නැති වුණාට ලොකුවට ඕන සල්ලි

නැති වුණාට ලොකුවට ඕන සල්ලි

නිවාසයක් යනු පවුලක අවශ්‍යතාවයක් විනා සමාජීය අවශ්‍යතාවක් නොවේ. එහෙත් ලංකාවේ බහුතරයක්; නිවාස වරදවා වටහාගෙන ඇත්තේ සමාජීය අවශ්‍යතාවක් ලෙසයි. ඒ නිසා විශාල ලෙස පෙනෙන තට්ටු දෙකේ තුනේ නිවාස ගම්මානවල ඉදිකරන අතර චීන මහා ප්‍රාකාර වැනි තාප්ප තම නිවස වටා ඉදිකර ගනිමින් අල්ලපු ගෙදර සතුරු ප්‍රහාර වළකාගනු ලබයි.

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී” යනුවෙන් පැවසුයේ කුමාරතුංග මුනිදාසයන් ය. අලුත් අලුත් දෑ තැනීම වෙනුවට අලුත් අලුත් දෑ මිලදී ගන්නා ජාතිය ලොව ණය කරුවන් වන බව නම් දැන් පැහැදිලි වෙමින් තිබේ. නිදහස් වෙළඳපොළ තුළ මිලදී ගැනීම සහ පාරිභෝජනය වෙනුවෙන් ශික්ෂණයක් හෝ විනයක් නොමැති වුවහොත් සිදු වනුයේ ණය කරුවන් වීමටයි. ණය කාඩිපත්වල සිට ලීසිං පහසුකම් සැපයීම මෙන් ම හදිසියක දී වාහනයේ ත්‍රීවිලර් රථයේ පොත තබා මගුල් කන්නට පොළඹවන්නේ අපට ආදරයට දැයි වරක් නොව දහස් වරක් සිතිය යුතු ය. වෙළඳපොළ යාන්ත්‍රණය සැකසී ඇත්තේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙනි. ව්‍යාපාරික අවශ්‍යතාව යනු ලාභය උපරිම කරගැනීමයි. මේ සඳහා තමන්ට අවශ්‍ය ආකාරයට ජනතාවගේ මානසිකත්වය හැසිරවීම ව්‍යාපාරික පැත්තෙන් අත්‍යවශ්‍ය ය. මේ සඳහා සෘජු සහ වක්‍ර ආකාරයේ වෙළඳ ප්‍රචාරණයන් බහුලව සිදු වන අතර ජනතාව මෙම උපක්‍රමයන් තුළ අසරණ කර ඇත. රූපවාහිනිය තුළ සෘජුව ම වෙළඳ දැන්වීම තුළින් මෙන් ම සමහර වැඩසටහන් මඟින් ද මෙම ව්‍යාපාරික උගුල් සකස් කර ඇත. පුද්ගලයෙකු සුදු හෝ කළු වීම, මහත් වීම හෝ කෙට්ටු වීම මෙන් ම තට්ටය පෑදීමත් ජීව විද්‍යාත්මක වූව ද අද දවසේ මේවා කළමනාකරණය කිරීමට වෙළඳ සමාගම්වලට හැකියාව ලබාදී ඇත.

පසුගිය Y කලාපයක විවාහය සඳහා විශාල මුදලක් වියදම් කරන අයගේ දික්කසාද වීමේ ප්‍රවනතාව වැඩි බව සොයාගෙන ඇති බව සදහන් වී තිබිණි. මෙහි ඇති යථාර්ථය වන්නේ විවාහ දිනය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීම යනු විවාහ ජීවිතය වෙනුවෙන් මුදලක් ඉතිරි නොවීමයි. විවාහ ජීවිතය සාර්ථකත්වය සහ විශාල හෝටලයක විශාල මුදලක්... ඇල්බම්, වීඩියෝ වෙනුවෙන් වියදම් කිරීමත් අතර කිසිඳු සම්බන්ධයක් නැත. මෙම විවාහ ජීවිතය තුළට විවාහ දිනයේ වැදගත්කම පෙන්වා දී ඇත්තේ ව්‍යාපාරික අවශ්‍යතාවන් වෙනුවෙනි. මෙම වෙළඳපොළ කිසිඳු විටෙක විවාහ ජීවිතයේ වැදගත්කම් පෙන්වා දීමට ඉදිරිපත් නොවනු ඇත. ඔබේ තෘප්තිමත් භාවය වෙළඳපොළ අවශ්‍යතාවයක් වන අතර සතුට නිර්මාණය කර දෙනු ලබන්නේ වෙළඳපොළ තර්කනය විසිනි.

විශාල මුදලක් වියදම් කර විශාල පිරිසක් හෝටලයකට ගෙන්වා විශාල ප්‍රමාණයේ ඇල්බමයක් සමඟ වීඩියෝ සහ අනෙකුත් අඩුමකුඩුම සමඟ මත්පැන් එකතු වූ විට යන වියදම සාමාන්‍ය මධ්‍යම පාන්තිකයෙකුට කිසි විටෙකත් ඔරොත්තු නොදෙන එකකි. විශාල පිරිසක් සමඟ දිනයක් දෙකක් මගුල් කා හුදකලාව ණය ගෙවන පවුල් අනන්ත අප්‍රමාණ ඇත. මොවුන් සියලු දෙනා තම මුදල් ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් වියදම් කර අසරණ වූ අයයි. ලංකාවේ අපි වැඩි වශයෙන් වෙළඳපොළට අසු වී ඇති තැනකි විවාහය. මේ සඳහා අවුරුදු ගනන් කල්වෙලා ඇති ව සැලැසුම් සකස් කිරීමට උපදෙස් දෙන අන්දවන්නන්ගෙන් අඩුවක් නැති අතර ඇඳගන්නා අයගෙන් ද හිඟයක් නැති වීම බරපතල ගැටලුවකි. අතීතයේ සංස්කෘතික කාරණයක් වූ විවාහය තුළ ඥාති පරම්පරාවන් හඳුනා ගැනීම සහ සමාජානුයෝජන ක්‍රියාවලියක් වූ විවාහ උත්සවය අද ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා සපුරාලන උත්සවයක් වී ඇත. පැකේජ් ක්‍රමයට නිර්මාණය වී ඇති උත්සවයන් අවසානයේ කලකිරීම සහ මානසික ආතතියට වැඩි දෙයක් ඉතිරි නොවේ.

බොරුව විශ්වාසයක් බවට පරිවර්ථනය කිරීම මෙවැනි ව්‍යාපාරයක ලක්ෂණයකි. සීනි සහිත ශරීරයට හිතකර නොවන එක්තරා බීම වර්ගයක් ලෝකය පුරා අලෙවි කරන්නේ වෙළඳ ප්‍රචාරණයන්වල සාර්ථක භාවය නිසාවෙනි. සන්ධිවල වේදනාව නැති කීරීමට අපේ මිනිසුන් බැවිල මුල් සහ සුදු ළූණු තම්බා බීම අතීතයේ සිට කරනු ලැබූ සරල ප්‍රතිකාරයකි. එහෙත් අද වන විට මේ සඳහා දහස් ගනනක් වියදම් කර සන්ධි සුදා ගෙන්වා ගාගෙන වියදම් වූ මුදල නිසාවෙන් “හරි ෂොක්” යයි කියන පිරිසෙන් අඩුවක් නැත. ඒ අප සමාගම් විසින් උගුලේ හසු කරගත් ආකාරයයි.

නිවාසයක් යනු පවුලක අවශ්‍යතාවයක් විනා සමාජීය අවශ්‍යතාවක් නොවේ. එහෙත් ලංකාවේ බහුතරයක්; නිවාස වරදවා වටහාගෙන ඇත්තේ සමාජීය අවශ්‍යතාවක් ලෙසයි. ඒ නිසා විශාල ලෙස පෙනෙන තට්ටු දෙකේ තුනේ නිවාස ගම්මානවල ඉදිකරන අතර චීන මහා ප්‍රාකාර වැනි තාප්ප තම නිවස වටා ඉදිකර ගනිමින් අල්ලපු ගෙදර සතුරු ප්‍රහාර වළකාගනු ලබයි. ලෝකය දකිමින් ජීවිතය විඳිනු වෙනුවට ලෝකයෙන් සැඟවෙමින් ජීවිතය විඳවමින් සිටින මිනිස් අවකාශයන් නිර්මාණය කරගන්නේ අනුකාරකයින් ලෙසිනි.