කෙල්ලන්ට ඉවසන්න වෙන කොල්ලන්ගෙ පුරුදු 9ක්

කෙල්ලන්ට ඉවසන්න වෙන කොල්ලන්ගෙ පුරුදු 9ක්

එක එක ජාතියේ කොල්ලො ඉන්නවා. ඒ කොල්ලන්ට කෙල්ලොත් ඉන්නවා. හැබැයි මේ හැම කෙල්ලෙක්ට ම විඳගන්න සිද්ධ වෙන පොදු කාරණා කිහිපෙකුත් තියෙනවා. බෝයි ෆ්‍රෙන්ඩ්ලට විතරක් නෙවෙයි මේවා හස්බන්ඩ්ලටත් තියෙන පුරුදු තමා ඉතින්. කොච්චර ලව් වුණත් ඉතින් මේවට තරහා යන්නෙ නැත්තෙ නෑ කෙල්ලොන්ට. අපි කියන්නෙ කොල්ලෙක් එක්ක ඉන්නවනම් කෙල්ලෙක්ට මේ දේවල් ඉවසන්න ම වෙනවා කියල තමා. කොල්ලො එක එක ජාතියේ වුණාට මේවා නම් හැමෝටම පොදු පුරුදු. ඒකනෙ අවුල. කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ බැන්දයි කියලා මේ පුරුදු අත් ඇරෙන්නෙ නෑ. මේ කියන්නෙ එහෙම බෝයි ෆ්‍රෙන්ඩ්ලගෙයි හස්බන්ඩ්ලගෙයි කෙල්ලොන්ට පෙන්නන්න ම බැරි වුණත් ඉවසන් ඉන්න වෙන පුරුදු ටිකක්.

1. රබර් ඇහැ

ඔන්න පළවෙනි ම කාරණේ. හුඟක් වෙලාවට දෙන්න අතර වලි යන්නත් මේක හේතුවක් තමා. ඔයා එක්ක ඉද්දිත් අහලපහළින් යන කෙල්ලොන්ට රබර් ඇහැ දාන එක නම් යාළු වෙලා ඉන්නකොට විතරක් නෙවෙයි බැන්දට පස්සෙත් අත නොහරින පුරුද්දක්. ඔය ඉතින් එහෙම බලන්නෙ ඔයාට ආදරේ නැතුව නෙවෙයි. කෑම ඕඩර් කලාට පස්සෙත් මෙනූ එක බලන එක පුරුද්දට ගිහින් හින්දා. තරහා ගන්න කාරි නෑ ඕකට නම්.

2. විනාඩි පහ

මේකට නම් මල පැන්නත් කරන්න දෙයක් නෑ. කාලෙත් එක්ක පුරුදු වෙන්න ම වෙනවා. යාළුවො එක්ක සෙට් වෙන්න ගිහින් ගෙදර යන්නෙ කීයටද ඇහුවොත් “මං විනාඩි 5න් ගෙදර යනවා ඩාලින්” තමා උත්තරේ. ඊට පැයකට පස්සෙ කෝල් කලාමත් ඕක ම තමා උත්තරේට හම්බෙන්නෙ. ඇයි හම්බෙන්න එන්න කිව්වමත් ඔහොම්මයි. “මං විනාඩි 5න් ඔතන” කියන මිනිහා එන්නෙ පැය බාගෙකට පස්සෙ. හැබැයි ඉතින් එහෙම පරක්කු වෙලා ආවම අපිට පොඩි වාසියක් නැත්තෙත් නෑ. පොඩ්ඩක් තරහයි වගේ පෙන්නුවම යාළු කරගන්න, ඉල්ලන ඕන දෙයක් අරන් දෙයි.

3. සරම නැත්නම් ෂෝට

මේ ගැන නම් කතා කරලා වැඩක් ම නෑ. අනාදිමත් කාලයක් තිස්සෙ එන පුරුද්දක් මේක. ඇඳුම් මාරු කරද්දි ඇඳන් ඉන්න සරම හරි ෂෝට හරි එතන ම බිම දමලා යනවා. පොඩ්ඩක් ඕක අහුලලා රැක් එක උඩින් දාන්න බැරිද ඇහුවොත් ” අපෝ ඕක අහුලන්න පහත් වුණොත් ෂර්ට් එක පොඩි වෙනවා අප්පා” වගේ මෙලෝ රහක් නැති උත්තරයක් හම්බෙයි. කිය කිය ඉන්නවට වඩා අපි ම අහුලලා පැත්තකින් දාන එක ඊට සනීපයි.

4. ගේම් ගැහිල්ල

එක එක කාලෙට එක එක ගේම් ගහන්න පටන් ගන්නවා. නෑ නෑ එහෙම ගේම් නෙවෙයි; ඔන්ලයින් ගේම්, වීඩියෝ ගේම් වගේ ගේම් ගැන මේ කිව්වෙ. ඕවා ගහන්න ගත්තම ආපහු එලෝ මෙලෝ නෑ. කන්න බොන්නවත් මතක් වෙන්නෙ නෑ. කෝල් එකක් දුන්නම ආන්සර් කරන්නෙත් නෑ. ගේම් එක ගහලා ඉවර වෙලා රෑ 10ටයි කෝල් කරලා අහන්නෙ “පැටියො ඔයා දවල්ට කෑවද වස්තුවේ” කියලා. ඕකට ඉතින් මං දැන් රෑටත් කාලා ඉවරයි වගේ උත්තරයක් දෙන්න කට හදාගත්තට කියන්න එපා. කියලා වැඩක් නෑ. හෙටත් වෙන්නෙ ඕකමයි. මේ ලෙඩේ නම් ගණන් ගන්න ම එපා. පොඩ්ඩක් බැන්නම ඒ ගේම් එක අත ඇරලා දවසක් දෙකක් ගිහින් වෙන ගේම් එකක් ගහන්න ගන්නවා. ඇහුවොත් කියන්නෙ “ආ... ඒක නෙවෙයි මේ වෙන එකක්නෙ” කියලා.

5. කෑම

අපි ඉතින් දන්න වැඩ කිඩ ඔක්කොම දාලා මොන රස කෑම හදලා දුන්නත් වැඩක් නෑ. කන්නෙ මේ ලෝකෙ සිහියකින් නෙවෙයි. ෆෝන් එක ඔබ ඔබමයි කන්නෙ. කෑම රසයිද ඇහුවොත් “ෂා... නියමයි. හරිම රසයි” කියනවා. කාලා ඉවර වුණාම නිකමට “අද මොනාද උයලා තිබ්බෙ?” කියලා අහලා බලන්නකො මතක තියෙනවද බලන්න. ඔය වෙලාවට අනේ මූට තණකොල මැල්ලුමක් දුන්නත් කයි කියලා හිතුනට තරහගන්න එපා ඕන්. මේවා ඉවසන්න ම වෙනවා.

6. ෆිල්ම් බැලිල්ල

ඔයාලට කාටූන් එකක් බලන්න, රොමෑන්ටික් ෆිල්ම් එකක් බලන්න වගේ ආසාවක් තියෙනවා නම් තනියම බලන්න කියලා තමයි ඔන්න අපි නම් උපදෙස් දෙන්නෙ. මොකද එයා බලන්නෙ ඔයාට දිරවන ෆිල්ම් නෙවෙයි. එක්කො ෆුල් ෆයිට් ෆිල්ම්ස්, නැත්නම් සම්භාව්‍ය ගණයේ ෆිල්ම්. ඒවගේ තියෙන්නෙ ෆිල්ම් එක පටන් ගද්දි මැරෙන මිනිහට අන්තිමට පණ එනවා වගේ කතා. නොතේරෙන හින්දා ඒ මොකද වුණේ ඇහුවොත් කියයි “ආ ඒකෙ ලොකු තේරුමක් තියෙනවා ඔයාට තේරෙන්නෙ නෑ” කියලා. තේරෙන්නෙ නැති වුණත් ළඟින් ඉඳන් ඒ ෆිල්ම් එක එයත් එක්ක බලන්න ම වෙනවා හැබැයි. ඉවසපන් කෙල්ලනේ ඉවසපන්.

7. ටවල් එක

විසිල් එහෙකුත් ගහගෙන නාන්න ගියාට මලාට ටවල් එක අරන් යන්නෙ නෑ. නාලා ඉවර වෙලා බාත් රූම් එකේ ඉඳන් බෙරිහන් දෙනවා ටවල් එක ගෙනත් දෙන්න කියලා. අපි මොන වැඩේ කර කර හිටියත් දුවන් ගිහින් එයාට ටවල් එක දෙන්න ඕනෙ. ඇයි වැරදිලාවත් ටවල් එක දෙන්න පරක්කු වෙලා පස්සෙ එයාට හචුමක් ගියත් ඒකටත් පලි අපි. ඇයි ටවල් එක දෙන්න පරක්කු වුණානෙ. ඒ හින්දා ඕවා ගණන් ගන්න ම එපා. පුළුවන් නම් නාන්න යද්දි ම ටවල් එක ඔළුව උඩට දාන්න.

8. ඩෙනිම හේදුවද අයියෝ!

නාලා ඇවිත් තුවාය නම් කවදාවත් රැක් එකට දිග ඇරලා දාන්නෙ නම් නෑ නෑමයි. තෙත තුවාය ඔහේ ගුලි කරලා රැක් එකට දායි. එහෙමත් නැත්නම් ඇඳ උඩට දායි. පිළිවෙළක් නම් පුරුදු කරන්න ම බෑ. ඇයි කිළුටු ඇඳුම් සේදුවාම අනිවා ඔයාගෙන් අහයි “අයියෝ අර ඩෙනිමත් සේදුවද? ඒක තව සුමාන දෙකක් අඳින්න තිබ්බා සෝදන්නෙ නැතුව” වගේ කතාවක්. මේ දේවල් ඉවසනවා මිසක් වෙන මොනා කරන්නද අප්පා.

9. කඩේ යෑම

හදිසියකට කඩේට යැව්වොත් කියන දේ ඇරුණම අනිත් සේරම ගේනවා. ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයි නිසා අපි කියන ඒවා ඇහෙන්නෙ ම නෑ. එක ම දේ දෙපාර දෙපාර කියන්න පුරුදු වෙන්න ම ඕනෙ. පහුගිය කාලෙ ප්‍රසිද්ධ වෙච්ච ජෝක් එකක් තිබ්බා. “කඩේට ගිහින් පාන් ගෙඩියක් ගේන්න. බිත්තර තිබ්බොත් 6ක් ගේන්න” කියලා කෙල්ල කියනවා. මෙන්න මේ මිනිහා පාන් ගෙඩි 6ක් උස්සන් එනවා “කඩේ බිත්තර තිබ්බා නෝනෙ” කියාගෙන. ඔය වගේ වැඩ ඇත්තට ම වෙන්න පුළුවන් නිසා පුළුවන් තරම් ඔයා ම කඩේ යන එක ඇඟට ගුණයි කියලා තමා කියන්න තියෙන්නෙ.