ගඩාෆිගේ පසුපසට බයිනෙත්තුවකිනුත් ඇනලා තිබුණා

ගඩාෆිගේ පසුපසට බයිනෙත්තුවකිනුත් ඇනලා තිබුණා

හියුමන් රයිට් වොච් කියයි

ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි අතිශය ම්ලේච්ඡ අන්දමින් මරා දමා වසරකි. 2011 වසරේ ඔක්තෝබර් 20 වැනිදා ඔහුගේ අවසානය ළඟාවී තිබූ අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ලොව පුරා රූපවාහිනී නාලිකාවල විකාශය විය. එහෙත්, ගඩාෆිගේ ජීවිතයේ අවසන් දින සහ හෝරා කිහිපය ගෙවී ගිය අයුරු මෙතෙක් අනාවරණ වී නොතිබිණි. දැන්, ඔහුගේ මරණයෙන් වසරකට පසු “හියුමන් රයිට්ස් වොච්” (ඩ්අඑ) සංවිධානය නිකුත් කළ වාර්තාවකින් ලිබියානු නායකයාගේ අවසානය පිළිබඳ කරුණු හෙළිදරව් කර තිබේ.

ලිබියානු කැරැලිකරුවන් විසින් ඔහු මරා දමන ලද බවට තොරතුරු තිබුණත් ඔහු, ඔවුන්ගේ අත්අඩංගුවට පත්වූයේ කෙසේද යන්න ගැන පැහැදිලි තොරතුරු තිබුණේ නැත. සර්ට් හි පිහිටි විශාල කොන්ක්‍රීට් නළයකදී තුවාල සහිතව සිටි ගඩාෆි කොටුවූ බව වාර්තා වී තිබිණි. “හියුමන් රයිට්ස් වොච්” වාර්තාව පිළියෙළ වී ඇත්තේ අවසන් මොහොතේ දී ලිබියානු නායකයා සමඟ සිටි සමීපතමයන්ගෙන් ලබාගත් තොරතුරු සහ කැරැලිකරුවන් විසින් ඔහු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳ දැක්වූ තොරතුරු මත පදනම් වෙමිනි.

ගඩාෆි සමඟ සිටි ඔහුගේ ආරක්‍ෂකයන් ද ඇතුළු 66 දෙනකු කැරැලිකරුවන් විසින් අත්අඩංගුවට ගෙන මරා දමා ඇති බවද “හියුමන් රයිට්ස් වොච්” අනාවරණ කරයි. එය යුද අපරාධයක් වුව ද ලිබියානු බලධාරීන් හෝ හමුදා තන්ත්‍රය මේ දක්වා ඒ පිළිබඳ විමර්ශනයක් කර නැත. ගඩාෆිගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ මතු වූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ ලිබියානු බලධාරීන් කියා සිටියේ අවසන් සටනේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ගඩාෆි විසින්ම ඔහුගේ මරණය සිදුකරගත් බවයි.

එහෙත්, “හියුමන් රයිට්ස් වොච්” වෙත ඇති තොරතුරු අනුව ගඩාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසු නීත්‍යානුකූල නොවන අන්දමින් මරා දමා තිබේ. කැරලිකරුවන්ට අණ දුන් නිලධාරියකු උපුටා දක්වමින් එහි සඳහන්ව ඇත්තේ ඒ මොහොත ඉතා බිහිසුණු මෙන්ම කලබලකාරී හා නොසන්සුන් එකක් ද වූ බවයි. ජංගම දුරකථනයකින් ලබාගෙන තිබූ වීඩියෝ දර්ශනවලට අනුව ගඩාෆිගේ පශ්චාත් භාගයේ බයිනෙත්තුවකින් ඇනීමෙන් වූ තුවාල ද තිබූ බව පෙනී ගොස් තිබේ.

ට්‍රිපොලි හි ගඩාෆි පාලනය බිඳවැටුණේ 2011 අගෝස්තු 28 වැනිදාය. ඒ සමඟ ගඩාෆි සහ සමීපතමයන් සුළු පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් අගනුවරින් පලා ගොස් තිබේ. ඔවුන් ගියේ කොහිදැයි කිසිවකුත් දැනසිටියේ නැත. ගඩාෆි පවුලේ ඇතැම් සාමාජිකයන් අසල්වැසි ඇල්ජීරියාවේ රැකවරණ පැතීය. පසුව පැහැදිලි කරගත හැකි වූයේ ගඩාෆි ට්‍රිපොලියෙන් නික්ම ගමන් කර ඇත්තේ සර්ට් ප්‍රදේශයට බවයි. එය අගනුවරින් කි. මී. 450 ක් තරම් දුරකින් පිහිටි ප්‍රදේශයකි. එක්සත් අපි‍්‍රකා ජනපදයක් බිහිකිරීම පිළිබඳ ගඩාෆි තුළ අභිලාෂයක් තිබිණි. එහි අගනුවර ලෙස ඔහු කල්පනා කළේ ද සර්ට් නගරයයි.

මේ නගරයට නැඟෙනහිරින් පිහිටි බෙන්ගාෂි දෙසින් හා බටහිරින් පිහිටි මිස්රාටා දෙසින් කැරැලිකරුවන් මාස 2 ක් පමණ තිස්සේ පහර දෙමින් සිටියදී ද 70,000 ක් පමණ නගරවාසීහු තවදුරටත් එහි රැඳී සිටියහ. නගරයේ ආරක්‍ෂාව ගඩාෆිගේ සිවුවැනි පුත්‍රයා වූ මුටාසිම් අත රැඳී තිබිණි. එහෙත් කැරැලිකරුවන් නගරය දෙසට ළඟාවෙමින් තිබියදී ගඩාෆි සහ ඔහුගේ සමීපතමයන්ට ඉන් බැහැරවීමට සිදුවිය.

ගඩාෆිගේ මහජන හමුදාවේ ප්‍රධානියා වූ මන්සූර් දාවුට අනුව මුලදී ඔවුන් රැඳී සිට ඇත්තේ සර්ට් හි නගර මධ්‍යයේමය. “ඒත්, මෝටාර් ප්‍රහාර එල්ල වෙන්න පටන් ගැනීමත් සමඟ අපි ඉවත් වෙන්න පටන් ගත්තා. අන්තිමේ අපි තෝරාගත්තේ දෙවැනි දිස්ත්‍රික්කය. අපට ප්‍රමාණවත් ආහාර, ජලය, බෙහෙත් ආදී කිසිවක් තිබුණේ නෑ. එක්කෝ වතුර ටැංකිවලටත් පහර දුන්නා. නැත්නම් ෂෙල් වෙඩි වැදිලා ඒවා විනාශ වෙලා තිබුණා. සෑම දවස් 4, 5 කට සැරයක් අපි සිටින තැන වෙනස් කළා...”

“ගඩාෆි කාලයෙන් වැඩිහරිය ගෙවා දැම්මේ කුරානය කියවමින් සහ යාඥාවේ යෙදෙමින්. ඔහුට බාහිර ලෝකයත් සමඟ සබඳතා පැවැත්වීමේ හැකියාවක් තිබුණේ නෑ. රූපවාහිනියක්වත් තිබුණේ නෑ. කොටින්ම කිව්වොත් කිසිවක් නෑ. අපට කරන්න කිසිවක් තිබුණේත් නෑ. අපට තිබුණේ නින්ද සහ අවදිවීම අතර කාලය ගෙවා දැමීමට පමණයි. වෙනත් කිසිවක්ම නෑ...”

ඒ, මන්සූර් දාවු සිය අත්දැකීම විස්තර කළ අන්දමයි.

“ටිකෙන් ටික වෙලාව ගතවෙමින් යද්දී ගඩාෆි වඩාත් කේන්ති ගත් බවක් ද පෙනුණා. ඔහුට ගොඩක්ම කේන්ති ගියේ විදුලිය, රූපවාහිනිය හෝ සන්නිවේදන පහසුකම් නොතිබූ නිසා. බාහිර ලෝකයත් සමඟ සම්බන්ධ වීමට නොහැකි වීම ගැන ඔහු සිතුවා. අපි පැය ගණන් ඔහු අසලින් හිඳගෙන සිටියා. හැම වෙලේම ඔහු අපෙන් ඇහුවෙ, ඇයි විදුලිය නැත්තෙ? ඇයි වතුර නැත්තෙ? වගේ ප්‍රශ්න....”

ඔක්තෝබර් 19 වැනිදා රාත්‍රියේදී ද කැරැලිකරුවන්ගේ මිසයිල ප්‍රහාර එල්ල වෙමින් තිබියදී ගඩාෆි ආරක්‍ෂිතව ඉන් බැහැර කිරීමට සැලසුම් කෙරිණි. මුටාසිම් ගඩාෆි සැලසුම් කළ පරිදි 20 වැනිදා අලුයම 3.30 ට හෝ 4.00 ට ප්‍රදේශයෙන් පිටවීම අසීරු විය. එය උදෑසන 8 දක්වාම කල් ගියේය. ඒ වන විට තත්ත්වය දරුණු අතට හැරී තිබිණි.

එහෙත්, ආරක්‍ෂාව සඳහා ප්‍රදේශයෙන් ඉවත් විය යුතු විණි. ගඩාෆි සහ ඔහුට ආරක්‍ෂාව සලසමින් ගමන් කළ රථ පෙළ නගරයෙන් බැහැර වීමට දකුණු දෙසට ඇදෙමින් තිබියදී එය ඉලක්ක කර ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයක් එල්ල විය. ගඩාෆිගේ රථය අසලම එය පුපුරා ගියේය.

”ඒක හරිම ප්‍රබල පිපිරීමක්. වාහනයේ එයාර් බෑග් පවා ක්‍රියාත්මක වුණා. මටත් දරුණු ලෙස තුවාල වුණා...” මන්සූර් දාවු පවසයි.

මුටාසිම් ගඩාෆි සිය පියා ද කැටුව ගමන් කරමින් තිබූ මාර්ගය සෑම අතකින්ම කොටුකර තිබිණි. දිගින් දිගටම මිසයිල පහර ද එල්ල වෙමින් තිබිණි. එහෙත් රථ පෙළ ඉදිරියට ඇදෙන්නට විය.

කැරැලි අණදෙන්නකු වූ ඛලීඩ් අහමඩ්ට අනුව, රථ පෙළ ඔවුන් රැඳී සිටි ගොඩනැගිල්ල දෙසට ළඟාවෙමින් තිබියදී ඊට පහර දීමට ඔවුන් ක්‍රියා කර ඇත. “අපි ගුවන් යානා නාශක මිසයිලවලින් පවා ගැහුවා...” ඔහු පවසයි.

රථ පෙළ ඉලක්ක කර රාත්තල් 12,500 ක් බර නේටෝ ගුවන් බෝම්බ පුපුරා ගොස් ඇත්තේ එහිදීය. ඉන් වාහන 14 ක් විනාශ වූයේ ගඩාෆිට ආරක්‍ෂාව සලසමින් ගමන් ගත් 53 දෙනකුගේ පමණ ජීවිත ද විනාශ කරමිනි. මේ ප්‍රහාරයත් සමඟ ආරක්‍ෂාව තකා වාහනවලින් ඉවත්ව සැඟවීමට ඔවුන්ට සිදු වී ඇත. නිවස්නයක් වෙත ළඟාවී ඇතත් එතැනට ද ප්‍රහාර එල්ල වී තිබේ. එහි සිටි අයකුට අනුව ගඩාෆි ද එතැන සිට ඇත. “ඔහු වෙඩි නොවදින කබායක් හැඳ හෙල්මටයක් පැළැඳ සිටියා. ඔහු ළඟ පිස්තෝලයක් වැනි අවියක් හා ස්වයංක්‍රීය ගිනි අවියක් ද තිබුණා... හිටි ගමන් ගොඩනැගිල්ලට ෂෙල් ප්‍රහාර වැදුණා. අපි ඉවතට දිවගියා. ඒ අවට සැඟවීමට හැකි සිමෙන්ති කනු තිබූ නිසා අප කළේ ඒවා අතර සැඟවෙන එකයි...”

මන්සූර් දාවු පවසන පරිදි, ඔවුන් ගඩාෆිව ප්‍රධාන මාර්ගයේ පිහිටි අපද්‍රව්‍ය රැගෙන යන විශාල කානු නළයක සඟවා ඇත. එතැන් සිට දුර ඈත ගොවිබිම් දෙසට ඔහු රැගෙන යාම ඔවුන්ගේ අරමුණ වී තිබිණි. එහෙත් ඔවුන් සැඟවෙනු කැරැලිකරුවන් දැක ඇත. කැරැලිකරුවන් තමන් දෙසට ළඟාවෙනු දැක ගඩාෆිගේ ආරක්‍ෂකයන් ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහිදී එක් ග්‍රෙනේඩයක් පිපිරීමෙන් එය විසිකළ ආරක්‍ෂකයා ද මියගොස් ගඩාෆිටද තුවාල වූ බව ඔහු කියයි. ඉන්පසු ගඩාෆි කැරැලිකරුවන් අතට පත් වී තිබේ. එතැන් සිට විනාඩි 3 කුත් තත්පර 38 ක කාලය තුළ සිදුවූ දේවල් වීඩියෝ දර්ශනවල ද සටහන්ව තිබේ. ඛලීඩ් අහමඩ් පවසන පරිදි වාහනයක බොනට්ටුව මතට බලහත්කාරයෙන් නංවාගැනීමට වෑයම් කරමින් ගඩාෆිට එහි සිටි කැරැලිකරුවන් හිංසා කර තිබේ. එය අතිශයින්ම බිහිසුණු මොහොතක් වූ බව ද කිසිවකුත් පාලනය කිරීමට ඔවුන්ට නොහැකි වූ බව ද ඛලීඩ් අහමඩ් කියයි. ගඩාෆිට එරෙහිව නඩු විභාගයක් පැවැත්විය යුතුව තිබූ බව ඔවුන් තේරුම්ගෙන සිටියද පාලනයකින් තොරව සියල්ල සිදුවූ බව පිළිගැනීමට ද ඔවුන්ට සිදු වී තිබේ. ගඩාෆි ගිලන් රථයකට දමාගෙන ඇතත් ඒ වන විටත් ඔහුගේ අවසානය ළඟා වී තිබූ බව ද, බොහෝදුරට ඔහුගේ ඇඳුම් පවා ඉවත් කර තිබූ බවද හියුමන් රයිට්ස් වොච් හෙළිදරව්වේ සඳහන් ය. දෙපැයක පමණ ගමනකින් පසු, ලිබියානු නායකයාගේ අවසානය එලෙස සටහන්ව තිබිණි.

ද ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරිනි