රුවිත හාරත කලාබර ස්කෝප්ප එකට අනලා මැජික් දාන අරුන්

රුවිත හාරත කලාබර ස්කෝප්ප එකට අනලා මැජික් දාන අරුන්

හිතාගන්න බැරි විදිහට ඔයාගේ ඇස් ඉස්සරහා තියෙන දෙයක් මං අතුරුදහන් කරලා පෙන්නුවොත්... එහෙමත් නැත්නම් පුච්චලා අළු කරපු දෙයක් ආයෙමත් තිබුණු විදිහට ම අරන් පෙන්නුවොත්... ඔයාටත් නොදැනෙන්න ඔයාගෙ අතේ තියෙන දෙයක් මගේ අතට අරන් පෙන්නුවොත්... ඔයා මොකද කියන්නෙ? ආයෙ දෙකක් නෑ ඔයා කියයි මං මහා මැජික්කාරයෙක් කියලා නේද? මොකද ඇස් අදහාගන්න බැරි දේවලට අපි කියන්නෙ මැජික් කියලා. ඇත්තම කියනවා නම් මම නම් මැජික් කරන්න දන්නෙ නෑ. හැබැයි මේ ළඟදි දවසක මට හම්බවුණා හරි අපූරු මැජික්කාරයෙක්. එයාගෙ නම තමයි අරුන් මොලි.

අවුරුදු 25ක කඩවසම් දමිළ තරුණයෙක් වුණු අරුන් අකුරු කළේ තුඩැල්ල ක්‍රිස්තු රාජ ජාතික පාසලෙන්. අම්මයි,තාත්තයි එක්ක පදිංචි වෙලා ඉන්නෙ වත්තල,හැඳල. අක්කා කෙනෙකුත් ඉන්නවා. අක්කා බැඳලා. ඒත් අරුන්ට නම් තාම මංගල සීනු හැඬවිලා නැති හැඩයි.

මේ දවස්වල අරුන් අපි කාගෙ කාගෙත් ආලින්දයට එන්නෙ ITN Youth With Talent රියැලිටි ෂෝ එක හරහා. ඉතින් හිතා ගන්නවත් බැරි විදිහෙ අමුතු ම තාලෙ මැජික්, කිසි ම ගානක් නැතුව ඇඟටපතට නොදැනෙන්න කරලා, විනිශ්චය මණ්ඩලය වගේ ම ගෙදර ඉඳන් ටීවි බලන අපිවත් අන්දමන්ද කරලා පුටුවලින් නැගිට්ටවන්න අරුන්ට තියෙන්නෙ හරි පුදුම talent එකක්.

ලංකාවෙ අපිට මැජික් කිව්වම ඉතින් ටක් ගාලා ඔළුවට එන්නෙ කළු ලෝගුවකුයි කළු උස ම උස තොප්පියකුයි දාගෙන ඇවිත් ඒ තොප්පිය ඇතුළෙන් හාවෝ, පරවියො, මල් එහෙම අරගෙන පොඩි ඇක්ෂන් පාරකුත් දාලා යන ඩයල් එකක් නෙ. ඒ වගේ ම තමයි මැජික් වගේ දෙයක් පුරුදුපුහුණු කරලා අපේ වගේ රටක තැනකට එනවයි කියන එක හරි ම අමාරු වැඩක්. ඒ වුණත් ලංකාවෙ මැජික් වෙන ම රේන්ජ් එකකට ගෙනියන්න වගේ ම මැජික් පැත්තෙන් ඉස්සරහට යන්න අරුන්ට තියෙන්නෙ නොසැලෙන අධිෂ්ඨානයක්.

කොහොම වුණත් දන්න නොදන්න හැමෝටම මැජික් පෙන්නන වැඩේ අරුන් පටන් අරන් තියෙන්නෙ අදක ඊයෙක ඉඳලා නම් නෙවෙයි.

“මුලින් ම මැජික් කරන්න පටන් ගන්නකොට මට වයස අවුරුදු 12යි. දවසක් මං දැක්කා පිටරට ටීවි ප්‍රෝග්‍රෑම් එකක්, “ස්ට්‍රීට් මැජික්” කියලා. ඒකෙ දි “David Blaine” කියන මැජික් ශිල්පියට ලැබුණු ප්‍රතිචාර දැකලා මට හරියට ආස හිතුණා. එදා මං තේරුම්ගත්තා...සිංදුවක් කියනවට, නැටුමක් නටනවට, චිත්‍රයක් අඳිනවට වැඩිය ප්‍රතිචාර මැජික් එකක් කළාම ලැබෙන විත්තිය. ඉතින් එදා මං හිතාගත්තා කවදා හරි දවසක මමත් රටට ම මැජික් පෙන්වනවා කියලා.

එතනින් පස්සෙ මං දිගට ම මැජික් ගැන ගැඹුරින් හදාරන්න පටන් ගත්තා. පොත්පත් කියෙව්වා. ඉන්ටර්නෙට් එකේ මැජික් සම්බන්ධ වීඩියෝස් බැලුවා. ගොඩක් මහන්සි වෙලා මම තනියම මැජික් ඉගෙනගත්තා. මැජික් කියලා දෙන්න මට ගුරුවරයෙක් හිටියෙ නෑ. මගේ ගුරුවරයා මමමයි. මම ගොඩක් ආස... මැජික් එකක් කරලා පෙන්නුවම අනිත් අයගෙ ප්‍රතිචාර මොනවගේද කියලා බලන්නයි. ඉතින් ඒ නිසා ම ඉස්කෝලෙ යන කාලෙ ෆ්‍රී පීරියඩ් එකක් ලැබුණ ගමන් ම යාළුවො වටකරගෙන මං මැජික් පෙන්නුවා. සමහරු බය වෙනවා.දුවනවා. යාළුවන්ට විතරක් නෙවෙයි මම ඉස්කෝලෙ ගුරුවරුන්ටත් මැජික් පෙන්නලා තියෙනවා. මැජික් එකේ අවසාන හරියට එනකොට ඒ අයගෙ ගැස්ම, කුතුහලය වගේ ම මවිතය ඒ මූණුවලින් හොඳට ම තේරුම් ගන්න පුළුවන්. ඒ ප්‍රතිචාර බලලා මම හරි අමුතු සතුටක් විඳිනවා.”

අපිට දැනගන්න ලැබුණු විදිහට මේ තරුණ මැජික් ශිල්පියා අනිත් අයට මැජික් පෙන්නන එකට ඇරුණම චිත්‍ර අඳින්නත් ඒ වගේ ම සිංදු කියන්නත් එක වගේ ම දක්ෂයිලු. ඉස්කෝලෙ යන කාලෙදි නම් මැජික් පෙන්නන්න ගිහින් ඉස්කෝලෙ වැඩ මඟ හැරගන්නවා කියලා අම්මා නිතර ම බර බරේ දානවලු. ඒ වුණත් අරුන් කියන්නෙ දවසක නමක් තියන්න පුළුවන් විදිහෙ වැඩකාරයෙක් කියන දේ හරියට ම තේරුම් ගියාට පස්සෙ ගෙදර හැමෝගෙන් ම ලැබෙන්නෙ මෙච්චරයි කියලා කියන්න බැරි තරමෙ සපෝට් එකක් කියලා තමයි ආරංචි.

පෞද්ගලික ආයතනයක ජොබ් එක කරන ගමන් විනෝදාංශයක් විදිහට මැජික් පෙන්නන අරුන්, වෙලාවක් ලැබුණු හැටියෙ පාරට බැහැලා; පාරෙ යන අයටත් මැජික් පෙන්වනවා. සමහරු කැමැත්තෙන් ආවත් තව සමහරු මඟහැරලා යනවයි කියලයි අරුන් කිව්වෙ. හුඟක් වෙලාවට එයා ඔය විදිහට මැජික් කර කර කැරකෙන්නෙ බම්බලපිටිය පැත්තෙයි කියලා තමයි දැනගන්න ලැබුණෙ. ඔන්න බලාගෙන ඔයාලත් බම්බලපිටිය පැත්තෙ එහෙම යනකොට හැන්ඩ්සම් කොල්ලෙක් ඇවිත් මැජික් එකක් පෙන්නන්න කතා කරන්න පුළුවන්. මං කිව්වෙ අරුන් මොලි ගැන. ඒ වගේ වෙලාවක මඟහැරලා යන්න නම් එපා. මොකද අරුන් ළඟ තියෙන්නෙ බලන්න ම වටින මැජික්.

ඉතින් ඔයාලටත් ඔයාලගෙ පාටි එකකට එහෙමත් නැත්නම් ඉවෙන්ට් එකකට අරුන්ව එකතු කරගන්න ඕන නම් කතා කරන්න. 0778048044