ඩොල්ෆින් ට දියවැඩියාව

ඩොල්ෆින් ට දියවැඩියාව

සත්ව ලෝකයෙන් ඇතැම් විට වාර්තා වන තොරතුරු පුදුම සහගත ය. මේ හේතුව නිසා ම ඒ පුදුම සහගත තොරතුරු පසුපස හඹා යන්නට විද්‍යාඥයන් පෙලඹේ. එවැනි හඹායෑමක තවත් ප්‍රතිඵලයක් පසුගියදා අනාවරණය කර තිබිණි. මෙවර නිමිත්ත වී තිබුණේ මුහුදේ වෙසෙන බුද්ධිමත්ම ක්ෂිරපායි සත්වයා ලෙසින් සැලකෙන ඩොල්ෆින් මසුන්ය. ඩොල්ෆින් මසුන්ගේ ක්‍රියාකාරීත්වය සහ චර්යා රටාව පිළිබඳ විද්‍යාඥයන් වැඩි අවධානයක් යොමු කරන්නේ ඉතා මිත්‍රශීලී, බුද්ධිමත් සත්ව විශේෂයක් නිසාම පමණක් නොවේ. ඩොල්ෆින් මසුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ හෙළිකර ගැනීමට බොහෝ තොරතුරු ඇති හෙයිනි. මෙවර පර්යේෂණයේදී හෙළිකර ගැනීමට හැකි වී ඇති සුවිශේෂිම තත්ත්වය වන්නේ මේ සත්ත්ව විශේෂයට දින 15 ක් පුරා අඛණ්ඩව අවදියෙන් සිටීමට හැකියාවක් ඇති බවයි. මෙහිදී මොළයේ එක් අර්ධයකට විටින් විට අඩ නින්දක් ලබා දෙමින් පූර්ණ ක්‍රියාශීලී තත්ත්වයේ සිටීමට ඩොල්ෆින් මසුන්ට හැකියාව ඇති බව විද්‍යාඥයන් කියති.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ඩියෝගෝ ජාතික සමුද්‍ර ක්ෂිරපායි පදනමේ මෙහෙයවීම මත මේ පර්යේෂණය සිදු කෙරිණි. සිය අධ්‍යනයයෙන් අනතුරුව අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානී ආචාර්ය බ්‍රයන් බ්‍රැන්ස්ටෙටර් පවසන්නේ මෙවැන්නකි.

“මේ පුදුමාකාර සත්ව විශේෂය ඇත්තෙන්ම මුහුදේ සිටින නොසැලෙන ආරක්‍ෂකයින් හැටියට හඳුන්වන්න පුළුවන්. මුහුදේ ජීවත්වන සත්ව විශේෂයක් හැටියට ඩොල්ෆින් මසුන්ගේ හැකියාවන් පුදුම සහගතයි. ප්‍රතිධ්වනි හරහා මුහුදේ ඉතා ආරක්‍ෂාකාරී දිවි පෙවෙතක් පවත්වා ගැනීමට ඔවුන් සමත්කමක් දක්වනවා” ආචාර්ය බ්‍රයන් සිය අධ්‍යයනය හරහා එක්රැස් කරගත් තොරතුරු අනුව එසේ ප්‍රකාශ කරයි. ඩොල්ෆින් මසුන්ගේ ආරක්‍ෂාකාරී දිවි පෙවෙතට වඩාත් රුකුලක් වී ඇත්තේ ඔවුන්ගේ නිදාගැනීමේ රටාව බව මේ විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. වරෙක මොළයේ එක් අර්ධයකට පමණක් නින්ද ලබා දෙමින් වටාපිටාව පිළිබඳ අවධියෙන් සිටීම මගින් තමන්ට මුහුණදීමට වන අනතුරු වළක්වා ගැනීමට ඩොල්ෆින් මසුන් සමත්ය. මෙලෙස මොළයේ එක් අර්ධයකට පමණක් නින්ද ලබා දීමේදී ඩොල්ෆින් මසුන් එක් ඇසක් අවදියෙන් තබාගන්නා බව විද්‍යාඥයින් කියයි. ඒ මගින් අවට ලෝකය නිරීක්‍ෂණය කිරීමටත්, අවශ්‍ය අවස්ථාවලදී පූර්ණ නින්දකට නොවැටී ආරක්‍ෂාකාරී වීමටත් ඩොල්ෆින් මසුන්ට හැකියාව ලැබී තිබේ. විශේෂත්වය වන්නේ එවැනි අර්ධ නින්දක් පමණක් ලබා ගනිමින් දින 15 කටත් වැඩි කාලයක් අවධියෙන් සිටීමේ ඇති හැකියාව මෙවර පර්යේෂණයේ දී අනාවරණය කර ගැනීමයි.

මුහුදේ වෙසෙන ක්ෂිරපායි සත්ව විශේෂයක් ලෙස විටින් විට ජලය මතුපිටට පැමිණ ශ්වසනය කිරීම ඩොල්ෆින් මසුන්ට අත්‍යවශ්‍යය. අර්ධ නින්දක් මගින් මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමටත් මෝරුන් වැනි තර්ජන එල්ල කරන මසුන්ගෙන් ආරක්‍ෂා වීමටත් ඩොල්ෆින් මසුන්ට හැකියාවක් ලැබෙන බව විද්‍යාඥයෝ කියති. පර්යේෂණයේදී අනාවරණය වී ඇති තවත් කරුණක් වන්නේ අඩ නින්දේ සිටිමින් වුවද ලබාදෙන ඉලක්කයන් සොයා ගැනීමට මේ අපූරු සත්ව විශේෂය දක්වන සමත්කමයි. දත්ත හසුකර ගැනීමට සහ ස්ථාන හඳුනාගැනීමට ඩොල්ෆින් මසුන් යොදා ගන්නේ තරංග නිකුත් කිරීමේ ක්‍රමවේදයයි. එය ඩොල්ෆින් කණ්ඩායම් අතර, සන්නිවේදන මාධ්‍යයක් ලෙස ද විද්‍යාඥයන් හඳුන්වා දෙයි. ප්‍රහාරකයින්ගේ ගැලවීම සඳහා ඩොල්ෆින් සතු ප්‍රබලම ආයුධයක් ලෙස මේ හැකියාව විද්‍යාඥයන් හඳුන්වා දුන්නද මෝරුන්ගේ ප්‍රහාරවලට ලක්වූ ඩොල්ෆින් මසුන් පිළිබඳ නිරන්තර වාර්තා ලැබෙන බව ද ඔවුන් ප්‍රකාශ කරයි. කෙසේ වුවත් විද්‍යාඥයින්ගේ අර්ථකථනයට අනුව ඩොල්ෆින් මසුන්ගේ ප්‍රතිධ්වනි සන්නිවේදන ක්‍රියාවලිය අතිශයින් තියුණු ය.

“මනුෂ්‍යයන් වශයෙන් බලන කල ඩොල්ෆින් සත්ව විශේෂය සතු මේ හැකියාව ඉතා පුදුම සහගතයි. එහෙත් ඩොල්ෆින් මසුන්ගේ පැත්තෙන් නම් එහෙම කියන්න බැහැ. මන්ද මෙවැනි තියුණු ප්‍රතිධ්වනි ක්‍රියාවලියක් නොතිබුණ හොත් ඩොල්ෆින් මසුන් මුහුදේ අනෙකුත් මසුන්ගේ නිරන්තර ගොදුරු බවට පත්වනවා. එවැනි තත්ත්වයන්ගෙන් මිදීම සඳහා මේ ප්‍රතිධ්වනි ක්‍රියාවලිය ඩොල්ෆින් මත්ස්‍යයාට වැදගත්. ඒ වගේම ඩොල්ෆින් මසුන් ගොඩබිම වාසය කරන අනෙකුත් සත්ව විශේෂ වගේ පූර්ණ නින්දක් දිගු කාලීනව ලබා ගත්තොත් දිය මතුපිටට පැමිණ ශ්වසනය කිරීමේ ක්‍රියාවලිය නතර වීමෙන් ගිලී යා හැකියි. ඒ නිසා අඩ නින්දේ පසුවීමේ ක්‍රියාවලිය ඔවුන්ට වැදගත්” වශයෙන් විද්‍යාඥයින් පිරිස සිය අධ්‍යයනයන් පිළිබඳ තැබූ වාර්තා අතර සටහන් කර තිබේ. කෙසේ වෙතත් ඩොල්ෆින් මසුන් පූර්ණ නින්දක් ලබන අවස්ථා තිබේ. එවැනි අවස්ථාවලදී ඩොල්ෆින් මත්ස්‍යයා ජලය මතුපිටට පැමිණ දෑසම පියා නින්දට යන අතර ගිලීයාම වළක්වා ගැනීම සඳහා වරල් ගසා සමබරතාව රැකගැනීමේ ක්‍රියාවලියක් එවැනි අවස්ථාවලදී අනුගමනය කරයි.

ඉතා බුද්ධිමත් සත්ත්ව කොට්ඨාසයක් ලෙසින් සලකන ඩොල්ෆින් මසුන් පිළිබඳ සැන්ඩියෝගෝ ජාතික සමුද්‍ර ක්ෂිරපායි පදනම මීට පෙර අවස්ථාවකදී තවත් අනාවරණයක් සිදුකර තිබිණි. එනම් මුහුදේ වෙසෙන මේ සත්ව විශේෂයට ද දියවැඩියා තත්ත්වයක් වැළෙඳෙන බවයි. ඒ අනුව මිනිසාට මෙන්ම ඩොල්ෆින් මසුන්ට පොදු රෝග තත්ත්වයක් වී තිබෙන දියවැඩියාව සහ ඩොල්ෆින් මසුන් ඉන් මුදාගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරියේදී අවධානය යොමුවනු ඇත.

ද ටෙලිග්‍රාෆ් ඇසුරෙනි