තූ අනාරි” සහ “යේ දිල්ලගී” චිත්‍රපටි වලිනි. “දිල් චැහැතා හෑ” (2001) ඔහුගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානයක් වූයේය. ඉනික්බිතිව ඔහු “කල් හෝ නාහෝ”, “හම් තුම්”, “පරිනීතා”, “බීන් සයිරස්”, “ඕම්කාරා” ආදී චිත්‍රපටිවල රඟපෑමෙන් සාර්ථකත්වයට පත් විය.

අම්රිතා සමඟ විවාහයෙන් ඔහුට දරු දෙදෙනකු සිටියි. ඔහු 2004 දී දික්කසාද වූයේ දරු දෙදෙනා බිරියට බාර කරමිනි. ඉනික්බිති ඔහු කෙන්යාවේදී ඔහුට හමුවුණු ස්විස් ජාතික නිරූපණ ශිල්පිනියක සමඟ සම්බන්ධයක් ආරම්භ කළේය. රෝසා කැටලානෝ නම් වූ ඇය, ඛාන් විවාහකයකු බවත්, දරු දෙදෙනකු ඇති බවත් දැන ගත්තේ ඉන්දියාවට පැමිණියාට පසුවය. එයින් එම සම්බන්ධයට කණකොකා හැඬුවේය.

ඔහුට කරීනා හමුවූයේ ඉන්පසුවය. මුල් කාලයේදී මේ සම්බන්ධතාව ගැන ඉඟි කළේ මාධ්‍යවලින් පමණකි. 2009 දී ඛාන් එම සම්බන්ධය ප්‍රසිද්ධියේම පිළිගත්තේය. එය විවාහය දක්වාම දුරදිග ගියේ ඔවුන්ට ආදරය කරන අය සතුටටත් ඊර්ෂ්‍යා කරන අය දුකටත් පත් කරමිනි.

විවාහය පැවැත්වුණේ මෝගල් චාරිත්‍රානුකූලවය. මනීස් මල්හෝත්‍රා විසින් නිර්මාණය කරන ලද මංගල ඇඳුමින් කරීනා බෙහෙවින් සුන්දර වූවාය. සයිෆ් අලි ඛාන් රාජකීය ලීලාවක් ඉසිලුවේය.

කපූර් පවුලේ සාමාජික සාමාජිකාවන් පමණක් නොව සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයෝ බොහෝ ගණනක් ද මේ අවස්ථාවට සහභාගි වූහ. නව යුවළ වෙනුවෙන් පතාඋඩි මන්දිරයේ ද උත්කර්ෂවත් සාදයක් පැවැත්විණි.