කැපකාර පියෙක් වෙන්න මට කෙනෙක් නෑ

කැපකාර පියෙක් වෙන්න මට කෙනෙක් නෑ

වික්ටෝරියා ප්ලේස් එකට උදේට කිරි ගේන්නේ කළු තමිල් කොල්ලෙක්. නම ජෝසප්ලු. ජෝසප් තමයි කිරි බෝතලුයි පත්තරේයි ගෙනල්ලා ගේට්ටුව යටින් තියලා යන්නේ. හැබැයි මන් වික්ටෝරියා ප්ලේස් එකට ආව සම්මජ්ජාතියේ නම් ඒ කොල්ලට මාව ඇහැ ගැටෙන්න මාග්‍රට් නැන්දා දුන්නෑ.

ඇහැ ගැටෙන්නය කියලා දේකුත් නැහැ අප්පා. කිරි කොල්ලා ඇවිල්ලා ගේට්ටුවේ ටකරමට තට්ටුවක් දාලා "කිරි ගේනවා… පත්තර ගේනවා…" කියලා බෙරිහන් දෙද්දී ගිහින් ගේට්ටුව ඇරලා කොල්ලා තියලා ගිය පත්තර ටිකයි කිරි බෝතල් ටිකයි කුස්සියට ගේන්න තියෙන්නේ.

ඒත් මාග්‍රට් නැන්දා කිව්වේ ම කුමාරිහාමිලා වගේ හැදෙනවා මිසක්කා තැන් තැන්වල කොල්ලන්ගේ ඇහැ ගැටෙන්න යන්න ඕනි නෑ ය කියලා.
කිරි කොල්ලා තමිල් හින්දා මං ඒ කොල්ලා එක්ක යාළු මිත්‍රකම් පටන් ගනීවි කියලා මාග්‍රට් නැන්දාට බයක් ඇතියි කියලයි මට නම් හිතුනෙම. වැඩේමයි... මොකෝ මන් මාග්‍රට් නැන්දා කිව්වා කියලවත් ඔය කොල්ලෝ එක්ක කියවන්න යනවා යෑ. හැබැයි මට වෙලාවකට මෙහෙමත් හිතුනා. ඒ කොල්ලාත් මන් වගේ ම වත්තකින් පැනලා ඇවිදින්ද කියලා.

ඒත් මාග්‍රට් නැන්දාට ඒක කියන්න ගියාම එයා මට ගස්සාගෙන යන්ට ගියා. ඒ තමා මාග්‍රට් නැන්දා මට ගස්සාගෙන ගිය එක ම වතාව. එයැයිට එච්චර තරහා ගියේ ඇයි කියලා නම් අනේ මන්දා.
කොහොම වුණත් ඉතින් මමත් දැන් වික්ටෝරියා ප්ලේස් එකට ඇවිල්ලත් සෑහෙන කාලයක් හින්දා. එපා කිව්ව සමහර දේවල් ටික ටික කරන්න හම්බෙනවා.

"වැඩකාරියෙක් වගේ කිරි බෝතල් උස්සන්න එනවා එහෙම නෙවෙයි" කියලා සුභද්‍රා නෝනා කියලා තියෙන හින්දා කිරි කොල්ලා එක්ක බජනෙට නම් යන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මාග්‍රට් නැන්දා කිරි බෝතල් ටික ගේන්න යද්දී එතන දාලා ගිහින් තියෙන පත්තර ටික අරගෙන ඇවිදින් බැලුවාට කමක් නෑ කියලයි සුභද්‍රා නෝනා කිව්වේ.

 ඉතින් දැන් හැමදාම උදේට පත්තරේ ගන්න යන්නේ මම. කිරි බෝතල් ටික ගන්න යන්නේ මාග්‍රට් නැන්දා. හැබැයි මාව දැක්කාට කිරි කොල්ලාත් මොකුත් කියන්නේ නැහැ. බලන්නේ ම බයාදු විදිහට. මන් හිතන්නේ ඒ මගේ පෙනුමට වෙන්න ඇති.

මාව දැක්කම වත්තක තමිල් කෙල්ලෙක්ය කියලා කියන්නට අමාරුයි කියලයි ශාස්ත්‍රීත් කියන්නේ. ළා දුඹුරු පාට කොණ්ඩේයි තනි කිරි සුදු පාට හමයි මං මයේ අප්පාට ජාතක වෙච්ච කෙල්ලෙක්ය කියන කාරණාව සහතිකවම කියන්ට පුළුවන්. මයේ මුණේ දිගටි හැඩේ නම් ඉතින් මයේ අම්මා වගේ.
හැබැයි නළලට තිලකේ තියලා පිච්ච මල් වැලක් තියලා කොණ්ඩේ ගෙතුවාම නම් නියම ඉන්දියන් කෙල්ලෙක් වගේ කියලයි ශාස්ත්‍රී නම් කියන්නේ.

ඒත් ඉන්දියන් කෙල්ලන්ට වැඩිය මයේ හම සුදු හින්දා පරහකුත් නැතිව නෙවෙයි ඉතින්. අනේ මන්දා.
ඒ අස්සේ එක දවසක් මාග්‍රට් නැන්දාට මාව පෙන්නලා කිරි කොල්ලා ඇහුවලු අර ඉන්නේ වික්ටෝරියා නෝනා හාමු ද කියලා... ඒක අහලා මට හොඳට ම හිනා. මාග්‍රට් නැන්දාත් ජෝසප්ට විහිළුවට ද කොහෙද "ඔව්" කියලා ඇවිල්ලා. සුභද්‍රා නෝනා නම් හිනාවෙලා කිව්වේ මාග්‍රට් එහෙම ඔව් කිව්ව එක හොඳයි කියලා. විකාර අප්පා... එතකොට මයේ නම නිකම්ම සින්ඩරෙල්ලා වික්ටෝරියා ඇන්ඩර්සන් වෙනවා.
එහෙම කියලා අපි හිනා වෙද්දී තමයි සුභද්‍රා නෝනා මේක කිව්වේ.
සුභද්‍රා නෝනාගෙන් පල්ලියේ පාදිලි උන්නාසේ ටික දවසකට කලියෙන් ඇහුවාලු මාව බෞතිස්ම කරලාද කියලා... මන් එහෙම එකක් දන්නේ නැතිව ඇතිය කිව්වම උන්නාසේ කිව්වාලු. එහෙනම් මාව බෞතිස්ම කරලා තව සක්‍රමේන්තු මොනවදෝ දෙන්න එක්කන් එන්නය කියලා. බෞතිස්ම කරන්න මට භාරකාරයෝ දෙන්නෙක් ඕනේ වෙනවාලු.

ඉතින් කැපකාර අම්මා හැටියට නම් සුභද්‍රා නෝනාට ඉන්න පුළුවන්ය කියලා පාදිලි උන්නාසේට සුභද්‍රා නෝනා කිව්වාලු. හැබැයි පුරස්නේට තියෙන්නේ මගේ කැපකාර පියා වෙන්න කෙනෙක් නැති එකලු. ඇයි ඉතින් වික්ටෝරියා ප්ලේස් එකේ හරිහමන් පිරිමි පුළුටක් කියලා ඉන්න එකක්යෑ. ඒ වුණාට පාදිලි උන්නාසේ කිව්වාලු කැපකාර පියෙක් ඕනිමයි කියලා.

ඉතින් ඒ කොයි හැටි කල්පනා කරත් සුභද්‍රා නෝනාට කෙනෙක් මතක් වුණේම නැතිලු. වෙලාවට ඒ වෙලාවේ ඕක අහපු මිසිස් තේනුවර මෙහෙම කියලා තියෙනවා. " ඕවාත් ප්‍රශ්නද සුභද්‍රා..? අපේ ගෙදරත් පිරිමි දෙන්නෙක් ම ඉන්නේ " කියලා. එහෙ පිරිමි දෙන්නෙක් ම උන්නාට දෙන්න ම ලංකාවේ නැති එකලුනේ වැඩේ. ඒ ශාස්ත්‍රීගේ තාත්තයි අයියයි. අයියා ඉගෙන ගන්නේ කොහේදෝ රටකලු. ශාස්ත්‍රීගේ තාත්තා නම් මාස තුනක විතර බිස්නස් ටුවර් එකකට රට ගිහිල්ලාලු.

 දැන් ඉතින් මොකක් කරන්නද කියලා හිත හිතා ඉද්දි අද උදේ ආයෙත් කෝල් කරපු ශාස්ත්‍රීලාගේ අම්මා කිව්වා ලු. "වැකේෂන් එකට ගෙදර එන්න හිටපු ලොකූ මේ විස්තරේ ඇහුවාම මාසයක් කලින් එන්නම් කියලා කැමති වුණා සුභද්‍රා" කියලා.
"ප්රෙස් ද ලෝඩ්" කියලා සුභද්‍රා නෝනා ෆෝන් එක තියනවා නම් මාත් දැක්කා. දැන් මට ඊළඟට පුරස්නේ කවුද ඔය කියන ශාස්ත්‍රීගේ අයියා? අනික ඔය බෞතිස්මේ කියන එක ඇයි ඔය හැටි හදිස්සි කොරන්නේ.
මන් පුංචි කාලේදීවත් එහෙම එකක් කරන්න බැරි වුණේ අපේ වත්ත ළඟ පල්ලියේ පාදිලි උන්නාසේ මං වගේ අප්පා නැති බබෙක්ව බෞතිස්ම කරන්න අකැමති වුණ හින්දා ය කියලා කවුරු හරි මට ඒ දවස්වල කියලා තිබ්බා මට මතකයි. මයේ හිතේ පාති වෙන්න ඕනි. ඒ හින්දා කවදාවත් මට පුජාවේ දී ලබන්න හම්බුණේ නැහැ.

 මයේ අම්මා කීවේ බෞතිස්ම නොකර ලබන එක හරි පව්ලු. කොහොම වුණත් ඔය ඔක්කොම අහගෙන උන්නු පාට්ටන් කිව්වේ ඔය වගේ කුඩුකේඩු ආගමක් අදහනවාට වැඩිය කෝවිල් ගියා නම් ඉවරයි කියලා.
ඒත් මිනිස්සු කුඩුකේඩු වුණාට දෙවියෝ කවදාවත් කුඩුකේඩු නැහැයි කියලායි මං හිතන්නේ. ඒ හින්දා මිනිස්සු මොනා කිව්වත් මන් ආසයි පල්ලි යන්න. අනික මගේ අප්පාත් මන් වගේ ම කොහේ හරි පල්ලියක ඉඳන් හැම ඉරිදා ම පූජාව අහනවා ඇති නේ.
එහෙම හිතද්දීත් මට සතුටුයි. ඒ මදෑ.