ජීවිතය කාලය සහ Facebook

ජීවිතය කාලය සහ Facebook

තාරුණ්‍ය යනු ජීවිතයේ සුන්දරතම කාලයයි. එවන් කාලයක් නිකරුනේ විනාශ කිරීම කණගාටුදායක කරුණකි. ජීවිතය ආරම්භ වන්නේ මව් කුසින් මෙලොව එළිය දුටු දා පටන් වුව ද ඇත්තට ම මේ ජීවිතය ආරම්භ වන්නේ තාරුණ්‍යයේ ආරම්භයත් සමඟිනි. තාරුණ්‍යයට ජීවිතය ලැබෙන මෙවන් වකවානුවක Face Book වැනි නව මාධ්‍ය තුළ නිකරුනේ කාලය ගත කිරීම අනුවණකමකි.

ගෙවෙන්නේ කාලයයි. ගෙවෙන හැම තත්පරයක ම අපි ජීවිතයට මුහුණ දිය යුතු ව ඇත. කාලය අපව මේ ළං කරනුයේ වෙනයම් දෙයකට නොව අපේ මරණ මංචකයටයි. යටි ගිරියෙන් කෑගසා හඬන්නට සිතෙයි. නමුත් සත්‍යය ඉදිරියේ අප කවුරුත් නිරුත්තර ය. ගෙවන මේ හැම තත්පරයක් ම තුළ ජීවිතය තේරුම්ගත යුතු ය. සමහරුන්ගේ මේ ගෙවෙන්නේ ළමා වියයි. තවත් අයගේ තරුණ වියයි. ඇතැමුන් මේ ගෙවන්නේ මහලු වියයි. ජීවිතයේ සත්‍යය මෙයයි. ඒ සත්‍යයට මුහුණ දීම ජීවිතයයි. ඉපදීම දුකක්, මිය යෑම දුකක් කියා තරුණ සිත් සසල කරන්නට මට වුවමනා නැත. නමුත් සත්‍ය තේරුම්ගෙන සිටීමෙන් අපට ජීවිතය දෙස අවබෝධයෙන් බලන්නට හැකියාව ලැබෙයි.

ඔබ අද සිටින තැන සිටින්නේ කිසියම් බලවේගයකින් නොවේ. මව් කුසින් බිහි වී පිය සෙනෙහස මැද ඔබ අද දෙපයින් තනිව ම සිටගෙන ඇත. ඔබව වට්ටන්නට බැරි ය. ඔබ හුඟක් ශක්තිමත් ය. නමුත් ඒ බව ඔබ තව ම දන්නේ නැත. අලියා යනු ශක්තිමත් සත්වයෙකි. නමුත් ඌ උගේ විශාලත්වය ගැන නොදනී. එනිසා ඌ පුංචි හෙණ්ඩුවකට පවා බිය වදියි. තරුණ අප ද සිටින්නේ එම අදහස උඩ ය. අප ශක්තිමත් බව තව ම අපට නොසිතී ඇත. ඒ බව සිතන්නට දැන් කාලය උදා වී ඇත. ලෝකය කුමන ඇසින් අප දෙස බැලුවද රටේ සම්පතක් ලෙස දැන් තරුණ අප හැඳින්වීමේ වරදක් නැත. නමුත් ගැටලුව නම් තාරුණ්‍යය තවමත් රටට සම්පතක්ද යන්නයි. තවම එසේ වී නැත්නම් එය එසේ කිරීමට ද තරුණ අප ක්‍රියා කළ යුතු ව ඇත.

දිනකට ඇත්තේ පැය විසි හතරක් බව අමුතුවෙන් කිව යුතු නැත. පැය විසි හතරක් දිනයක් බව ද අමුතුවෙන් කිව යුතු නැත. අමුතුවෙන් කිව යුතු වන්නේ දිනය ගෙවනා ආකාරයයි. බුදුරජාණන් වහන්සේ පවා දිනය මනාව කළමනාකරණය කරගෙන ජීවත් වූ ශාස්තෘවරයෙකි. නමුත් වත්මන් තාරුණ්‍යය මේ කාලය නිසි ප්‍රයෝජනයක් නොමැතිව විනාශ කරන බව අප නොදන්නා දෙයක් නොවේ. දවසෙන් වැඩි කාලයක් ඔවුන්ගේ ජීවිතය බවට වර්තමානයේ පත්ව ඇත්තේ Face Book බව අප හැමෝම දන්නා කරුණකි. මීට ටික කලකට පෙර බස් රථයේ යනඑන අතරතුර පවා නවකතාවක්, පත්තරයක් කිය වූ මේ තරුණතරුණියන් දැන් දැන් ඒ මොහොත පවා අකාලයේ Face Book එකට දන්දෙයි. අතීතයෙත් වර්තමානයෙත් වෙනස මෙයයි.

තරුණ ජීවිතවලට දැන් පැවැත්මක් තිබේද යන්න ගැටලුවකි. Face Bookහි ඇති තරමට පදම් වූ සමහරු තමන් ජීවත්වෙන රටේ අගනුවර පවා නොදනී. තම රටට නිදහස ලැබුණු දිනය පවා නොදනී. තාරුණ්‍යයට වැරදුනේ එතන ය. Face Book තමන්ගේ ජීවිතය කරගත් ඇතැම්හු මුලු රටේ ම ගොසිප් තමන්ගේ කරගෙන ඒවා නරඹති. තමන්ගේ ජීවිතය ගැන සෙවීමට ඔවුන්ට වෙලාවක් නැත. පෙර මෙන් නිදියන්නට හෝ කාලයක් නැත. රාත්‍රී දොළහටත් සමහරු Face Book ගොස් රැය පහන් කරති. හිතට වැදෙන පින්තූරවලට like පළ කරති. Face Book හි ගෙවන ජීවිතය තවමත් අපට තේරුම් ගැනීමට හැකියාව නැත. නමුත් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය.

තාරුණ්‍ය යනු ජීවිතයේ සුන්දරතම කාලයයි. එවන් කාලයක් නිකරුනේ විනාශ කිරීම කණගාටුදායක කරුණකි. ජීවිතය ආරම්භ වන්නේ මව් කුසින් මෙලොව එළිය දුටු දා පටන් වුව ද ඇත්තට ම මේ ජීවිතය ආරම්භ වන්නේ තාරුණ්‍යයේ ආරම්භයත් සමඟිනි. තාරුණ්‍යයට ජීවිතය ලැබෙන මෙවන් වකවානුවක Face Book වැනි නව මාධ්‍ය තුළ නිකරුනේ කාලය ගත කිරීම අනුවණකමකි. Face Book යාමේ කිසි ම වරදක් නැත. ඒ තුළින් අපි නොදන්නා බොහෝ දෑ දැකබලා ගැනීමට හැකියාව තිබේ. නමුත් වරද Face Book තුළ නිකරුනේ ගැවසෙන්නා වූ කාලයයි.

අප අවට ලෝකය නිසොල්මනේ අප දෙස බලා සිටී. ඒ අප කරනකියන දේ ගැන පුදුම වෙමිනි. පුදුම වන්නට දෙයක් නැත. තාරුණ්‍ය යනු සෙල්ලක්කාර කාල වකවානුවකි. එසේ වුව ද ලොව දැකිය යුත්තේ ද මේ කාලයේ ම ය. “කාලය රන් හා සමාන ය” යනුවෙන් කියමනක් තිබේ. අප විභාගයට මුහුණ දෙන විට කාලයේ වැදගත්කම අපට විනිවිද දිස්වෙයි. නමුත් විභාගයක් නැති මෙවන් කාලයක් තුළ කිසි ලෙසකින් හෝ අපට කාලයේ වටිනාකම නොපෙනෙයි. එනිසා Face Book තිරයේ ඉහළට පහළට යන කාලය අඩු කළ යුතු ව තිබේ. එම කාලය ජීවිතය ගැන ඉගෙනීමට භාවිත කළ යුතු ව ඇත්තේ එය අනාගතය වෙනුවෙන් මිඩංගු කළ හැකි නිසා ය. ජීවිතය දෙස නිවැරදිව බලන්නෙකුට, ජීවිතය නිවැරදිව දකින්නෙකුට කාලයේ ඇති වටිනාකම මනාව අවබෝධ වෙනු ඇත.