ආදරණීය හිත් එකිනෙක බැඳුන ප්‍රේමයේ හැන්දෑව

ආදරණීය හිත් එකිනෙක බැඳුන ප්‍රේමයේ හැන්දෑව

මැවුම්කරුවාණන්ගේ ඊඩ්න් උයන ඇත්තේ ලොව කොතැනද කියා හොයන්නට පටන් ගත්තොත් සෑහෙන මතිමතාන්තර ඉදිරිපත් වේවි. පෙරදිග අහසේ පෑයූ පහන් තරුවකින් මඟ අසාගෙන මැවුම්කරුවාණන්ගේ පුතුණුවන් මෙලොව එළිය දුටුවද එයට බොහොමත් කාලයකට පෙර දවසක ලෝකය මවද්දී එතුමන් තම සුවිශේෂී ඊඩ්න් උයන නිර්මාණය කළ බවත් ලොව මැව් හය වෙනි දිනයේ දී පළමු මිනිහා මැව් බවත් බයිබලේ උප්පත්ති කතාවෙන් සදහන් කළ ද ඒ ඊඩ්න් උයන ඇත්තේ ලොව කොයි යම් තැනක දැයි සොයා ගත් කිසිවෙකු මෙලොව නැත. නමුත් පුරාවෘත්ත සේම විවිධ කතන්දර ද බොහොමයක් තියෙනවාය.

එයින් එක් කතාවක් වන්නේ දෙවිඳුන් මැව් ඊඩ්න් උයන නම් මුතු ඇටයක හැඩති ශ්‍රී ලංකාව මිස වෙන කිසිවක් නොවන බව යි. ශ්‍රී ලංකාව සුන්දරතවයෙන් අග තැම්පත් පාරාදිසියක් වන්නා සේම ආඩම්ගේ පුරාවෘත්ත හා බැඳි විවිධ ස්ථාන ද ඇති බව ඔබත් මමත් දන්නෙමු. ඒ කෙසේ නමුත් ඒ ලංකා තලයෙන් ම ආඩම්ගේ ඊවාගේ ආදරය සිහිපත් කළ අපූරු සංගීතමය හැන්දෑවක් සංවිධානය වන්නේත් ආදරයෙන් ඇමිණූ සොඳුරුතම ස්වර නාද තාල රැසක් අහසට නික්මෙන්නේත් පසුගිය පෙබරවාරි 11 වෙනිදා හවස ය.

ඒ ඊඩ්න් උයනේ ලා දම් හැන්දෑවේ දී.

නෙළුම් පොකුණ පරිශ්‍රයෙන් අහසට විහිදුන ඒ ආදරණීය සංගීතමය හැන්දෑව බෞතිස්ම කරපු නම එයයි.

නිර්මාණත්මක සිතුවිලිවලින් අග තැම්පත් හිත් කිහිපයක් එක් ව පණ දුන් මේ සංගීත හැන්දෑව කෙතරම් ආදරණීය වුණා දැයි එහි සපැමිණි පිරිස් සාක්ෂි දරනවා ද නිසැකයි.

නෆීස් කුමාරයාගේත් එකෝ කුමරියගේ ආදරයේ පුරාවෘත්තය ද ඈඳා ගනිමින් ආදරයේ සොඳුරුතම මතකයන් ස්පර්ශ කළ ඒ ඊඩ්න් උයනේ ලා දම් හැන්දෑවේ ඊවාගේත් ආඩම්ගේත් ආදරය ද පිරී ඉතිරී තිබුණ බව කාටත් දැනෙන්ට ඇති.

ආදරයෙන් අතිනත පටලන් ඇවිද ගිය ආඩම් සහ ඊවා මෙන් ම ආදරයේ වේදනාවන් දරා ගත නොහැකි ව මියැදුන නාෆිස් - එකෝ ද එතැනට ඇවිදින් ඉන්නට ඇති. පෙබරවාරි 11 වෙනි සෙනසුරාදා රාත්‍රී 7 ඉඳන් මැදියම් රැය ආසන්න වෙන තුරු ප්‍රේමයේ හැන්දෑවේ දී ආදරණීය හිත් නම් කියක් එකිනෙක බැඳෙන්නට ඇති ද. ප්‍රේමයේ මතක සිහිපත් ව කොපමණ හිත් වේදනාවන් වින්දනය කරන්නට ඇත් ද.

ඔබ එන්න.. ඔබේ ආදරණීය හිතත් එක්ක ඔබ එන්න.. එහෙමත් නැති නම් තනියම එන්න.. ඇවිදින් ඔබේ ආඩම් ව ඊවා ව හොයා ගන්න අපි කිව්වේ එහෙම.. අප ඔබට ආරාධනා කළේ එහෙම..

ඉතින් ඔබ ආදරයෙන් ඒ හැන්දෑව වින්දනය කළ බවත් ඒ ආදරයට අලුත් මතක එක් කර ගත් බවත් ඊඩ්න් උයනේ ලා දම් හැන්දෑවට අසීමිතව ආදරය කරන්නට පටන් ගත් බවත් ඔබ අපට කියූ දේවල් තුළින් අප දැන ගතිමු.

අතුල - සමිතා, රුකා - ලේඛා, කසුන් - උරේෂා, භාතිය - උමාරා , සන්තුෂ් - නිරෝෂාගේ සොඳුරු ස්වරයන් සේම සුරේෂ් මාලියද්දගේ මායම්කාර සංගීතයෙන් වර්ණවත් වූ ඒ හැන්දෑව නිර්මාණය කළේ 8 man team.. මේ දැවැන්ත කාර්යභාරය සාර්ථක කරගන්නට උර දුන් තවත් බොහෝ පිරිස් කියා නම් කළ නොහැකි තරම් හිටියා..

ඒ හැම කෙනෙක්ව ම වසරේ දැවැන්ත ම සංගීත හැන්දෑව වුණු ඊඩ්න් උයනේ ලා දම් හැන්දෑව සමඟින් එක්ව ආදරයේ හුස්ම ඇහිඳපු ආදරණීයයන් සිහිපත් කරනවා නිසැකයි.

ඉතින් තමන්ටත් වැඩියෙන් අනෙකාට ආදරය කරන්නට කියූ ආදරයේ ඒ සංගීතමය ප්‍රකාශනය පෙර දිග අහසින් ඉපිද මැදියම් රැයේ පෑල දිග අහසින් එදා නික්ම ගියේ ආයේත් දවසක ආඩම්ගේ ඊවගේ ආදරය නාෆිස්ගේ එකෝගේ ආදරය සේම තවත් ආදර කතන්දර රැසක් ලොවට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන්..

එතකම් ආදරණීය හිත් අතැතිව ආදරයෙන් බලා හිඳින්න.. අප ඔබට කියන්නේ එපමණයි..