ඉස්තරම් අලි කෝපි...

ඉස්තරම් අලි කෝපි...

අලියා ගොඩබිම සිටින දැවැන්තම ක්ෂිරපායි ජීවියෙකි. අලින් මිනිස් සංස්කෘතිය සමඟ සම්බන්ධව සිටින්නේ අනාදිමත් කාලයක සිටයි. ඇතැම් තැනක ඇත් දළවලින් තැනෙන ආභරණ සහ විසිතුරු භාණ්ඩය. සමහර තැනෙක අලි දත් ඖෂධ තැනීම පිණිස යොදා ගැනේ. හස්තීන්ගෙන් වැඩ ගැනීමත්, සංස්කෘතික උත්සව අලංකාරය පිණිස යොදා ගැනීමත් සිදුකෙරේ. සංචාරක කර්මාන්තය දියුණු සෑම රටකටම ගිජිදුන් අලංකාරයකි. සද්දන්තයින් මිනිසුන්ට කරන මේ උපකාරවලට අමතරව දැන් අලුත් සේවාවක් ද අරඹා තිබේ. සේවාව කෝපි සෑදීමයි. එය සද්දන්තයින්ගෙන් සිදුවන වෙනස්ම කර්තව්‍යයකි.

අලින් සදන කෝපි, අලි කෝපිය. නැත්නම් එලිෆන්ට් කෝපිය. එය සාදා ගන්නේ අලින්ට අමු කෝපි ඇට ආහාර වශයෙන් ලබාදීමෙන් පසුවයි. ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළුවන කෝපි ඇටවලින් සමහරක් ජීර්ණය වන්නේ නැත.

ඒවා මළ සමඟ නැවැත පිටවේ. මළ සමඟ බැහැරවන එම කෝපි ඇට එකතු කරගත යුතුය. මේ කාර්යයට හවුල් වන්නේ ඇත්ගොව්වන් සහ ඔවුන්ගේ පවුල්වල උදවියයි. කෝපි ඇට මළවලින් වෙන් කර ගන්නට විශේෂ ක්‍රමයක් නැත. අලින්ගේ මළ එහා මෙහා කරමින් ඇටයෙන් ඇටය කෝපි ඇට අහුලාගත යුතුය. එසේ ලබාගත් කෝපි ඇට පවිත්‍රකර වියළා කුඩුකර ගනු ලැබේ. රසය දෙගුණ තෙගුණ කර ගැනීමට විවිධ රසකාරකත් එකතු කර ගැනේ. චොකලට් රසය මෙන්ම මල්වල සුවඳ රසය බවට හරවා ඒ රස කෝපිවලට මුසුකර ගත හැකිය. නොයෙක් රසයෙන් රස ගන්වනු ලැබූ කෝපි වෙන වෙනම ඇත. පාරිභෝගිකයා අතට එන කෝපි කෝප්පය සකස්වන්නේ ඔහු ඉල්ලන කැමැතිම රසයෙනි.

සාමාන්‍යයෙන් අලි කෝපි ඇට රාත්තල් දෙකක් අමෙරිකා ඩොලර් 1100 ක් පමණ වේ. සිත් ඇදගන්නා සුලු පීරිසියක් මත තබන ලද සුරුබුහුටි කෝප්පයක් තුළ පෙරී එන අලි කෝපි අලෙවි වන්නේද සැලකිය යුතු මුදලකටය. එක කෝපි කෝප්පයක් අමෙරිකා ඩොලර් 50 කි. මේ මිල ගෙවා අලි කෝපි රසය විඳින අය අද දුලබ නැත. මෙපමණ මිලක් ගෙවා ගිජිදුන්ගේ මළ අතර රැඳුණ කෝපි ඇටයක රසය මිනිසුන් සොයන්නේ ඇයි? ඇත්තටම එය තිත්තෙන් අඩුය. එයට හේතුවන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී කෝපි ඇටය තුළට ආහාර ජීර්ණ එන්සයිම ඇතුළුවීමයි. එයින් කෝපි ඇටයේ තිබෙන ප්‍රෝටීන බිඳ වැටීමක් වේ. කෝපිවලට තිත්ත රසය ලැබෙන්නේ එහි අඩංගු ප්‍රෝටීන නිසයි. ප්‍රෝටීන බිඳ වැටුණු පසු තිත්ත රසය හොඳටම අඩුවේ. එවිට ඉතිරිවන්නේ අමුතුම රසයකි. එවැනි කෝපි රසකාරක සමඟ එක්කළ විට ඉස්මතුවන්නේ පානයට ප්‍රිය ස්වභාවයකි. ඒ රසය සොයා ඇදෙන මිනිසුන්ට කෝපි කෝප්පයක ගණන කීයක් වුණත් කම් නැත.

අලි කෝපි හැදීමේ ක්‍රියාවලිය මේ තරම්ම වියදම් සහගත එකක් වු සැටිත් රසවත්ය. සාමාන්‍යයෙන් අලි කෝපි නිෂ්පාදනයට ගන්නේ ඕනෑම තැනක වැවෙන කෝපි නොවේ. අඩි 5000 ක් තරම් උස් බිම්වල වැඩෙන කෝපි ගස්වලිනි. නෙළා ගන්නා ඵල පමණක් එහිදී භාවිතයට ගැනේ. අලියෙක් කෝපි රාත්තල් 72 ක් කා දැමුවහොත් මළ සමඟ පිටවන්නේ කෝපි රාත්තල් 2.2 කට සරිලන කෝපි ඇට ප්‍රමාණයක් පමණි. මේ ගණන් මිනුම් හරියටම කියන්න පුළුවන්කමක් ද නැත. සමහර විට මේ අගය විශාල වශයෙන් වෙනස් වේ. එහෙත් එක් දෙයක් පැහැදිලිය. එනම්, අලියකු කෝපි ඇට විශාල ප්‍රමාණයක් කා දමන බවත් කෝපි ඇට අල්ප ප්‍රමාණයක් මළ සමඟ පිටකරන බවත්ය. ඉතින්, කෝපි ඇට රාත්තල් හැට හැත්තෑවක නැත්නම් ඊටත් වැඩි ප්‍රමාණයක වියදම පියවා ගන්නට සිදුවන්නේ අලියකුගෙන් බැහැරවන කෝපි ඇට රාත්තල් දෙකකින් හෝ තුනකිනි. ඒ අනුව බලනවිට ඩොලර් 50කට කෝපි කෝප්පයක් අලෙවි කිරීම ගැන පුදුමයට පත්විය යුතු නැත.

අලි කෝපි සොයාගෙන එන බහුතරය සංචාරකයන්ය. සංචාරකයන්ට සෑම රටකදීම අලි කෝපි කෝප්පයක් තොලගාන්නට පුළුවන්කමක් ඇත්තේ ද නැත. ඒවා තිබෙන්නේ එක්කෝ මාලදිවයිනේය. නැත්නම් තායිලන්තයේය. මාලදිවයිනේ නම් අනත්තරා (ඒදචදබචපච) සංචාරක නිකේතන සමුහයෙන් මිලදී ගන්නට හැකිය. අනන්තරා සංචාරක නිකේතන හතරක්ම මාලදිවයිනේ තිබේ. තායිලන්තයට ගියහොත් මිලදී ගන්නට සිදුවන්නේත් අනන්තරා සංචාරක හෝටලවලදීම පමණි. මේ කෝපි සකස් කෙරෙන්නේ අනන්තරා හෝටල් සමූහයටම අයත් අනන්තරාස් ගෝල්ඩන් ට්‍රෑන්ග්ල් ඒෂියන් එලිෆන්ට් ෆවුන්ඩේෂන් අලි කඳවුර තුළදීය. මේ කඳවුරේ සිටින්නේ නොයෙකුත් ආපදාවලට ලක්ව මුදාගනු ලැබු හස්තීන්ය. ඔවුන්ගේ නඩත්තුව ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. අලි කෝපිවලට අධික මිලක් නියම කෙරෙන්නේ අලි නඩත්තුව අලි බරපතළ වැඩක් වීම නිසයි.

අදින් කලකට ඉහතදී සංචාරකයන්ගේ දිව පිනා ගියේ උරුලෑ කෝපිවලිනි. උරුලෑවන් කෝපි රාත්තල් දෙකක් සකසා දෙන්නට වැඩිපුර මිල මුදල් නාස්ති කරන්නේ නැත. ඊට වැය වන්නේ අමෙරිකා ඩොලර් 600 ක් පමණය. ඒ නිසා උරුලෑ කෝපි කෝප්පයක් අමෙරිකා ඩොලර් 30කට මිලදී ගත හැකි විය. උරුලෑ කෝපිවලින් පසුව කතා කරන්නට පුළුවන් වුණේ මුව කෝපි ගැනය. ඒ කෝපි සෑදුවේ මුවන්ය. මුව මළවලින්, පිටවන කෝපි ඇට එකතු කරගෙන සකස් කෙරුණු කෝපි කෝප්පයක රසය භුක්ති විඳින්නට කැමැති අයත් ඕනෑතරම් වුහ. කෝපි රසය ගැන හොඳින්ම දන්නා විශේෂඥයන් කියන්නේ වවුලන්ද රසවත් කෝපි කෝප්පයක් සකසා දෙන්නට සමත් පිරිසක් බවයි. දැන් අලි කෝපි ගැන ජයටම කතා බහ කෙරේ. අලි මළවලින් ඉවතට ඇදෙන කෝපි ඇටවලින් රසවත්වන කෝපි කෝප්පය ඊළඟට නවතින්නේ කොතැනකද? ඒ රසය සකස් කර දෙන්නේ කව්ද?
 

ද ඩේලි මීල් ඇසුරිනි