ඉගෙන ගන්න ම හදපු අපේ ම පරිගණක මෙහෙයුම් පද්ධතිය

ඉගෙන ගන්න ම හදපු අපේ ම පරිගණක මෙහෙයුම් පද්ධතිය

මීට කාලෙකට කලින් නම් ඉගෙන ගන්න පොත්, පෑන්, පැන්සල් තිබුනා නම් ඇති. නමුත් දැන් පරිගණකයත් අනෙකුත් ක්ෂේත්‍රවලට වගේ ම අධ්‍යාපනයටත් නැතිවම බැරි තත්වයට ඇවිත්. මෙතෙක් භාවිත කරපු සාම්ප්‍රදායික අධ්‍යාපනික ක්‍රමවලට වඩා තොරතුරු තාක්ෂණය අධ්‍යාපනයට භාවිත කිරීම ඉතාමත් ම පහසු, ආකර්ෂණීය, ඵලදායි ක්‍රියාවක් වගේ ම ශ්‍රව්‍ය දෘෂ්‍ය මෙවලම් භාවිත කරලා ලබන අධ්‍යාපනය ඉතාම සාර්ථකයි.

මේ නිසා අද ගමේ නගරයෙ වෙනසක් නැතිව අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිගණක භාවිත වෙනවා.

නමුත් තවමත් පරිගණයක් මිලදී ගන්නවටත් වඩා අධික මුදලක් මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග වෙනුවෙන් වැයකරන්න ඕන. මේ නිසා පාසල් සිසුන්ට පරිගණක, ලැප්ටොප්, ටැබ් ලබා දීමේ වැඩසටහන් ගැන කොතෙක් කතා කළත් ඒ වැඩසටහන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි වෙලා තියෙනවා. අපේ රටේ පාසල් ශිෂ්‍යයකුට අවශ්‍ය පරිගණක මෙහෙයුම් පද්ධතියක් හා යෙදුම් මෘදුකාංග සඳහා වාණිජ මෘදුකාංග භාවිත කරනවා නම් ලක්ෂ ගණනක මුදලක් වැය කරන්න සිදුවෙනවා. මෙවැනි මුදලක් වැය කරන්න හැකියාව තියෙන අය ඉතා ම අඩුයි. මේ නිසා බොහෝ අය සිදුකරන්නෙ වාණිජ මෘදුකාංගවල ව්‍යාජ පිටපත් භාවිත කරන එක.

මෙවැනි ගැටලුවලට විසඳුමක් ලබාදෙන ගමන් අපේ රටේ අධ්‍යාපනයට, පාසල් පද්ධතියට අවශ්‍ය තොරතුරු තාක්ෂණ පහසුකම් ලබා දීම මඟින් පාසල් සිසුන්ට තමන්ගෙ සියලු අධ්‍යාපන අවශ්‍යතාවයන් ඉටුකර ගන්න හැකියාව ලැබෙන, මුදල් ගෙවීමකින් තොරව ම ලබාගන්න පුළුවන් පරිගණක මෙහෙයුම් පද්ධතියක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයෙ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මඟින් හඳුන්වා දීලා තියෙනවා. ඒ ඉසුරු ලිනක්ස්(ISURU Linux) පරිගණක මෙහෙයුම් පද්ධතිය.

පාසල් විෂය නිර්දේශයෙ අන්තර්ගතය මෙන් ම පාසල් සිසුන්ගෙ සියලු අවශ්‍යතාවයන් ඉතා පහසුවෙන් ඉටුකර ගත හැකි මේ ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සකස් කරලා තියෙන්නෙ ලොව ජනප්‍රිය ම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය වන "උබුන්ටු" මෙහෙයුම් පද්ධතිය පාදක කරගනිමින්. ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් වාණිජ මෙහයුම් පද්ධතියක් මෙන් ඉහළ ම පහසුකම් සහිත ඉහළ ගුණාත්මක බවකින් යුතු නිදහස් විවෘත මෙහෙයුම් පද්ධතියක්.

ලෝකයේ සෑම වෘත්තිකයෙක් ම බිහිවෙන්නෙ අධ්‍යාපනය මඟින්. ඒ නිසා විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව අධ්‍යාපනය ලබන්න විවිධාකාරයේ මෘදුකාංග අවශ්‍යයයි. මේ නිසා ඉංජිනේරු, ගණිත, විද්‍යා, කලා,වාණිජ, තාක්ෂණ මේ හැම විෂය ක්ෂේත්‍රයක ම අධ්‍යාපනය ලබන්න අවශ්‍ය වන කාර්යාල මෘදුකාංග, චිත්‍රක මෘදුකාංග, ක්‍රමලේඛන භාෂා මෘදුකාංග, සජීවීකරණ මෘදුකාංග, බහුමාධ්‍ය මෘදුකාංග, අධ්‍යාපන මෘදුකාංග මෙන් ම විනෝදාස්වාදය සපයන මෘදුකාංග, අධ්‍යාපනික ක්‍රීඩා ඇතුළු පාසල් සිසුන්ට අවශ්‍ය යෙදුම් මෘදුකාංග රැසක් පෙරනිමියෙන්ම(Default) ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුළ අන්තර්ගත කරලා තියෙනවා. මේ නිසා මේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගැනීමෙන් පසුව සිසුන්ට තම කටයුතු වෙනත් මෘදුකාංග ස්ථාපනය කිරීමෙන් තොරවම සිදුකර ගත හැකි වීම මෙහි තිබෙන විශේෂ වාසියක්.

මේ මෙහෙයුම් පද්ධතිය ප්‍රථම වරට හඳුන්වා දීලා තියෙන්නෙ 2012 ජුනි 30 වන දින ඉසුරු ලිනක්ස් 12.04 ( ISURU Linux 12.04 ) නමින්. පසුව එහි දෙවන සංස්කරණය ඉසුරු ලිනක්ස් 14.04 මෙහෙයුම් පද්ධතිය 2014 වසරෙ දි නිකුත් කරලා තියෙනවා. දැනට නිකුත් කරලා තියෙන නවතම සංස්කරණය වන ඉසුරු ලිනක්ස් 16.04 සංස්කරණය "වෙනසකට" ("For a Difference") නමින් 2016 අප්‍රේල් 30 වන දින එළිදක්වලා තියෙනවා.

ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් සාමාන්‍ය පරිගණකයක ස්ථාපනය කරගෙන භාවිත කරන්න පුළුවන්. වෙනත් මෙහෙයුම් පද්ධතියකට මාරු වෙන්න මැලිකමක් දක්වන අයෙකුට තමන් දැනට භාවිත කරන මෙහෙයුම් පද්ධතිය සමඟ ම ඉසුරු ලිනක්ස් භාවිත කිරීමේ හැකියාවත් තියෙනවා. විශාල යෙදුම් මෘදුකාංග ප්‍රමාණයක් අන්තර්ගත නිසා මේ මෙහෙයුම් පද්ධතියට වැඩි මතක ධාරිතාවක් අවශ්‍යයයි. නමුත් අඩු මතක ධාරිතාවක් සහිත පරිගණක වෙනුවෙන් ඉසුරු ලිනක්ස් සැහැල්ලු සංස්කරණයය ( light Version) ලබාගන්න පුළුවන්.

වර්තමානයෙ පාසල්වල ‍උසස් පෙළ හා සාමාන්‍ය පෙළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීම සඳහා සහ අනෙකුත් ශ්‍රේණිවල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන කටයුතු මෙන් ම පාසලේ වෙනත් තොරතුරු තාක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් භාවිත වෙන්නෙ මේ මෙහෙයුම් පද්ධතිය.

 මේ මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමේදී අවශ්‍ය වන උදව් සහ තාක්ෂණික සහය ලබාදීමට අමාත්‍යංශය විසින් පුහුණු කරන ලද විශේෂිත ඉසුරු ලිනක්ස් කණ්ඩායමක් පිහිටුවලා තියෙනවා. ජාතික හා පළාත් මට්ටමින් පුහුණු කරමින් පිහිටුවලා තියෙන මෙම කණ්ඩායම මඟින් මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමේ දී ඇති වන ප්‍රායෝගික ගැටලු නිරාකරණය කිරීම හා මඟ පෙන්වීම සිදු කරනු ලබනවා. ඉසුරු ලිනක්ස් භාවිත කරන අයුරු දැක්වෙන,ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත ද මේ වනවිට ලබාගන්න පුළුවන්.

පාසල් සිසුන් වෙනුවෙන් නිර්මාණය කළත් මෙය සිසුන්ට මෙන් ම අනෙකුත් ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් භාවිත කළ හැකි විශිෂ්ටතම පරිගණක මෙහෙයුම් පද්ධතියක්. මේ මෙහෙයුම් පද්ධතිය හා පුහුණු අත්පොත එහි නිල වෙබ් අඩවිය වන න http://www.isurulinux.lk/

මඟින් නොමිලයේ ම බාගත කර භාවිත කරන්න පුළුවන්. භාවිත කිරීමේදී අවශ්‍ය සහාය හා වැඩිදුර තොරතුරු https://isurulinux.blogspot.com/ බ්ලොග් අඩවියෙන් ලබා ගත හැකියි.

අලුත් දේවල් හොයන, අත්හදා බලන තරුණ වයසෙ ඉන්න ඔබට මේ මෙහෙයුම් පද්ධතිය ඔබේ පරිගණකයටත් ස්ථාපනය කරගෙන භාවිත කරන්න පුළුවන්. ඒ මඟින් ඔබේ අධ්‍යාපන කටයුතු පහසුවෙන්, ආසාවෙන් කරන්න වගේ ම නැවුම් අත්දැකීමක් ලබන්නත් පුළුවන්. මේ මඟින් අලුත් විදිහට හිතලා අපේ රටේ දේවල් ඉදිරියට දියුණු කරන්න හැකියාව ලැබෙන නිසා ඉසුරු ලිනක්ස් හෙට දවසෙ දි රටට ම ඉසුරු ගෙනේවි.