පොන්දෙසාර් පාලමට බර වැඩි  ආදරේ

පොන්දෙසාර් පාලමට බර වැඩි  ආදරේ

ලෝකය පුරා විවධ කාල වකවානුවලදි විවිධ හේතුන් නිසා ස්මාරක, සිහිවටන නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේ ම තවමත් නිර්මාණය වෙනවා. බොහෝ වෙලාවට මේ ස්ථාන දකින අපි ඒ සිද්ධිය හෝ ස්මාරකයට අදාල පුද්ගලයා සිහිපත් කරලා ඔහේ එනවා. හරියට ම කිව්වොත් ඒ තැන්වල දී අපේ ජීවිතත් එක්ක බැඳුන දෙයක් නැති තරම්.

අපි කියන්න යන්නෙත් එහෙම තැනක් ගැන. ඔබ විශ්වාස කරනවද ආදරය සදාතනික මතක සටහනක් බවට පත් කළ හැකි ස්ථානයක් මේ පෘථිවිය ඇතුළෙ තියෙනවා කියලා.

ප්‍රංශයේ පැරිස් නුවර කියන්නෙ ඉතාම දිගු ඉතිහාසයකට උරුමකම් කියන සංස්කෘතික, භෞතික, සමාජයීය ආදී සෑම අංශයකින් ම දියුණු වූ නගරයක්. පැරීසියේ අස්සක්මුල්ලක් නෑර ම පැතිරුන පෞරාණිකත්වය, ආදරණීයත්වය, ආකර්ෂණීය වූ සිත් වසඟ කරවන නාගරිකත්වය, ලෝක පුදුමයක් වුණ අයිෆල් කුළුන, පැරිසිය හරහා ගලා බසින සෙන් නදිය, වීනස් දෙව්දුව හා මොනාලිසා ආදී ලෝක පූජිත කලා නිර්මාණ දැකගත හැකි ලුවර් කෞතුකාගාරය, ලෝක ඉතිහාසය සසල කළ සිදුවීම්වලට පාදක වූ දේවස්ථාන, විසල් වතුරස්‍ර, අවන්හල්, පොත් සල්පිල්, ආදී මේ සියල්ල ම ජීවිත කාලය තුළ දී වරක් හෝ පැරීසියේ පය ගැසිය යුතුමැයි කියලා අපිට බලපෑම් කරනවා. ඒ තරම් පැරීසිය ආදරණීයයි.

 අපූරුයි.ඒ වගේ ම පොන්දෙසාර් පාලම කියන්නෙ ලෝකයේ දැඩි කතාබහට ලක්වුණු ආදරණීය සංචාරක මතක සටහනක්. පැරිසියේ ලූවර් මන්දිරය හා මධ්‍යම චතුරස්‍රය එකිනෙක යා කරමින් සෙන් නදිය හරහා ඉදිවුණ මේ පොන්දෙසාර් පාලමේ, නන් දෙසින් පැමිණෙන ආදරවන්තයන් තමන්ගේ නම්වල මුල් අකුරු සටහන් කළ ඉබි අගුලක් එල්ලීමට හුරු වෙලා ඉන්නවා.

ඒ විදිහට පාලමේ එල්ලලා අගුල් දාන ඉබි අගුලේ යතුර ඔවුන් සෙන් නදියට විසි කරන්නෙ කිසිවෙකුටත් නැවත ආදරයෙන් බැදුණු ඒ අගුල විවර කර නොහැකි බව කියාපාන සංකේතයක් ලෙසින්.

ඒ වගේ ම සදාකාලිකව විවර නොවන ඒ ආදර ඉබි අගුල සේ තම ආදරය නොනැසී පවතීවා යන බලාපොරොත්තුව මේ ප්‍රේමණීය වාරිත්‍රය ඉටුකරන ආදරවන්තයන් තමන්ගෙ හිත්වල සනිටුහන් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි, සම්ප්‍රදායේ හැටියට ඔවුන් මේ පාලම මත දි එකිනෙකා සිපගන්නත් ඕන.

1974 නැපෝලියන් අධිරාජ්‍ය සමයේ ඉදිවන මේ පාලම නැවත 1984 දි ප්‍රතිසංස්කරණය කරනවා. එම ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව තමයි ආදර ඉබි අගුල් රඳවන කතන්දරය ආරම්භ වෙන්නෙ.

සමහර විදේශීය සංචාරකයන් පැරීසියට එන්නෙ නම්වල මුල් අකුරු සටහන් කළ ඉබි අගුලක් සූදානම් කරගෙනමයි. ඒ නැතත් පාලම අවටින් තමන්ට රිසි සේ ඉබි අගුල් මිලදී ගැනීමටත් ආදරවන්තයන්ට හැකියාව තියෙනවා.

ජීවිතේ කියන්නෙ ලස්සන කතන්දර ගොන්නක එකතුවක් වගේ ම ප්‍රේමය කියන්නෙ ඒ කතන්දර ගොන්න ඇතුළෙ අපිට හමුවෙන සුන්දර ම ජීවිතාශාවක්.

 ඒ ජීවිතාශාව විඳින්න, ආදරය විඳින හිත් කරන එකී මෙකී නොකී දේවල් ඇතුළෙ පොන්දෙසාර් පාලම මත දි සිදුවන මේ අපූරු ආදරණීය චාරිත්‍රය හැම ආදර කතාවක ම ලියවෙන ලස්සන හීනයක්.

කොහොම වුණත් පොන්දෙසාර් පාලමට කාලයක් යද්දි මේ ආදර ඉබි අගුල්වල බර දරාගන්න බැරි වෙනවා.

වසරකට ඉබි අගුල් ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් පාලමේ සවිවෙන නිසා එයින් ටොන් 93ක පමණ අමතර බරක් පාලමට එකතු වෙනවා. මේ නිසා පාලම කඩාවැටීමේ අවදානමක් පවතින බව ප්‍රංශ බලධාරීන් පෙන්වා දීමත් සමඟ ම 2010 වර්ෂයේ දි මේ ඉබ්බන් සියල්ල ඉවත් කරනවා. ඒ විතරක් නෙවෙයි.

සෙන් නදියට එකතුවෙන දහස් සංඛ්‍යාත ඉබි යතුරු මළ බැඳීමට ලක්වීම නිසා ගංගා ජලය අපවිත්‍ර වීමේ තත්ත්වයකුත් මතුවෙලා තියෙනවා.

මේ හේතුන් නිසා ආදර ඉබ්බන් එල්ලීමේ ක්‍රියාව නතර කිරීමට ප්‍රංශ බලධාරීන් පියවර ගත්තත් අද වෙනතුරු එය පාලනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබී නැහැ කියලයි ආරංචිය.

ආදරය කරන හිත්වලට තහංචි, වැටකඩොලු කොහොම බඳින්නද? පැරීසියට එකතුවෙන දහස් සංඛ්‍යාත සංචාරකයන් තවමත් මේ අසිරිමත් ආදරණීය වන්දනාව නතර කරලා නම් නැහැ.

හදවත් දෙකක් එකිනෙක යා වෙන්නෙ සංසාරෙ පතාගෙන ආව නිසා ම නෙවෙයි. හමුවීම්, වෙන්වීම්, හඬාවැටීම්, අත්හැර දැමීම්, පාළුව හුදෙකලාව ගෙවුන තත්පර... මේ සියල්ල අවසානයේ ප්‍රේමය නම් වූ උත්තරීතර හැඟීමට අපි ළංවෙනවා. ඒ වගේ ලස්සන ආදරයක් තවත් ආදරෙන් පුරවන්න පොන්දෙසාර් පාලම මත අගුලු වැටෙන ආදර ඉබි අගුලකට පුළුවන් ඇති.

දවසින් දවස එකතුවෙන ආදර අගුල්වල ලෝමහය බර දරාගන්න පොන්දෙසාර් පාලමට නොහැකි වුණාට, කෝටි ගානක් ආදර කතා දරාගන්න මේ ආදරණීය ස්මාරකයට බැරිකමක් නැහැ.

ජීවිතයේ සියුම් අංශුමාත්‍රයීය හැඟීමත් ආදරයෙන් මුසපත් කරවන ප්‍රේමයක් එක්ක, දෑත් පටලාගෙන පැරිස් නුවර පුරා ඇවිදින ඉර බහින හැන්දෑවක, උණුහුම් ම හාදුවකින් පස්සෙ ආදරය අගුලු දාලා, බලාපොරොත්තු අහසට විසි කරන එක හැම ආදරය කරන හිතක ම ගෙත්තම් වෙන ලස්සන ම හීනයක්. ඒ හීනය වෙනුවෙන් ම අපි තවත් ආදරය කරමු. ආදරය හොයමු…. ඒ ආදරණීය හීනවලට පණ දෙන්න හීන දකිමු.