ඉරණමට අභියෝග කළ මලාලා

ඉරණමට අභියෝග කළ මලාලා

දෙවියනේ..තලේබාන්ලා අපේ ඉස්කෝලෙට පහරදෙන්න ද යන්නේ..උදෑසන රැස්වීමේදී අපට කීවා පාට ඇඳුම් අඳීන්න එපා කියලා. මොකද තලේබාන්ලා ඒකට විරුද්ධයි කියලා. හවස ටෙලිවිෂන් එක දැම්ම ම දවස් 15 ට පස්සේ ශකර්දාවල ඇඳීරි නීතිය ඉවත් කරලා කියලා දැනගත්තා. මට හරිම සතුටුයි. මොකද අපේ ඉංග්‍රීසි ගුරුවරිය ඉන්නේ එහෙ නිසා. ඇයට දැන් ඉස්කෝලෙට එන්න පුළුවන්”

2009 බී.බී.සී පුවත් සේවයේ උර්දු මාධ්‍යයට නිර්නාමික නමකින් 11 හැවිරිදි දැරියක විසින් ලියූ දිනපොත් සටහනක එසේ සඳහන් විය. ගුල් මකායි යනු එකී ආරූඪ නාමයයි. වයඹ දිග පකිස්තානයේ ස්වෙට් නිම්න ප්‍රදේශය මෙයට වසර 3 ට පමණ ඉහතදී තලේබාන් පාලනය යටතේ පවතිද්දී එකී දෛනික ජීවිතය ගැන ලියූ ඇගේ සැබෑ නම මලාලා යුසුෆ්සායි වග පසුව හෙළිදරව්විය. තලේබාන්ලා විසින් ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලැබීම තහනම් කර තිබියදී ඊට එරෙහිව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ ඇය පසුගියදා පාසල් නිමවී නිවෙස බලා එමින් සිටියදී තලේබාන්වරුන්ගේ වෙඩිප්‍රහාරයට ලක්විය.

මේ වන විට ලෝකය ම ඇය පිළිබඳ අවදියෙනි. 14 හැවිරිදි වියේ පසුවන බවට මුලදී වාර්තා වුව ද සැබවින් ම ඇයට දැන් වයස අවුරුදු 15 කි. ඇගේ උපන්දිනය වන්නේ 1997 ජූලි 12 දා ය. කෙසේ වෙතත් තාමත් සොඳුරු ළමාවිය ඉක්ම නොගිය ඇය තමාගේ ඉරණමට අභියෝග කළ වීරවරියකි.

“ ඇය මගේ දියණිය පමණක් නෙවෙයි. ඇය පකිස්තානයේ දියණියයි. මම ඇගේ භාරකරුවා පමණයි” ස්වෙට් නිම්න සාම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම මලාලාගේ පියාණන් වන සියොද්දින් යුසෆ්සායි පවසයි. ස්වැට් නිම්නයේ මින්ගෝරා ප්‍රදේශයේදී ඇයට සිදුකළ වෙඩිතැබීමේ සිදුවීමට දින කිහිපයක් ගතවී තිබේ. ඇයත් සමඟ තවත් පාසල් මිතුරියන් දෙදෙනෙක් වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කළහ. මේ වන විට ලෝකය ම බලා සිටින්නේ ඇයගේ සුව දුක් කෙසේද යන්න පිළිබඳය.

ජීවිත අවදානම මුළුමනින්ම පහව නොගිය ද ඇය පළමු වතාවට මෝටරයක ආධාරයෙන් නැඟී සිටි බව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා තිබේ. බ්‍රිතාන්‍යයේ බර්මිංග්හැම්හි ක්වීන් එළිසබෙත් රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින මලාලා යූසෆ්සායිගේ ප්‍රගතිය පිළිබඳ පළමු නිල වෛද්‍ය වාර්තාව ඉකුත් සිකුරාදා දිනයේ ප්‍රකාශයට පත්විය.

බර්මිංගැහැම්හි ක්වීන් එළිසබෙත් රෝහලේ අධ්‍යක්ෂ,වෛද්‍ය ඩේව් රොසර් පවසන පරිදි ඇයගේ මොළයට තුවාල වී තිබියදී මතකය යම්තමට අවදිකර ගැනීමට හා ලිවීමට ඇයට හැකිය.

තාමත් ඇයගේ ජීවිත අවදානම මුළුමනින්ම පහවගොස් නැති බව පැහැදිලියි. ඒ මොකද කියනවානම් ඇය උසුලන තුවාල ඉතාමත් බරපතළයි” වෛද්‍ය ඩේව් රොසර් කියා සිටියි.

“නමුත් ඇය ප්‍රකෘති තත්ත්වයට පත්වීමට දරන උත්සාහය ඉතාම ප්‍රශංසනීයයි”රොසර් පෙන්වාදෙයි. ඇයට තාමත් කතා කළ නොහැකිය. ඒ ඇගේ ශ්වාසනාලයට ඇතුළුවී ඇති වෙඩි උණ්ඩයකින් ලබා ඇති තුවාලය ඉතාමත් බරපතළ නිසාය. ඇය හුස්ම ගන්නේ නිකට හරහා ඇතුළු කර ඇති සියුම් බටයකිනි.

ඇයගේ හිස් කබලේ පාදම කොටසට මෙන්ම වම් කන පිටුපස අස්ථිවලට බරපතළ හානි සිදුව ඇත. ඇයගේ වම් යටි හකු ඇටයද,එය සම්බන්ධවන පුරුකද බිඳී ඇති බව වෛද්‍ය වාර්තාවේ සඳහන්ය. ඇයගේ නළලේ වම් ඇහි බැමට ගිනි අවිය ස්පර්ශ වනසේ තබා වෙඩි තැබීම කර ඇතත් එකී උණ්ඩය සෘජුව හිස් කබල පසාරු කරගෙන ගොස් නැතැයි වෛද්‍ය රොසර් පෙන්වාදෙයි. එහෙත් එසේ හිස් කබල පසාරු කරගෙන යාම වෙනුවට හම යටින් ඇදී ගොස් හිස් කබලේ එක් පසෙකට හානි කරමින් නිකටින් මතුවී ඇති බව කියැවෙයි.

ඇෆ්ගනිස්ථානයේදී බරපතළ තුවාල ලබා ක්ෂිතිමය (trauma) තත්ත්වයේ සිටි දහස් ගණන් සොල්දාදුවන් සුවපත් කළ දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් මලාලා වෙනුවෙන් යොදවා තිබේ.

මේ රෝහලේ “අවදානම් රෝගීන් සඳහා වන වෛද්‍ය ඒකකය” ලොව විශාලතම මහල වෙන් කර ඇති එවැනි වෛද්‍ය ඒකකය බව කියැවෙයි. වෙඩිවැදීමෙන් ලැබූ බරපතළ තුවාල, පිළිස්සුම්,කොඳු ඇට පේළියේ බිඳුම්, හා හිසේ බරපතළ තුවාල සිදුවීම් සහිතව යොමු කෙරෙන මෙමගින් ලොව පුරා අනතුරට ලක්වූ දස දහස් ගණන් පිරිස් යළි දෙපයින් සිටුවීමට කටයුතු කර තිබේ.

“ඇය යථා තත්ත්වයට පත්වන්නට තවත් සති කිහිපයක් ගතවනු ඇත” මලාලා බ්‍රිතාන්‍යයේ තනිව ප්‍රතිකාර ලබන රෝහල් බලධාරීන් පකිස්තානයේ වෙසෙන ඇගේ පවුලේ උදවිය සමඟ තොරතුරු හුවමාරු කරගන්නා බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඇයට වෙඩිතැබීම සංවිධානය කළ පුද්ගලයා පිළිබඳ මේ වන විට එරට ආරක්ෂක අංශවලට බොහෝ තොරතුරු අනාවරණය වී තිබේ. 2009 වසරේ පකිස්තානයේ තලේබාන් සංවිධානයට එරෙහිව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට පත්ව ඇති සැලසුමේ මහ මොළකරු මාස 3 ට පසුව නිදහස් කර ඇති බව ආරක්ෂක අංශයේ ඉහළපෙළ දෙදෙනකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

කෙසේ නමුත් පකිස්තාන බලධාරීන් මේ වෙඩිතැබීමට සම්බන්ධ පිරිස් අල්ලා දෙනු ලබන අයකුට අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදල් පිරිනමන බව ප්‍රකාශයට පත් කර තිබේ.

වෙඩිතැබීමෙන් පසු හදිසි ප්‍රතිකාර සඳහා ප්‍රථමයෙන් ඇය ඇතුළත් කරනු ලැබුවේ පකිස්තානයේ රාවල්පින්ඩි නුවර රජයේ රෝහලටයි.

එසේ ඇතුළත් කළ විගස මලාලාගේ පියා බව කියමින් රෝහලට ඇතුළත්වීමට උත්සාහ දැරූ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලට අනුව සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ස්වෙට් නිම්නයේ දිස්ත්‍රික් පරිපාලන නිලධාරී කැම්රන් රෙහමන් පවසා තිබේ.

අල්ජසීරා ඇසුරිනි.