හැමදාම හිතුවෙ ඔයා ගැන ම තමයි

හැමදාම හිතුවෙ ඔයා ගැන ම තමයි

දෙගිඩියාවෙන් පිරුණු හදවතට සැනසීමක් දෙන්න එයා එනකම්... මං මඟ බලාගෙන හිටියා හුඟ වෙලාවක්, ලයිබ්‍රිය පිටිපස්සෙ නා ගහ ගාව බංකුවට වෙලා. හිටිගමන් එක දෙක වැටෙන නාමල් හුළඟට ගහගෙන ගිහින් එකතු වුණේ පොන්ඩ් එකට. හිතට දැනෙන්නෙ මහ ම මහා බර ගතියක්. හදවතත් වේගෙන් ගැහෙනවා. කැන්ටිම පැත්තෙ ඉඳන් එයා මගෙ දිහාවට එනවා දැක්කම ඒ ගැස්ම තවත් වැඩි වුණා. ඒ වුණත් මං ට්‍රයි කළේ ම එයා ළඟදි පරණ පුරුදු විදිහට හැසිරෙන්නයි.

“වෙලාවක් කිව්ව ම ඒ වෙලාවට එන්න දන්නැද්ද?”

“ඇයි මොකද නැකතක්ද? කීයට හරි ආවනෙ... ඒක නෙවෙ කෝ කල්ප?”

“කල්ප ඇයි මගෙන් අහන්නෙ? මොකද මං ඌව සාක්කුවෙ දාන් ඉන්නවද?”

“හරි ඉතින් නැත්තන් නෑ කිව්වම ඉවරනෙ. වෙනදට ඉඳිකටුවයි නූලයි වගේ ඉන්න හින්දයි ඇහුවෙ. ඕකට ඔයතරම් දඟලන්න ඕනෙද? දැන් එතකොට මට මේ තකහනියෙ මෙතෙන්ට එන්න කිව්වෙ රණ්ඩු කරන්නද?”

“නෑ. රණ්ඩු කරන්න නෙවි, වෙනදේකට. කොහෙද පරක්කු වෙලා ඇවිත් මගෙ මූඩ් එක කෑවා.”

“අනේ මේ... කෙහෙල්මල් මූඩ් එක. ඕක කොයි වෙලාවකවත් හොඳට තිබ්බ එකක්යෑ. කියන දෙයක් ඉක්මනට කියන්න. මට බෑ ලෙක්චර්ස් කට් කරගන්න.”

“හරි ඉතින් කියන්නං... එහෙම එක පාරට ම කියන්න බෑනෙ. හොඳ ළමයා වගේ පොඩ්ඩකට ඔය කොහෙන් හරි ඉඳගන්න.” මං පොඩ්ඩක් සැර බාල කළා.

අන්න එහෙම එන්න. එයා මාර ගහ ළඟ සිමෙන්ති පඩියෙන් ඉඳගෙන මගෙ දිහා බලාගෙන හිටියෙ හරියට බණ අහන්න ආපු උපාසිකාවක් වගේ. පොන්ඩ් එක පැත්තෙන් එන හුළඟට කළු පාට දිග දඟ කෙහෙරැලි හිතු හැටියෙ එහෙමෙහෙ වෙනවා මං බලන් හිටියා.

එයා අහන්න ලෑස්ති පිට හිටියට මොකද මට හිතෙන්නෙ ම මං තාමත් කියන්න ලෑස්ති නෑ කියලාමයි. අනේ මන්දා. මේ මොන නවනිංගිරාවක්ද? මට වචන පිටවෙන්නෙ නෑ.

නෑ නෑ තවත් හිත හිත ඉඳලා බෑ. එහෙම වුණොත් මට වෙන්නෙ අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්නයි. පේන්නැද්ද දැනටත් මං ළඟ ඉන්දැද්දිත් මේ හොල්මන හොයන්නෙ ම කල්පයව. තව ටිකක් කල් ගියොත් මට වෙන්නෙ ඌට සුබ මංගලම් කියලා අත පිහදගන්න. ඔන්න ඔහේ කියලා දානවා... වෙන දෙයක් වෙද්දෙන්. මරන් කන්නෙ නෑනෙ මාව. ඒත් එයා බැහැ කියයිද? එහෙම වුණත් ඉතින් මොනවා කරන්නද හිත හදාගන්නවා මිසක්. හිත හදාගන්නවා කියන්නෙ කරන්න බැරි දෙයක් නෙවෙයිනෙ. ඒත් දෙයියනේ එයා ඇත්තට ම අකමැති වෙයිද?

මගෙ මුළු ආත්මෙම තියෙන ශක්තිය එක තැනකට අරන්, දෙයියො බුදුන් සිහිකරලා ඉස්සෙල්ලම මං හොඳ හුස්මක් ගත්තා.

“සඳසි”

“හ්ම්ම්”

මං එයාගේ ඇස් දිහා එක කෙලින් බලාගෙන තප්පරයක් දෙකක් සද්ද නැතුව හිටියා. එයත් ඒ ලස්සන ඇස්වලින් මගෙ දිහා බලන් ඉන්නවා.

“මං ඔයාට ආදරෙයි.... අදක ඊයෙක ඉඳන් නෙවෙයි ගොඩ කාලෙක ඉඳන්. කියන්න ඕන වුණා. ඒත් කියාගන්න බැරි වුණා.” මං ඔහේ කියවගෙන ගියා, හිතට එන හැම දෙයක් ම. එයා මුකුත් ම නොකියා මගෙ දිහා බලාගෙන ම ඉන්නවා. ඒ ඇස් අග එක ම එක කඳුළු බින්දුවක්. මං දන්නෙ නෑ ඒ ඇයි කියන්න.

“සඳසි”

“කියන්න... මං අහගෙන ඉන්නෙ.”

“තව මොනවා කියන්නද? මං කිව්වෙ... දැන් ඔයා කියන්න.”

“මං මොනවද කියන්නෙ?”

“මොනවද කියන්නෙ කියලා අහන්නෙ? මට කැමතිද නැද්ද කියලා කියන්න.”

“මේ දැන්ම?”

“ඇයි බැරිද?”

“සාමන්‍යයෙන් ඉතින් ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවට පස්සෙ කල්පනා කරලා බලලා උත්තරයක් දෙන්න සතියක් විතර දෙනවා.”

“මගෙ අම්මෝ... සතියක්.....! වැඩි නැද්ද?”

“හ්ම්ම්ම්....හරි එහෙනම් මට දවස් තුනක් දෙන්න.”

“මං මේ නිකමට අහන්නෙ, දවසින් බැරිද?”

“බෑ.... මේක හරි කරදරයක් වුණානෙ.”

“බැයිනම් ඉතින් මොනවා කරන්නද? නිවාඩු පාඩුවෙ හිතලා කියන්නකො... මං එහෙනම් යන්නං” ගානක් නැතුව වගේ එහෙම කියලා මං ඉඳගෙන හිටිය බංකුවෙන් නැගිට්ටෙ හොස්ටල්එකට යන්න හිතාගෙන

“ඇයි ඉතින් යන්නෙ?”

“නෑ ඉතින් ඔයාටත් දැන් ලෙක්චර්ස්වලට යන්න තියෙනවා කිව්වනෙ. ඒකයි.”වෙන මුකුත් මට කියන්න ඉඩක් ලැබුණෙ නෑ. හැමදාම මගෙ හිත පිස්සු වට්ටපු ඒ ලස්සන හිනාව තොල් අගට අරගෙන ම එයා මගේ අතින් අල්ලලා මාව නවත්තගත්තා.

“අමුතුවෙන් හිතලාබලලා කියන්න දෙයක් නෑ. හැමදාම හිතුවෙ ඔයා ගැන ම තමයි. මං ආදරෙයි.”

“ඔය ඇත්තමද?”

“සත්තයි.”

ඒ මොහොතෙ මට දැනුනෙ රටක් රාජ්‍යයක් අයිතිකරගත්තා වගේ සතුටක්. ඇත්තමයි ලෝකෙට ම ඇහෙන්න කෑගහන්න හිතුනා මට. මං හැමදාම විශ්වාස කළේ ජීවිතේ ගොඩක් ම හොඳ දේවල් ලැබෙන්නෙ ඇති තරම් බලාගෙන හිටියට පස්සෙ කියලා. ඒත් එයා මට නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න දුන්නෙ නෑ.

“එන්න අපි ටිකක් කතා කර කර ඉමු.” හිතන් නැති වෙලාවක එයා දුන්නු ආරාධනාව මං හදවතින් ම පිළිගත්තා. ඒක මට ඉහළටත් උඩින්.

“එතකොට ඔයාගෙ ලෙක්චර්ස්?”

“ආ... ලෙක්චර්ස් නේ? ඔන්න ඔහේ අදට විතරක් කට් කරනවා.” එයා ඒක කිව්වෙ හරි හුරතල් විදිහට.

“පිස්සි.”

“මේ මේ මං කියලා තියෙනවා මට පිස්සි පිස්සි කියාගෙන එන්න එපා කියලා හරිද?”

“ආ... පිස්සිට ඉතින් පිස්සි කියන් නැතුව වෙන මොනා කියන්නද?”

“මොකක්ද පිස්සො කිව්වෙ...”

කියාගන්න බැරි තරම් ලස්සන ආදරණීය මොහොතකට පස්සෙ ආයෙම අපි අපේ පරණපුරුදු රණ්ඩුවට වැටුනෙ... අලුත් ජීවිතයක් එක්ක. අපි අපිට ආදරෙයි හැමදාම. ඒත් ඒ ආදරේ හරි වෙනස්.