සිංහලකම මො‍‍ඩන් වී ඇත

සිංහලකම මො‍‍ඩන් වී ඇත

සිංහල යන්න අපේ රටේ ඉස්සර පටන්ම අමරණීය වූ වදනක් බැව් ඔබ අප සියල්ලෝම දන්නෙමු.නමුත් වචනයට පමණක් සීමා වූ එහිවන අමරණීය බව ඉදිරියේ මැරි මැරී ජීවත් වෙන සිංහල කම හැරුණු කොට අන් සියලුම සමාජ ප්‍රශ්න අද කතා බහට ලක් වන බව සැබෑවක් නොවන්නේද.හෙට අනිද්දා වන විට සිංහලයාට වන වැද්දා පමණක් සීමා වන්නටද ඉඩ ඇත.ශ්‍රී ලංකාවට පමණක් සීමා වී ඇති සිංහල භාෂාව අද වන විට ශ්‍රී ලංකාවේද අතළොස්සක් ජනතාවට සීමා වෙමින් පවතී.බැලූ බැල්මට සිංහල කම අගයන්නට විවාහය පමණක් උඩරට ක්‍රමයට මූලිකත්වය දෙමින් සිදු කරන බොහොමයක් සිංහල ජනතාව විවාහයට ද අඳින්නේ මොඩර්න් කැන්ඩියන් එකය.සිංහල කම මොඩර්න් වී ඇත.භාෂාව ද පොශ් වී ඇත.සිංහලකමට ගන්නා විවාහය ද අවසන් වන්නේ වයින් වීදුරුවෙන් ය.වැල යන අතට මැස්ස ගහන අහිංසක සිංහලයාට ද පෙනෙන්නේ බෙල්ල හැරෙන පැත්ත පමණි.කෙසේ හෝ සිංහල පමණක් දන්නා තැනැත්තා ගොඩේ ලෙසට අද වන විට පත් වී ඇත.හුදෙක් සිය රටේ අතීතය ගැනවත් නොදන්නා සිංහලයා හෙට වන විට ද හුස්ම ගනු ඇත.නමුත් ඒ නමට පමණි.පත්තර පිටුවකට, සඟරා පිටුවකට පමණක් සීමා වී ඔබත් මමත් කියවන මේ සිංහලකම පිළිබඳව කතාව ද හෙට වන විට කඩ්ඩෙන් ලියැවීමට බැරි කමක් නැත.ඒ සිංහල බැරි සිංහලයන්ට තේරුම් ගැනීමටය.කෙසේ හෝ මෙයට පිළියමක් සාකච්ඡා කළ යුතු නොවේ.

ඒ, මේ එයට කාලය නොවන නිසාය.පත්තර පිටුවකින් කතා කරන සාධාරණීකරණය කිරීම් සීමා වන්නේ පත්තර පිටුවටම පමණි.කෙසේ හෝ ඇත්ත නම්, සිංහලයා වඳ වෙමින් පවතී.ශ්‍රී ලංකාවේ වාසනාවකට ආදිවාසීන් තවමත් ජීවත්ව සිටී.නමුත් හෙට වන විට වන්නිල ඇත්තන්ද අන්තර්ජාලය ඔස්සේ සමාජය සම්බන්ධ කරගැනීමට ද බැරි කමක් නැත.උත්තරයක් නැති මෙම ගැටලුව අද ඊයේ පමණක් නොව, හෙට ද මේ ලෙසම කතාබහට ලක් වනු ඇත.

ඉපදෙන්නටත් පෙර සිටම දරුවාට ඉංග්‍රීසි පොවන අම්මලා තාත්තලාත්, සැරයටියෙනුත් ඉංග්‍රීසි පන්ති යන ඇන්ටිලාත්, හෙට දවස ගැන හීන මවන්නේ අමුතුම ආකාරයකට ය.ඒ අමුතුම ලොවක් ය.ඒ ලොව තුළ මනුස්සකම නැත.අසරණකමක් ද නැත.ඇත්තේ සල්ලි ය.ඊට පොඩ්ඩක් පහලින් උගත් කම තිබේ.එයින් එහාට ලොවක් ගැන හීන මවන්නට ද දැන් මිනිසා ශක්තිමත් නැත.හරි හතරැස් ෆැන්ටසියක සිංහලයා සිර වී ඇත.හිඟන්නෙකුට රුපියලක් දෙන පුද්ගලයා දෙස හීනි ඇස්වලින් බලා කඩ්ඩෙන් ලැජ්ජා කරන මන්දබුද්ධික මනුස්ස කොට්ඨාශයක් තුළ සමහර විට ඔබ ද හිතක් පපුවක් නැති සාමාජිකයකු වන්නට පුළුවන.කෙසේ හෝ සිංහල ප්‍රෞඩත්වය වැස්සට හේදෙන බොරලු ගොඩක් සේ කෙමෙන් කෙමෙන් ක්ෂය වී යමින් පවතී.නමුත් ඊට ගත හැකි පියවරක් ද නැති බැව් සත්‍යයකි.තම තමන්ගේ ප්‍රතිපත්ති නිසාවෙන් තම තමන්වම සාධාරණීකරණය කරගන්නා මනුස්සයා ඇත්ත වශයෙන්ම අහිංසකය.අමුතුම මානසිකත්වයකින් තමාගේ හෙට දවස ෆැන්ටසියක නිර්මාණය කරන ඔවුන්ට එහිදී ජාතිය යනු ඇත්තෙන්ම ගැටළුවක් නොවේ.තමන් හිසට එක එකාගේ අත් හෙවන නොවන බව හෙළයේ මහා පඬිවරුන්ම කීවේ කට කහනවාට නොවේ.ඒ අතින් බැලූ කල මිනිසා සාධාරණය.එහා ගෙදර පොඩි එකා ඉංග්‍රීසියෙක් දොඩවද්දී අපේ ගෙදර ළමයා මෙලෝ ඉංග්‍රීසි දැනුමක් නැති කෙනෙකු වනු දැකීමට ඕනෑම දෙමාපියකු අකමැතිය.මේ සා විවිධාකාර හේතු මත හණමිටි අදහස් අරඹයා ඉස්මතු වන නවතම කලවම් පලා මැල්ලුම එදා මෙදා තුළ සමාජයේ පෙරලා ඇති පිටුව එසේ මෙසේ එකක් නොවේ.සිය දරුවාට සිංහලකම ඉගැන්වීමට පෙර අතුරු පාරකින් රජ වන අයුරු කියා දීම අද පෙනෙන්නට ඇති කරුණකි.මානව හිතවාදී, එහෙත් අවසන් පණ පොදත් යමින් තිබෙන අතළොස්සක් වූ ජනතාවකගේ තාවකාලික හිත සුව පිණිස හෙට දවසටත් හුස්ම ගන්නේ යැයි කියන සිංහලය පිළිබඳව හිත නිවන කතා බොහෝය.පිහිටුවාගත් සංගම් ද බොහෝය.

ඒ කෙසේ වෙතත් එදා මෙදා තුර බැලූ කල තත්ත්වයේ ධනාත්මක වෙනසක් නම් දක්නට ලැබී නැති බැව් නොරහසකි.වර්තමාන තාරුණ්‍යයට සිංහල කම යනු නොදකින සිහිනයකි.අමුතුම ආකාරයේ සින්තටින් ලෝකයක අතරමං වී ෆැන්ටැසියේ සුව විඳින බහුතරයක් තරුණ පරපුර හා, පෙරහරක මෙන් ඔවුන් පසුපස යන නැඟී එන ළමා පරපුර සමඟ සිංහකම ගැන කතා කිරීම යනු විහිළුවකි.කෙසේ හෝ එය අවාසනාවට ඇත්ත කතාවකි.වර්තමානය වන විට බොහෝ දේ වෙනස්ව ගොස් ය.තම තමන්ට පොදු වූ වර්ණ ගැන්වුණු ලෝකවල මනුස්සකමත් සිංහල කමත් මංමුලා වී ඇත.සත්‍යය නම්, සිංහලයාට හෙට දවසක් තිබුණද, සිංහල කමට හුස්ම වැටෙන්නේ තව ටික කාලයක් බැව් නොවන්නේද.