අද සංස්කෘතිය ගැන කතා කරන එදා සරාගිනිය

අද සංස්කෘතිය ගැන කතා කරන එදා සරාගිනිය

ආර්ජන්ටිනා සිනමාව ඉසබෙල් සාර්ලිගේ ගුණ සුවඳ හොඳින්ම හඳුනන්ණේ ය. ඒ අද ඊයේක සිට නොව පනහ, හැට සහ හැත්තෑව දශකවල සිට ය. එවකට ඈ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ සුරූපිනියකි. සුරූපි බවට කලවම් වුණු රාගය නිසා ඉසබෙල් රිදී තිර මත පිපුණු ගිනිමල වුවායැයි කිවහොත් එහි කිසිදු වැරැද්දක් නැත. මේ නිසා ඒ කාලයේ ආර්ජන්ටිනා සිනමාවට ඈ නැතිවම බැරිවිය. සමහර සිනමා සිත්තමක ඈ සිටියේ අඩ නිරුවතිනි. තවත් තැනෙක ඉසබෙල් සිටියේ මුළුමනින්ම නග්නව ය. පුළුල් තිරය මත දිග හැරුණු මේ කුමන කතාවක්වත් “අප්‍රසන්න” යැයි කියා රසිකයා ප්‍රතික්ෂේප කළේ නැත. අතොරක් නැතිව කෙරෙන රංගනය අතරින්ම ඇගේ ජීවන කතාවත් ලියැවෙන්නට පටන් ගත්තේ ඒ නිසාය.

1935 ජූලි 9 වැනිදා ආර්ජන්ටිනාවේ කොන්කෝර්ඩියා හි උපත ලද ඇයගේ මුළු නම හිල්ඩා ඉසබෙල් ගොරින්ඩෝ සාර්ලි ටිටෝය. ඈ සිනමාවට පිවිසුණේ ඉසබෙල් සාර්ලි යන කෙටි නමෙනි. එක එක චරිත මවමින් පේ‍්‍රක්ෂකයා කම්පනයට පත් කරන තැනට ඉසබෙල් පැමිණියේ ඇයට යම්තම් අවුරුදු 20ක් පමණ වනවිට දීය. ඇගේ රූ සපුව පරදන්නට සමත් තවත් හැඩකාරියක් එවකට මුළු ආර්ජන්ටිනාවේම සිටියේ නැත. 1955 දී ආර්ජන්ටිනා රූපසුන්දරිය ලෙස කිරුළු පලඳන්නට ඇයට හැකිවුණේ එබැවිනි. රුවෙන් පොහොසත් මේ යෞවනිය සිනමාවට රැගෙන ආවේ ආර්මන්ඩෝ බෝ ය. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ආර්ජන්ටිනා සිනමාවට නිරුවත් මිනිසුන් රැගත් රූප රාමු හඳුන්වා දුන්නේ ආර්මන්ඩෝය.

හෙතෙම ඒ වික්‍රමය කළේ 1956 දී අධ්‍යක්ෂණය කළ El trueno entre las hojas’  චිත්‍රපටයෙනි. මේ සිනමා සිත්තමට නිරුවත මුසු කරන්නට ආර්මන්ඩෝගේ අධ්‍යක්ෂණයට රංගනයෙන් දායක වුණේ ආධුනික නිළියක වූ ඉසබෙලාය. එය ඇගේ පළමු චිත්‍රපටයයි. කිසිදු චකිතයකින් තොරව ඇඳුම් උනා දමා කැමරාව ඉදිරියට එමින් ඈ කතාවට පණ පෙව්වාය. එය ආර්ජන්ටිනා චිත්‍රපට ඉතිහාසයේ සුවිශේෂ සලකුණක් සනිටුහන් කළ චිත්‍රපටයකි. අනෙක් අතට ආර්ජන්ටිනා සංස්කෘතිය එක් අදියරකින් තවත් අදියරකට ළඟා කළ කඩඉමකි. මේ සුවිශේෂ කඩඉම ආර්ජන්ටිනාවටත් එරට සිනමා කර්මාන්තයටත් දැවැන්ත පියවරක් වු පරිද්දෙන්ම ඉසබෙලාගේ ජීවිතයේද තීරණාත්මක හැරවුම් ලක්ෂයක් විය. ඈ ආර්මන්ඩෝගේ පෙම්වතිය වූවාය. කිසිදා යළිත් වෙන් නොවන්නටම ඔහු එක්වුනාහ. නීතියේ රැහැනින් සිරකොට නොතැබුණු මේ බැඳීම ඔවුන්ගේ දෙහදින් ගලා ගිය සෙනෙහස හැඟුමෙන් පමණක්ම සවිමත් වී තිබිණි. 1981 දී ඔහු ජීවිතය හැරදා යනතුරුත් ඉසබෙල් ඔහු අසලින්ම වුවාය. එහෙත් ජීවිතය අත්හරින තුරුත් ආර්මන්ඩෝට ඔහුගේ පළමු බිරියගෙනුත් ඒ පවුලෙනුත් මුළුමනින්ම මිදෙන්නට බැරිවිය.

ඉසබෙල්ගේ රංගන ජීවිතය ඔපවත් වුණේ ආර්මන්ඩෝ නිසයි. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රැසකම රඟපාන්නට ඉසබෙල්ට අවස්ථාව ලැබිණි. ඒ හැරුණුවිට ඈ එවකට නිරූපිකාවක ලෙසද කටයුතු කළාය. මේ සෑම දෙයකින්ම ඉසබෙල් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ළඟාවෙමින් සිටියාය. එහෙත් ආර්මන්ඩෝගේ අභාවය සිදුවුණු 1981 වසරෙන් පසු ඈ රඟපෑවේ චිත්‍රපට දෙකක පමණි. ඔහුගේ සදාකාලික නික්ම යාමත් සමඟ පුළුල් තිරය මත සැරිසැරීම දුකක් හා පීඩාවක් වූ නිසා ඈ ඉන් ඉවත්වුවා වන්නට පුළුවන. 1980 න් පසු ඈ රඟපෑවේ 1996 දී ය. ඒ ‘La dama regresa චිත්‍රපටයෙහිය. එයින් වසර 13 කට පසු 2009 වසරේදී ඉසබෙල් යළිත් එළිබැස්සේ ‘Arro con leche’  නම් සිනමා නිර්මාණයත් සමඟයි. එතැනින් ඈ රංගනයට සමුදී නිහඬ වුවාය. 77 හැවිරිදි වියේ පසුවන මේ ගැහැනියට දැන් මොන රැඟුම්දැයි කියා කෙනෙකුට සිතෙන්නටත් පුළුවනි. ඒ කෙසේ වුවත් එක් දෙයක් පැහැදිලිය. එනම් ආර්ජන්ටිනාව සියතට ගෙන සොලවන්නට ඇයට තවමත් හොඳටම හැකි බවයි.

මෙවර අලුත් මුහුණුවරකින් ඉසබෙල් ජනතාව හමුවට එමින් සිටින්නීය. මේ භූමිකාව ඇයට ලැබී තිබෙන්නේ ආර්ජන්ටිනා ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්ඩිනෑන්ඩස් ඩි ක්රච්නර්ගෙනි. ඉසබෙල්ගේ අලුත් තනතුර තානාපති තනතුරකි. ආර්ජන්ටිනා සංස්කෘතියට ජනප්‍රිය සංස්කෘතිය හඳුන්වා දෙන්නට ඉසබෙල් දැරූ දායකත්වය වෙනුවෙන් එරට පොප් සංස්කෘතියේ තානාපති වශයෙන් කටයුතු කරන්නට ඇයට ඉඩකඩ සැලසී ඇත. 50, 60, 70 දශකවලදී කාමයේ සංකේතය ලෙස ආර්ජන්ටිනාවේ නමක් දිනා සිටි ඕ දැන් එරට සංස්කෘතියේ සැබෑ නියෝජිතවරිය ලෙස පෙනී සිටින්නීය.

“ඇයගේ රංගන කුසලතාව ආර්ජන්ටිනා තිරය මත දිග හරුණා. ඇය ජනප්‍රියත්වයට පත් තරුවක්. ඒ කාලයේ ඇය ආර්ජන්ටිනා සිනමාවේ ලාංඡනය” යැයි ආර්ජන්ටිනා ජනාධිපතිනිය කියා සිටින්නේ අලුත් තනතුර ඉසබෙල්ට පිරිනමමිනි. ඒ අනුව, සිනමා සහ නිරූපන ක්ෂේත්‍රවලින් කිසිදා ඈත් නොවූ ඉසබෙල්ට ජීවිතයේ හත්වැනි දශකය අගභාගයේදී ආර්ජන්ටිනා සංස්කෘතික අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන්නට සිදුව තිබේ.

එදා සිටම ආර්ජන්ටිනා ජනතාව ඉසබෙල්ව හැඳින්වූයේ “කොකා සර්ලි” යනුවෙනි. එසේ හඳුන්වන්නට හේතුවුණේ ශෘංගාරයෙන් පිරී ඉතිරී ගිය ඇගේ සිරුරේ හැඩයයි. අනෙක් අතට ඈ එවකට අසීමිත ලෙස ප්‍රකට බීම වර්ගයකට ඇබ්බැහි වී සිටීමයි. සංස්කෘතික කටයුතු පිළිබඳ තානාපතිවරිය වශයෙන් ජනතාව කොකා - සර්ලිව කෙසේ පිළිගනු ඇති දැයි කියා සැකයක් ද මතු වේ. නව තානාපති තනතුරේ රැදෙමින් කොකා - සර්ලි ආර්ජන්ටිනාවේ සංස්කෘතියට තවත් වරක් කොකා පෙන්වයි දැයි කියා තවත් කුකුසක් ඇතිවෙමින් තිබේ.

මේල් ඔන්ලයින් ඇසුරිනි