සියල්ල අලුත් කරන්න අපට පුළුවන්

සියල්ල අලුත් කරන්න අපට පුළුවන්

අපි එකිනෙකා කෙරෙහි ගෞරව කරන්නේ කොහොමද කියලා ඉගෙන ගැනීම තමයි, අපේ සබඳතාවල - relationships - රිලේෂ්න්ෂිප්ස් - ද්විත්ව ශක්තීන් එක් කරන හරය. අපි අපට ම ප්‍රතිචාර දැක්වීම; එහෙම නැත්නම් අපට ම - අපට උත්තර දීමට සිදුවීම විසින් තමයි බාහිර අභියෝගවලට අප මුහුණ දෙන අන්දම තීන්දු කරන්නෙ. මිනිසුන් එක්ක අපට තියෙන හැම ආකාරයේ ම සම්බන්ධකම්වලට අමතරව, ඉතාමත් නිරෝගී - කැත කුණු නැති - ආදරණීය සම්බන්ධතාවක් අප, අප සමඟ ම ඇති කරගන්න ඕන.

තමන් එක්ක මේ කියන විදිහෙ යාළුකමක් නැති වුණ හැම වෙලාවක ම ප්‍රාණික් වැනසිලා තියෙනවා. තමන්ට ගෞරව කරන්නෙ කොහොමද කියලා ප්‍රාණික් දැනගත්තට පස්සෙ, බාහිර අභියෝග කියන්නෙ යෝගට් එකක් කනවා වගේ සිම්පල් වැඩක්.

අපි දැන් ඉන්නෙ ආත්මික බුද්ධි බලය පිළිබඳ පාඨමාලාවෙ හතර වැනි සැසියෙ දෙවන සාකච්ඡාවෙ. මෙහි දී ඔබට දෙන උතුම් තෑග්ග තමයි, සුබ අලුත් ප්‍රවෘත්තිය. මේ නිවුස් එක කොච්චර සුබ වුණත් අලුත් වුණත් බොහෝ දෙනෙකුට අන්ත දුෂ්කර තෑග්ගක් වෙන්න බැරිත් නෑ.

අපි දන්නවනෙ හතර වැනි සැසිය නම් කරලා තියෙන්නේ Compassion කියලා - ඒ නිසා ප්‍රාණික්ගෙ සුබ ප්‍රවෘත්තිය තමයි ඔබ ඔබට ම දයානුකම්පාසහගත වෙන්න ඕන කියන එක. තමන්ට තමන් අනුකම්පා විරහිත නම්, එහෙම කෙනෙක් තමන්ට ම ගෞරවයක් දෙන්න කොහෙත්ම දන්නෙ නෑ. තමන් ගැන සැලකිලිමත් නෑ. තමන් වෙනුවෙන් කැප වෙන්නෙ නෑ. තමන්ට උපකාරීවන වගකීම් බාරගන්නෙ නෑ.

මෙහෙම අය තකතීරුවන් වෙනවා. මැට්ටන් වෙනවා. ගොඩයින් වෙනවා. බයියන් වෙනවා. අනෙක් අයට ඇණයක් නෙවෙයි, ඇණ සංස්ථාවක් වෙනවා. අනෙක් අයට විකිණෙනවා. අනෙක් අයගෙ උපකරණ විදිහට පාවිච්චි වෙනවා. අන්තිමේ දී අනුන් අත පිහපු කඩදාසි කෑල්ලක් වෙලා කුණු බක්කියට වැටෙනවා. ඊළඟට කුණු කාරයන්ගෙ කරපිටින් කුණු ලොරියට වැටෙනවා. කුණු ලොරියෙන් බාන්න යද්දිත්, අපට මේ ජරා කැත කුණු එපා කියලා මිනිස්සු උද්ඝෝෂණය කරනවා.........

මේ විදිහට මිනිස්සු එපා කියලා උද්ඝෝෂණය කරද්දි තමා, ප්‍රාණික්ට ආත්මික බුද්ධි බලයෙ මහිමය ඒත්තු ගියේ. එහෙම නැතුව තාරුණ්‍යයට මනෝවිද්‍යාව කියලා ඔබට මේ ලියන්නෙ කැම්පස්වලදි විභාගයට කටපාඩම් කරපු පරණ නෝට්ස් නෙවෙයි.

"දහම්" කියන්නෙ පිස්සු ම පිස්සු කෙළපු ප්‍රාණික්ගෙ සෙට් එකෙ දළඹුවෙක් නෙවෙයි; එළ බුවෙක්. මල් - වල් වැඩ වගේ ම කලාව - දේශපාලනය - ආගම, දර්ශනය, මනෝවිද්‍යාව වගේ දේවල් ගැනත් උනන්දු කෙනෙක්. කාලය තමයි කැම්පස් එකෙන් පාස් අවුට් වෙලා නන්නත්තාර වෙවී ඉන්න දවස්.

දහම් දවසක් හැන්දෑවෙ නුගේගොඩ අපි වළබහින තැනට එනකොට හිටියෙ ප්‍රාණික් විතරයි. උගේ මූණේ වෙනදා වගේ මල්සරා හිටියෙ නෑ. අඤ්ඤකොරොස් ගතියක් වගේ ප්‍රාණික්ට දැනුනා. හැබැයි දහම්ට සෙට් එකේ අනික් අයට තරම් ජරමර තිබ්බෙ නෑ. පවුලෙ අයත් අවුල් නෑ. කිතුනු ආගමික පරිසරය රකින ගමන්ම වළබහින එකත් අවුලක් නොකරගෙන සමාන්තරව ගෙනියන්න දහම්ට පුළුවන් වුණා.

"මචංලා උඹට මොනවා හරි මේ දවස්වල වුවමනාවක් තියෙනවද?" දහම් ප්‍රාණික්ගෙන් ඇහැව්වා. ඇත්තට ම ප්‍රාණික්ට ඒ දවස්වල තද අවශ්‍යතාවක් තිබුණෙ අලුත් මේස් කුට්ටමක්. පරණ දෙකේ විලිඹුව ඉරිලා ගොඩක් කල්. අනෙක් එක තමා, සමකාලීන ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී ඇති ඉංග්‍රීසි බයිබලයක්. The Bible in Today’s English Verson. මොකද ෂේක්ස්පියර් යුගයෙ ඉංග්‍රීසිවලින් බයිබලය කියවන එක හරි ම වාතයක්. විශේෂයෙන් ම බෞද්ධ පසුබිමක් ඇති කෙනෙකුට. ප්‍රාණික් මේස් දෙක ගැන දහම්ට කියන්න ගියෙ නෑ. ඌත් කීයක් හරි කපා ගන්නෙ ගෙදරින්. ඒත් ඉංග්‍රීසි බයිබලය ගැන කිව්වා. දහම් එදා හවස ම ඒ බලාපොරොත්තුව අකුරට ම ඉෂ්ඨ කළා.

එදා අපි දෙන්නා සමුගත්තෙ බොහොම සංවේදීව. දහම් ගිහි ගෙය ඇරලා යන්න තීරණය කරලා. ඔහු දැන් කිතුනු දේවස්ථානයක ප්‍රධාන දේවගැතිවරයා.

තමන් තමන්ට ම හොඳ සබඳතාවක් තිබිය යුතුයි කියන අදහස ප්‍රාණික්ට එන හැම මොහොතෙ ම මතක් වෙන එක ම පුද්ගලයා ප්‍රාණික්මයි. අන් අය හා සබඳතාවල දී, දහම් නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. දැන් ආයෙත් යං කුණු කන්දටත් එපා කරපු ප්‍රාණික්ට නැගිටින්න... දළඹුවා - හොඳ බුවා කරපු වදන් වැලකට. එදා දහම් තෑගි දුන්න බයිබලයෙ එක් තැනක තිබුණු දළඹුවා හා සමනලයා ගැන අදහස, මතකයෙ හැටියට ප්‍රාණික් මෙහෙම සිංහලයට පෙරලන්නම්.

"කැත අප්‍රසන්න දළඹුවා - මෙන්න ලස්සන සමනලයෙක් වී ඉගිල යනවා පරණ දේ පහව ගොස් ඇත. සියල්ල අලුත් වී තිබේ." ඔව්, සියල්ල අලුත් කරන්න අපට පුළුවන්; අතීතය කොතරම් අප්‍රසන්න වුණත්. හැබැයි පරණ දේ පහව යන්න ඉඩ දෙන්න ඕන. ගෑවුනත් අතපය කසන දළඔුවගෙ හැව ඇරියෙ නැත්නම් කවදාවත් එයාට ලස්සන සමනලයෙක් විදිහට මල්ගොමු අතර නිදහසේ ඉගිලෙන්න බෑ.