කාඩ් බෝඩ් බයිසිකලෙන් රවුමක්

කාඩ් බෝඩ් බයිසිකලෙන් රවුමක්

දුප්පතාගේ වාහනය ලෙස විරුදාවලිය ලත් බයිසිකලයේ නොසිතූ විරූ නිමැවුමක් ලෝක වෙළෙඳ පොළට එකතුවී තිබේ. ඒ ඊශ්‍රායලයේ නව නිපැයුම්කරුවකු විසින් මුළුමනින්ම කාඩ්බෝඩ්වලින් නිෂ්පාදනය කරන ලද බයිසිකලයක් හඳුන්වාදීම හේතුවෙනි. දුප්පත් පොහොසත් භේදයකින් තොරව අපි‍්‍රකානු රටවල පවා වාහන තදබදය උග්‍ර වී ඇති යුගයක කාඩ්බෝඩ් බයිසිකලය ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෙනසක් සිදුකරනු ඇති බව නිපැයුම්කරුවාගේ අදහසයි.

පනස් හැවිරිදි ඊශ්‍රායල් ජාතික ඉෂාන් ගෆ්නි ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර ගණනාවක නිපැයුම්කරුවෙකි. බයිසිකල් පැදීමට ඉමහත් කැමැත්තක් දක්වන හෙතෙම වසර ගණනාවක් තිස්සේ කාඩ්බෝඩ්වලින් බයිසිකලයක් නිර්මාණය කිරීම සඳහා අදහස් කරගෙන සිටියේය. අදහස මුදුන්පමුණුවා ගැනීමෙන් පසු හෙතෙම තම නව නිපැයුමත් සමඟම තමා කරනු ලැබූ අත්හදා බැලීම්වල ආකෘති හා තමාට වැරදුණු තැන්ද ප්‍රදර්ශනය කළේ ය. නුදුරු මාස කිහිපයක ඇතුළත මේ කඩදාසි බයිසිකලය මහා පරිමාණ නිෂ්පාදනයක් ලෙස වෙළෙඳ පොළට නිකුත්වීමට නියමිතය.

“මෙසේ යොදාගත් සාම්ප්‍රදායික නොවන තාක්ෂණය හා අමුද්‍රව්‍ය භාවිතයෙන් අත්පත්කර ගැනීමට හැකිවූ සාර්ථකත්වය පිළිබඳ මට හරිම සතුටුයි. බලාපොරොත්තු මල්ඵල ගැන්වීමත් සමඟම තවත් දේවල් දිනා ගැනීමට හැකිවුණා. කොහොම වුණත් මං අවුරුදු හතරක් තිස්සේ මේ වෙනුවෙන් වැඩ කළා. එහිදී අදාළ ඉලක්කයට ළඟාකරගත නොහැකිවූ රැලි ගැසුණු කාඩ්බෝඩ් තොග ගණනින් අහක දාන්නට මට සිදුවුණා...” ඉෂාක් ගෆ්නි රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් පවසයි.

“වඩා ශක්තිමත්ව හා කල්පැවැත්ම පිළිබඳ සැකයකින් තොරව කාඩ්බෝඩ් පෙට්ටි නිෂ්පාදනය කිරීම ඉතාම පහසුයි. එහෙත් එයින් බයිසිකලයක් නිර්මාණය කිරීම ඊට බොහෝ වෙනස් හා ඉතාම අමාරු වැඩක්. නිවැරදි ක්‍රමවේදය සොයාගැනීමට කලින් මටත් එක එක වැරදි පාරවල්වල යන්න සිද්ධ වුණා. වසර එක හමාරක් තිස්සේ විවිධ අත්හදාබැලීම් ඔස්සේ දහසකුත් එකක් අසාර්ථකවීම් මධ්‍යයේ මේ ගමන මට එන්න සිද්ධවුණා” ඔහු වැඩිදුරටත් කියා සිටියි.

කාඩ්බෝඩ් නිෂ්පාදනය කරනු ලබන්නේ ලී පල්පයකිනි. ප්‍රථම වරට 9 වැනි සියවසේදී භාණ්ඩ ශක්තිමත් ලෙස ඇසිරීම සඳහා භාවිතයට ගැනුණු කාඩ්බෝඩ් ඉතා ඝනව හා ඇතැම්විට ලෝහයක් තරමට ශක්තිමත්ව අමිශ්‍රව නිර්මාණය කරගත හැකි බව පසුව සොයා ගැනිණි. කාඩ්බෝඩ්වලින් කපාගන්නා එක් ශක්තිමත් ආකෘතික හැඩයක්, ජලය උරා නොගන්නා හා ගිනි නොගන්නා හැකියාවෙන් යුතු කාබනික ද්විත්වය රහස් මාත්‍රාවකින් සම්මිශ්‍රණය මෙහිදී භාවිතයට ගෙන තිබේ. ඉන් අනතුරුව අවසාන අදියරේ දී ලැකර් ආලේපකර නිමැවුම සර්ව සම්පූර්ණ කරයි.

අදාළ කාඩ්බෝඩ් පිරියමේ කල්පැවැත්ම පිළිබඳ අත්හදාබැලීමට මෙම බයිසිකලය වතුර ටැංකියක බහා මාස කිහිපයක් තිබිණි. එහි ශක්තිමත්භාවය තීව්‍ර වූවා මිස අනර්ථකාරී බලපෑමක් සිදුනොවූ බව ගෆ්නි සිහිපත් කරයි. මේවන විට කිසිදු ලෝහමය අමතර කොටසකින් තොරව බයිසිකලය මහා පරිමාණ නිෂ්පාදනය සඳහා සියල්ල සූදානම්ය. තිරිංග යාන්ත්‍රණය, රෝද, පෙඩලය ආශි‍්‍රත කොටස් පවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව ගෆ්නිගේ අදහසයි. එහෙත් තවමත් පේටන්ට් බලපත්‍රය ලබා ගෙන නොමැති බැවින් එය ලබාගන්නා තුරු ඒ පිළිබඳ වැඩිදුර යමක් අනාවරණය කිරීමට හෙතෙම කැමැත්තක් නොදක්වයි.

“මෙම මූල ද්‍රව්‍යයේ ශක්තිමත්භාවය ගැන මටම ඇස් අදහාගන්න බැරිවුණ. පිට පිටම පුදුමයට පත්වුණා.”

තම විස්මිත නිමැවුමට දායකත්වය දුන් ගරාවැටුණු ගබඩා උද්‍යානයක ඉකුත් සතියේ නිෂ්පාදනය හඳුන්වාදීම සඳහා පැවති වැඩමුළුවක දී හෙතෙම කියා සිටියේය.

සෙල්ලම් භාණ්ඩයක් සේ ඔහු විසින් නිර්මාණය කරන ලද මුල් ආකෘතියට බිරිඳට පසු ඔහුගේ යොවුන් දියණිය විසින් පරිහරණය කරමින් සිටිනු විදේශීය මාධ්‍යවේදීන්ට එහිදී දැකබලා ගැනීමට හැකිවී තිබේ. ඩොලර් දහස් ගණනක වටිනාකමකින් යුතු විවිධ උසස් තරාතිරම්වල බයිසිකල් ගණනාවක හිමිකරුවන ගෆ්නි සිය විශ්මිත නව නිපැයුම ඒ සා ඉහළ මිල ගණන්වලට තීරණය කර නොමැත. බයිසිකලයේ මිල අමෙරිකානු ඩොලර් 20 ට වඩා වැඩි නොවනු ඇති බව ගෆ්නි අවධාරණය කරයි. ඇස්තමේන්තු කර ඇති ආකාරයට එක් බයිසිකලයක් සඳහා අමුද්‍රව්‍ය සඳහා වැයවී ඇත්තේ අමෙරිකානු ඩොලර් 9 ක් වැනි සුළු මුදලක් පමණකි.

“අවුරුදු එක හමාරකට හෝ දෙකකට ඉහතදී අපි මේ වැඩේ ආරම්භ කරනකොට මිනිස්සු අපට හිනාවුණා. නමුත් අද වෙද්දී දවසකට ඊ මේල් ගණනාවක් එවා අපෙන් අහන්නේ බයිසිකලයක් මිලදී ගන්නට පුළුවන් ද කියලයි. ඒක අපේ සාර්ථකත්වය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු දල්වනවා.” නව නිපැයුම් බයිසිකලයේ මුල්ම ආකෘතිය දරදඬු ය. අනෙක් පොදු ව්‍යවහාරික බයිසිකල් හා සසඳා බලන කල සැලකිය යුතු වෙනසක් නොපෙනිණි.

“අපි තරගය කණපිට පෙරළුවා”

ගෆ්නිගේ ව්‍යාපාරික හවුල්කරුවා වන නම්රොඩ් එල්මිෂ්ච් පවසා ඇත්තේ කාඩ්බෝඩ් ඇතුළු අනෙකුත් ප්‍රතිචක්‍රීකරණ අමුද්‍රව්‍ය රටේ පවත්නා ප්‍රධාන නිෂ්පාදන මිනුම් ආකෘති වෙනස්කරනු ඇති බවයි.

“ලාභ ශ්‍රමයක් සහිත අමුද්‍රව්‍ය වෙළෙඳ පොළට නිෂ්පාදනය කිරීමෙන් ව්‍යාපාරික වශයෙන් ලාභයක් නෑ” ඔහු පෙන්වා දෙයි. එහෙත් ව්‍යාපාරික වශයෙන් බලාපොරොත්තුව අත්හැරීමට ඔහු සූදානම් නැත.

“මේක සැබවින්ම තරගය කණපිට පෙරලීමක්. දේශීය වෙළෙඳ පොළට වඩා නිෂ්පාදන ඇසුරුම් හා නැව්ගත කිරීම් සහිතව මහාපරිමාණ ව්‍යාපෘතියක් ලෙස කර්මාන්තය ගොඩනැඟිය යුතුයි. ලෝකයේ බයිසිකල් නිෂ්පාදන කර්මාන්තය මුළුමනින්ම වෙනස් කරන්නට අපට පුළුවන්.”

එසේම ඔහු කියා සිටින්නේ කාඩ්බෝඩ් බයිසිකල් නිෂ්පාදනය ආශි‍්‍රතව ප්‍රතිචක්‍රීකරණ නිෂ්පාදන මගින් ප්‍රධාන ධාරාවේ වෙළෙඳ පොළ අවශ්‍යතාවට අතිරේකව රටේ ශ්‍රම බලකායට විශ්‍රාමිකයන් හා ආබාධිත පුද්ගලයන් පවා දායක කරගැනීමට හැකිවන බවයි. එසේම නවීන ලෝකයේ වෙළෙඳ උපාය මාර්ග ඔස්සේ ගමන් කිරීමට ඔහු තුළ ප්‍රාර්ථනාවක් නැත්තේද නොවේ.

“වැඩි වශයෙන් රජයෙන් ප්‍රතිපාදන ලැබන කල කාඩ්බෝඩ් බයිසිකලයේ නිෂ්පාදන පිරිවැය නැත්තටම නැති වේවි. එහෙම වුණාම බයිසිකලය ලෝකයට නොමිලේම දෙන්න අපට හැකිවේවි. තාක්ෂණික ලෝකයේ මෘදුකාංග බෙදාහැරීමේ ව්‍යාපාරික ආකෘතිය අපි විසින් කොපි කරමින් ඉන්නවා. මෘදුකාංග නොමිලේ බෙදාහැරීම සඳහා එකී සමාගම් සිදුකරනු ලබන ව්‍යාපාරික උපක්‍රම වන්නේ අදාළ මෘදුකාංග තුළ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයට කටයුතු කිරීමයි. අප දැනට ඒ ක්‍රමය පිළිබඳ අධ්‍යයනය කරමින් ඉන්නවා” එල්මිෂ්ච් දැඩි උනන්දුවෙන් යුතුව පෙන්වා දෙයි.
 

රොයිටර් ඇසුරිනි