සත්තයි ඔබ කවියක් මට

සත්තයි ඔබ කවියක් මට

අපව හැඩගන්වන්නේ හා හැඩගස්වන්නේ අප ආදරය කරන දෙයිනි.”

- ජොහාන් වොල්ෆැන්ග් වොන් ගොතේ

දෙවැනි ලෝක යුද්ධයට පෙර, මා සහ මගේ සැමියා පෙන්සිල්වේනියාවේ ආඩ්මෝර් හි ජීවත් වූයේ මසකට ඩොලර් පනහක් ගෙවිය යුතු වූ තට්ටු නිවාසයක ය. මෙය දළ වශයෙන් මගේ සැමියාගේ මාසික වැටුපෙන් අර්ධයක් පමණ විය. අධික නිවාස වියදම හේතුවෙන් අපට ගුවන් විදුලියක් හෝ මිලදී ගත හැකි නොවීය. එහෙත් අපි ආදායම කළමනාකරණය කර ගතිමු. අපේ දරුවන් දෙදෙනා ගේ පාසල් ගාස්තු හිඟයකින් තොරව ගෙවීමට එයින් හැකි විය. ඉඳහිට, සැමියාගේ අධික පෙලඹවීම මත අපි චිත්‍රපටයක් නැරැඹීම සඳහා ගියෙමු.

එහෙත් ඒ අසීරු වර්ෂයන්හිදී අප සතුටින් සිටි බව මට ඉඳුරා කිව හැකිය. හිරු එළිය පෙරී එන උණුසුම් දිනයන්හිදී මම දරුවන් ව සැහැල්ලු බගී කැන්වස් රථයක දමාගෙන උද්‍යානයේ ඒ මේ අත ගෙන ගියෙමි. පහේ සිට දහයට ගනිමින් සිත පාලනය කර ගත්තෙමි. රැකියාවකැයි කිව නොහැකි මේ රැකියාවෙන් මට උපයා ගත හැකි වූ එකම දෙය, ශත පහළොවක් වටිනා බිත්තර රඳවනයක් පමණි. මම වෙළෙඳසැලට ගොස් එය අතට ගෙන බලමි. ඇතැම් අවස්ථාවලදී, සෑම කෝණයකින් ම එය පිරික්සා බලා, නැවැතත් කවුන්ටරයෙන් ආපසු තබමි. එහි අරුත වන්නේ මා සතුව වැය කිරීමට ශත පහළොවක හෝ වත්කමක් නොමැති බවයි. ඔබට පුදුමයක් දැයි මම නොදනිමි. එහෙත් මට අසතුටක් නොදැනුණි.

අප දුක්වෙමින් පීඩාකාරී ජීවිතයක් ගත කළේ ද නැත. අපි ඇත්තෙන්ම සතුටු වීමු. බොහෝ විට ම ඒ, එකිනෙකා සමඟ සංවාදයේ යෙදීමෙනි. නැතිනම් අනිවාර්යයෙන් ම දරුවන් වෙනුවෙන් නිවෙසට ගෙන එන දීප්තිමත් රතු පැහැ ඇපල්වලින් එකිනෙකාට පහර දී ගනිමිනි.

එහෙත් අප දුප්පත් බව මගේ සැමියා ගේ හදවතට ම දැනුණු අවස්ථාවක් ද තිබිණි. එය නම්, ගර්භිණී සමයේදී මා විසින් අඳින ලද ඇඳුම් ය. එය ඇත්තෙන්ම අයත් වූයේ මගේ වැඩිමහල් සහෝදරියක හට ය. ඈ මට වඩා මහත අයකු වූයෙන් මගේ ගැබිනි ගවොම එල්ලා වැටිණි. දිවා කාලයේදී රැපරවුන්ඩ් ගවොමකින් සැරසී සිටි මම සවස් භාගය වන විට නැවැතත් අර ගවොම ම ඇන්දෙමි.

අප මුලින් ම මුණගැසුණු දා රාත්‍රියේ, මා නෝර්මා ෂියරර් වැනි යැයි මගේ සැමියා මට කියා තිබිණි. නෝර්මා ෂියරර් 1920 – 30 දශකවල උතුරු අමෙරිකාවේ වැජඹුණු සුන්දරතම කැනේඩියානු නිළි තරුව වූවාය. මා ද එකල හිස පීරා සිටියේ ඇය මෙන්ම තද කළු පැහැති කෙස් කළඹ පැත්තකට වන්නට පීරා දමමිනි. එහෙත් නිසැක වශයෙන් ම කාලයත් සමඟ මගේ ඒ ලකුණු පවා ඉවත් ව යන්නට ඇතැයි මම සිතමි.

එක් සැඳෑවක, ඇඳුම් සාප්පුවක විකිණීමට තබා තිබූ සුන්දර ගවොමක් ගැන මගේ සැමියා මට කීය. එය දුටු විට ඔහුගේ සිත පොපියන්නට පටන් ගෙන තිබිණි. “මට ඒක ඔයාට අරන් දෙන්න ම ඕනෙ වුණා” ඔහු තැවුලෙන් යුතු ව කීය. “ඒක ඇන්ද නම් ඔයා අර නෝර්මා ෂියරර් වගේ ම තමයි...”

මෙබඳු අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් මම එවිට දුක නිකමටවත් නොපෙන්වා සිටීමට වෙහෙසෙමි. “ඒත් මම ඕක කොහෙට අඳින්නද පැටියො...” යැයි මම කීවෙමි. “චුට්ටක් හිතන්නකෝ...”

එහෙත් දරුවන් සමඟ ඇවිදීම ට යන විට මට ද ඒ දෙස නොබලා සිටීමට අපහසු විය. එය අතිශයින් මන බඳනාසුලු ගවොමකි. පැස්ටල් දියමන්තිවලින් වැඩ දමා තිබිණි. රිදීමුවා මිරිවැඩි සඟලක් පැලඳ සිටි අනුරුවක් විසින් අත්‍යාලංකාර ගවොම බදා වැලඳ ගෙන තිබිණි. කළු විල්ලුද පටියක් ඇගේ ළපැත්ත වෙත විහිදී තිබිණි. එය මා අඳින වර්ගයේ එකක් නොවීය. එහෙත් කාන්තාවක් සිහිනෙන් පවා ඇඳීමට ආශා කරන වර්ගයේ ගවොමකි. එය අතිශය සුන්දර එම විලාසිතාව ඕනෑම යුගයක – අදින් අවුරුදු පනහකට පසුව පවා ඇඳීමට සුදුසු වන තරමට ශෝභන එකකි. එහි මිල ඩොලර් විස්සක් විය.

අපට දරාගත නොහැකි සහ ඉසිලිය නොහැකි සුඛෝපභෝගී ජීවිතයක් ගැන කල්පනාවේ නොගැලෙන්නැයි මම සැමියාට කීවෙමි. මට ඩොලර් විස්සක් තිබිණි නම් මම අපි සියල්ලන්ට ම අලුත් පාවහන් මිලදී ගනිමි. මේ වේලාවේ අපට වඩාත් ම අවශ්‍යව තිබුණේ එයයි.

එහෙත් දිනක් රටහුණු කැබැල්ලක් සොයමින් සිටින අතර මට සැබෑවට ම ඩොලර් විස්සක් හමුවිය. මේ ඇස් අදහා ගත නොහැකි සොයාගැනීම ඇත්තෙන් ම මට සිදුවූ දැවැන්ත අමතක වීමක් විය. පසුගිය නත්තලේදී මගේ සැමියාගේ සමාගම විසින් අනපේක්‍ෂිත බෝනස් මුදලක් ඔහු ට ලබා දී තිබිණි. එය නම් සතියක අමතර වැටුපක් හෙවත් අමතර ඩොලර් විසි හතකි. මේ අනපේක්‍ෂිත වාසනාවෙන් ප්‍රමුදිත වූ අපි එහි සතුට සැමරීම සඳහා ඩොලර් හතක් වැයකර කූනිස්සන් සලාද සහිත රසවත් වයින් සාදයක් පැවැත්වීමු. ඉතිරි ඩොලර් විස්ස අප පෙට්ටියක දමා ඇඳුම් ලාච්චුවක බහාලුයේ හදිසියකදී ගන්නා බලාපොරොත්තුවෙනි. අපට එවැනි හදිසියක් ද ඇති නොවූයෙන් එය සහමුලින් ම අමතක ව ගියේය.

අපට ඇත්තෙන් ම එතරම් විශාල මුදලක් අමතක වූයේ කෙසේද? එය එසේ වූයේ අප අතිශය සීමා සහිත අයවැයක ට හුරු වී සිටි නිසා ය. සැමියා නිවෙසට පැමිණි විට අපි මේ අමතක වීම ගැන ඇති පදම් සිනාසුණෙමු. ඉන්පසු ලා කොළ පැහැති කඩදාසි කැබැල්ලේ මුදල් ඔතා නැවත එය තිබූ තැනින් ම තැබුවෙමු.

පසුදින වැසි දිනයක් වූයෙන් මම රැකියාවට නොගියෙමි. එදා රාත්‍රියේ මගේ සැමියා විසල් පෙට්ටියක් අත දරාගෙන මා සමීපයට ආවේය. අපි වදන් අහිමි ව මොහොතක් බලා සිටියෙමු. ඔහු කිසිත් නොදොඩා එය නිදන කාමරයෙන් තැබුවේ ය. අපි නිහඬව රාත්‍රී ආහාරය ගතිමු. දරුවන් නින්දට යැවූ පසු ඔහු නොඉවසිල්ලෙන් මෙසේ කීවේය. “පැටියො.. ගිහින් අරක ඇඳගෙන ඉන්න... ප්ලීස්...”

මම නිදන කාමරයට ගියෙමි. ඇඳුම හැඳ ගතිමි. ඔව්... මා නෝර්මා ෂියර් ම සේ දිස්වෙයි. මම ඇස් අදහා ගත නොහැකි ව කැඩපත දෙස බැලීමි. ඔව්... ඒ ගවොම මගේ විය යුතු ව තිබූ එකකි. මගේ සිත පිරී ගොස් ඇත්තේ අනපේක්‍ෂිත ත්‍යාගය ලද සතුටින් නොවේ. ඒ ගවොම අපේ සන්තුෂ්ටියේ සංකේතයක් වූ නිසා ය. අපි දෙදෙනාගෙන් කිසිවෙක් අප ඉතිරි කර තිබූ මුදල් අනපේක්‍ෂිත දෙයකට වැය කිරීමට සිදුවීම පිළිබඳ වදනකුදු කතා නොකළෙමු. අසීරු සමයන් දැන් අවසන් ය. එහෙත් අර කී සුන්දර ගවොම අපේ අසීරු සමයන් හි සදාකාලික සහ අමරණීය ආදරබර සංකේතයකි.

චිකන් සුප් ඇසුරිනි