ගෙදරට ඇවිදින් ටියුෂන් දෙන ෂෝක් කොල්ලෙක්
ගෙදරට ඇවිදින් ටියුෂන් දෙන ෂෝක් කොල්ලෙක්
අනුරාධ මීගස්තැන්න... ඒ තමයි සුභද්‍රා නෝනා මට පාඩම් දෙන්න ගෙනාපු මහත්තයා. ඒකට
කියන්නේ හෝම් ස්කූලින් ද මොකක් දෝ ලු. අනේ මන්දා ඒවා නම්. කොහොම හරි ඒ මහත්තයා
ගෙදරට ඇවිල්ලා මට උගන්නනවා කියලා තමයි සුභද්‍රා නෝනා කීවේ.
අනුරාධ මහත්තයව හොයාගෙන මෙහෙට උස්සන් ආවේ ශාස්ත්‍රීගේ අම්මා. ශාස්ත්‍රීටත් කාලයක්
අනුරාධ මහත්තයා ඉගැන්නුවාලු ගෙදරට ඇවිදින්.
"ඔන්න සින්ඩි, අපේ අම්මා ඔයාට හැන්ඩ්සම් කොල්ලෙක් ගෙනවිත් දෙන්න යන්නේ.."
ශාස්ත්‍රී ඇවිදින් එකපාර එහෙම කිව්වාම මන් බය වුණ තරමක්... වික්ටෝරියා ප්ලේස් එකට
වෙලා මගේ පාඩුවේ ඉන්න මට හදිසියේ කොල්ලෙක් මොකටය කියලා හිතෙනෝ නේ කාට වුණත්.
" මොන කොල්ලෙක් "
" ඔව් ඔව් කොල්ලෙක්.. තාම නම් අවුරුදු 28, 29ක් විතර වයස... නම අනුරාධ... ගමේ
කොල්ලෙක් නම් නෙවෙයි කොළඹ කොල්ලෙක්... "
" ටියුෂන් ?? "
සුභද්‍රා නෝනාගේ තනියට ගෙදරට වෙලා ඉන්න මට අහවල් දේකටද ටියුෂන්...?
" අයියෝ ශාස්ත්‍රී ඔයා අපේ සින්ඩිව බය කරනවා බොරුවට… මේ අහන්නකො සින්ඩි… ඔයාට
ස්කෝලේ යන්න බැරි නිසා ගෙදරට ගුරුවරයෙක් ගෙන්නලා උගන්නමු කියලා සුභද්‍රා ඇන්ටි
තීරණය කරලා තියෙනවා. ඉතින් අනුරාධ සර් ඔයාට ගෙදරට ඇවිල්ලා උගන්නලා යාවි. ඔයාට
අකැමැති වෙන්නවත් බය වෙන්නවත් හේතුවක් නැහැ දරුවෝ... "
ඒ වෙලාවේ... වෙලාවට යශෝදරා නෝනා එතැනට ඇවිදින් කරුණු කාරණා පැහැදිලි කරත්.. ඒත් මොන
එහෙකටද මට ටියුෂන්?
අනික මං ටියුෂන් අරගෙන දොස්තර විභාගේ පාස් කරන්න යෑ. ගෙදරට වෙලා තනි නොතනියට
ඉන්නැයි වත්තේ පිටියේ වැඩක් කරන්නයි මොකට ද ටියුෂන්?
ඒත් ඉතින් ඒවාට මම මක් කියන්නද? සුභද්‍රා නෝනාගේ තීරණ නොවැ? මේ පාර මාග්‍රට්
නැන්දාත් මොකුත් ම කියන්නේ නැහැ. ඔය කියන අනුරාධ සර් මහත්තයා එනකම් ම උන්දෑත් දතකට
පියාගෙන ඉන්නෝද කොහෙද.
මාග්‍රට් නැන්දා මොකුත් ම නොකිව්වාට යශෝදරා නෝනා නම් මෙහෙම කිව්වා.
" ඔන්න සින්ඩි... අනුරාධ මෙහෙට ඇවිල්ලා ගිය ගමන් ම මාග්‍රට් නැන්දා මෙහෙම
නොකිව්වොත් මෙන්න මගේ කන"
"අනේ මන්දා... මේ ඇහැට කනට පේන ගෑනු දැරිවියෝ ඉන්න ගෙයක් අස්සට ටියුෂන් දෙන්න නෙවේ
මක්කට හරි අර වගේ ඉලන්දාරි ගේන්න තරම් අපේ නෝනේට මක්ක වෙලාද? විකා...ර. ශාස්ත්‍රී
නෝනේගේ අම්මාට මොළේ හොඳ නෑ. අපේ නෝනේවත් රවට්ට ගන්නවා. දැන් ඉතින් අර
නැට්ටුක්කාරීත් කැරකි කැරකි ඉදිවී. කොළඹ හතේ නෝනලාගේ මලසමයං... "
යශෝදරා නෝනා ඒක කිව්ව විදියට මටත් ශාස්ත්‍රීටත් හොඳටෝම හිනා..
" කවුද දැන් නැට්ටුක්කාරී? "
ශාස්ත්‍රී හිනාව අස්සෙන් ම ඇහුවා...
" වෙන කවුද ඉතින් මම මිසක්… යශෝදරා දේවි ආරියරත්න.. "
යශෝදරා නෝනා කිව්වෙත් හිනා වේවීමයි. යශෝදරා නෝනාට එච්චර ලස්සන නමක් තියෙනෝ කියලා
නම් මන් දැනන් උන්නේ නැහැ මෙච්චර දාසක්.
" යශෝදරා දේවි ආරියරත්න… හරිම අපූරු නමක්"
ශාස්ත්‍රීත් කිව්වේ ආසාවෙන්.
" අපේ අප්පච්චි තමා නම දැම්මේ "
"ඒ කියන්නේ යශෝදරා අක්කිගේ අප්පච්චිට ලස්සන නම් දාන්න පුළුවන්. නේද සින්ඩි?"
"හ්ම්ම්ම්… ඔව්. ඒක තමයි. "
මම එහෙම කියද්දී මට මතක් වුණේ අපේ අප්පා. මයේ නම තියලා තියෙන්නේ නම් අම්මා. ඒත් ඒ
අප්පා දාන්න උන්නු නමක්ය කියලයි ඒ දවස්වල පාති නම් කිවේ. පාති කියන්නේ මයේ අම්මාගේ
අම්මා. එයායිගේ නම සෙල්ලම්මා. සෙල්ලම්මා කවදාවත් අප්පාට බැන්නේ ම නෑ. එයැයි කියන්නේ
ම මයේ අම්මගේ වැරැද්ද කියලා. අනේ මන්දා... ඒ කොහොම වුණත් මට නමකුත් හිතන්න තරම්
අප්පා ආදරේ වුණා නම් මාව හම්බුවෙන්න ඉන්නෝ කියලා දැනගත්තු ගමන් ඒම යාවි යෑ.
"සින්ඩරෙල්ලා ඇන්ඩර්සන්. "
සින්ඩරෙල්ලා කියන්නේ නම් කවුදෝ කුමාරියක්ලු. ඇන්ඩර්සන් කියන්නේ අප්පාගේ නමලු. අනේ
මන්දා... හැරී ඇන්ඩර්සන්. ඒ තමයි අපේ පාති කීව විදියට මයේ අප්පාගේ නම.
" හැරී ඇන්ඩර්සන්… සින්ඩරෙල්ලා ඇන්ඩර්සන්… ලෙච්චමී සිරිනිවාසන්..."
" මොකෝ සින්ඩි… මොනවා ද තනියම කියවන්නේ? "
ශාස්ත්‍රී එහෙම අහද්දී මට තේරුනේ මම සෑහෙන්න වෙලා කල්පනා කොරලා කියලා...
" මොකුත් නෑ. මන් යනෝ මාග්‍රට් නැන්දා බලන්න."
මම එහෙම කියලා හෙමිහිට කුස්සිය පැත්තට ගෑටුවා. යශෝදරා නෝනාගේ අප්පා දැන් කොයිද
දන්නේ නැහැ. ඒත් යශෝදරා නෝනා එයාව දැකලා හරි තියෙනො නේ. ඒත් මයේ අප්පාට මාව මතක්
වෙන්නේවත් නැත්තේ ඇයි? හරි පුදුමයි.
එක අතකින් අප්පා කියලා කට්ටියක් මොකට මේ ලෝකේ ඉන්නවද දන්නේ නැහැ. පිරිමි පුළුටක්වත්
නැතිව අපි ගෑනු කට්ටිය අපූරුවට මේ ගෙදර ඉන්නෝ නේ. දෙයියෝ මොකට අප්පාලව මේ ලෝකේට
එව්වාද?
සමහර විට උන්නැහේටත් දැන් ඒම ම හිතෙනෝ ඇති. මම මොකට පිරිමි කොටහක් මැව්වා ද කියලා.
ඒත් උන්නැහේත් පිරිමියෙක් එහෙම බැලුවොත්. අනේ මන්දා... කොහේ බැලුවත් වංචාකාර
පිරිමියි වැඩකට නැති අප්පාලයි.
"අපූ මුරුගා... ඔයයිට වුණත් ඔයිට වැඩිය හිතන්ට තිබ්බා. "
Text - අරුණි කළුපහන
[email protected]
|