ඉතිං එහෙනම්  යන්න අවසරයි

ඉතිං එහෙනම්  යන්න අවසරයි

ඔහිය කියන්නේ වැලිමඩ ඉඳන් හෝටන් තැන්න හරහා කළුපහනට යන පාරේ තියෙන පුංචිම පුංචි කඩ මණ්ඩියක්...

 ඔහිය ජනාකීර්ණ වෙන්නේ කෙළඹ සිට බදුල්ලට දිවෙන කෝච්චි වලින් එන බහුතරයක් විදේශිකයින් සහ සුළුතරයක් වන දේශීය සංචාරකයින් නිසා....

විදේශිය සංචාරකයින් ඉලක්ක කරගෙන සංචාරක නිකේතන ගණනාවක් ඔහිය කිට්ටුව තියෙන්නේ මෙසේ පැමිණෙන බහුතරයක් සංචාරකයින් ගේ නවාතැන් සහ ආහාර පාන අවශ්‍යතා සපුරන්න...

ඒත් ඒ වගේ සුපිරි මිල ගනන් නිසා සාමාන්‍ය පන්තියේ දේශීය සංචාරකයින්ට ඒ මිල ගණන් දරා ගන්න අමාරුයි...

එහෙම අයට පිහිටට එන්නේ ඔහියෙ ගාමිණී අයියා තමයි...

ඔහිය දුම්රිය පොළ ඉස්සරහ පුංචි තේ කඩයක් කරගෙන යන ගාමිණී අයියත් එයාගේ බිරිඳත් තමන්ගේ කඩේට යාබදව තියෙන පුංචි ගෙදර අඩු වියදම් සංචාර යන දේශීය සංචාරකයින්ට ලබාදෙන්නේ බොහොම සාධාරණ මිලකට...

කෝච්චි පාර දිගේ පට්ටිපොළ - ඉදලගස්හින්න අතර ඇවිදින අපිටත් මේ සැරේ විතරක් නොවෙයි කිහිප වරක්ම නවාතැන් සහ ආහාර සැපයුව ගාමිණි අයියා මෙවර සංචාරයේදිත් අපිට ගොඩක් උදව් කළා....

පට්ටම පට්ට හීතලේ නාන්න කම්මැලි කමේ හිටපු මාධවලට, සන්තුෂ්ලට, නෙතූලට, නවෝදාට වතුර කල්දේරම් ගණන් උණු කරල දෙන්න - අමාරුවෙන් එකතු කරගත්තු දර කඳන් පවා ලබාදෙමින් සහයෝගය දුන්නා...

එහෙම ලෙංගතුකමින් සළකපු ගාමිණී අයියාගේ කඩෙන් උදේටත් කාලා හරියටම උදේ අට වෙද්දි එළියට බැස්ස අපි, අපේ දවල් කෑම ටික ඊළඟ කෝච්චියෙන් ඉදල්ගස්හින්නට ගෙනත් දෙන්න කියා කළ ඉල්ලීමත් ගාමිණී අයියා පිළිගත්තා...

ඔහියෙ ඉඳන් ඉදල්ගස්හින්න දක්වා දුම්රිය මාර්ගය ඉතාමත් සංවේදී පරිසර පද්ධතියක්..

ඒ නිසාම කිසිම බාහිර පුද්ගලයෙකුට මේ මාර්ග කොටසට හිතුමතේ ඇතුළු වෙන්න බෑ.

ඔහිය ස්ථිර මාර්ග පරීක්ෂක කාර්යාලයේ ඉංජිනේරු තෙන්නකෝන් මහතාගෙන් ලබාගෙන තිබූ පෙර අවසරය නිසා අපේ පිරිසට නම් කිසිම බාධාවකින් තොරව මෙම මාර්ග කොටසට ඇතුළු වෙන්න අවස්ථාව ලැබුණා.

මේ මාර්ග කොටස අයත් වෙන්නේ හෝටන් තැන්නට නිසා පාරිසරික වශයෙන් වැදගත්කමක් තියෙනවා වගේම මෙරට දුම්රිය ස්ථාන දෙකක් අතර පවතින වැඩිම බිංගෙවල් සංඛ්‍යාව ලෙස බිම්ගෙවල් 14ක් හමුවන මාර්ග කොටස නිසා දුම්රිය දෙපාර්තමේන්තුවටත් ඉතා වැදගත්.

 ඒ විතරක් නෙවෙයි ඔහිය දුම්රිය වැඩ හල, මාර්ග ඉදිකිරීමේදී සහ පසුකාලින අළුත්වැඩියාවන්වලදී ගල් වෙඩි පිපිරවීමට ගෙනා පුපුරණ ද්‍රව්‍ය ගබඩා කළ වෙඩි බෙහෙත් කාමරය, මාර්ග නඩත්තු කටයුතු කරන ඩක්කු ආසිරි ගන්වන හින්දු දේවාලය, තනි ආරුක්කුවේ ගල් පාලම, ඉන්දීය දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන වගේ ගොඩක් වැදගත් ස්ථානත් මේ මාර්ග කොටසේ දකින්න පුළුවන්.

පෙළින් පෙළට අතුරපු සිල්පරවලින් ඇතිවන හිඩැස්වලට පුංචි පුංචි ගල් කැටවලින් පුරවපු රේල් පාරේ ඇවිදගෙන යන අපිට ඉදල්ගස්හින්න පැත්තෙන් දුම්රියක් පැමිණෙන හඬ ඇහෙන්නට වුණා...

 ඒ බදුල්ලෙන් කොළඹට යන උඩරට මැණිකේ දුම්රිය... ඒ දුම්රිය අපිව පහුකරගෙන ඔහිය පැත්තට ගියහම අපි ආයෙත් කෝච්චි පාරට ගොඩ වුණා... ටික දුරක් යනකොට අපේ කණ්ඩායමේ පසු පසුසින්ම හිටිය සන්තුෂ් ගෙන් පිරිසට හදිසි සංඥාවක් ලැබුණා...

අපි ආයෙමත් දුම්රිය පාරෙන් අයින් වුණා... විසිල් හඬක් සමඟ සාමාන්‍යයෙන් දුම්රිය පාරේ නොදකින අමුතුම වාහනයක් ඔහිය දෙස සිට ඉදල්ගස්හින්න පැත්තට වේගයෙන් ගමන් කළා....

 එහි සේවකයින් සහ ඔවුනගේ උපාංගත් තිබුණා...

මේ අමුතුම වාහනය තමා “ඩක්කුව” ... මේක දකින්න පුළුවන් කඳුකර මාර්ග ප්‍රදේශවල පමණයි... නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා මේ වාහනය සරල යන්ත්‍ර ඝණයට වැටෙන අපූරු උපාංගයක්.

පහළ ට යන්න කිසිම ඉන්ධනයක් අවශ්‍ය නෑ.... ඉහළට එන්න වෙන්නේ නම් ඒ පැතතට යන දුම්රියක අමුණගෙන තමයි.

පහළට යද්දි ටිකක් වේගයෙන් යන කොට දුම්රිය මාර්ගයේ සිටින කෙනෙක් අනතුරට ලක්වෙන්න ඉඩ තියෙන නිසා ඉදිරි අසුනේ ඉන්න බලයලත් නිළධාරියා විසිල් එකක් පිඹිමින් තමා යන්නේ....

අපේ සන්තුෂ් ඒ විසිල් හඬ කලින් ඇසුණු නිසා තමයි පාරෙන් අයින් වෙන ලෙසට සංඥා කලේ...

“මට නම් ඩක්කුවක් ගන්න ආසයි...” ඩක්කුවේ ගමන බලාගෙන හිටපු නෙතූ තිලකරත්න කිව්වා...

“ ඔයා ඉද්දි තවත් ඩක්කු මොකටද?” ශාලික එහෙම කිව්වා....

ඔන්න ඔයවගේ සුන්දර කතන්දර මැද්දෙන් අපේ දුම්රිය මාර්ග චාරිකාව හෙමි හෙමින් ඉස්සරහට ඇදුණා...

අංක 22, 23, 24 විදියට අංකනය කරපු බිංගෙවල් පහු කරගෙන එන අපිට දුම්රිය මාර්ගයේ පීලිවල ඇණ තදකරමින්, පීලිවල තෙල් තවරමින් විශාල මිටියක් සහ අඬුවක් ද ගත් සේවක යුගලයක් හමුවුණා.

“පෙට්‍රල්මන්” සහ “යතුරු කරු” යන තනතුරු දරණ මාර්ග සේවකයින් දෙදෙනෙකු හමුවුණා...

අබලන් වන පීලි ඇණ සවිකිරිමත්, මාර්ග අවහිරතා ඇතිවන අවස්ථාවල දුම්රිය අනතුරු වළක්වා ගැනිමත් ඔවුන්ගේ රාජකරි වලට අයත් බව ඔවුන්ගේ කතා බහෙන් හෙළි වුණා...

“කන්දක් නාය ගිහාම දුම්රිය අනතුර වළක්වා ගන්නේ කොහොමද? “

“ඒ වෙලාවට අපි ගාව තියෙන රතු පාට කොඩි - පීලි වෙඩි භාවිත කරලා දුම්රිය, අනතුර ළඟට ළඟාවීම නවත්තනවා...”

“පීලි වෙඩි..... ඒ මොනවද ඒ....”

“පීලි වෙඩි කියන්නේ රේල් පිල්ලට හයිකරන පුංචි බෝම්බයක් ...”

එහෙම කියපු ඔහු රතුපාට ඇලුමිනියම් කවරයක් සහ ඇලුමිනියම් පටි දෙකක් සහිත හුරුබුහුටි උපාංග දෙකක් අපේ අත්වල තැබුවා.

“අම්මෝ බෝම්බ....” එහෙම කියපු නවෝදා නැවතුනේ ටිකක් විතර අතට ගිහින්...

පීළි වෙඩි ගැන කතන්දර දැනගත්තු අපි ඔවුන්ට සමුදීලා ආයෙමත් ගමන පටන්ගත්තා...

දුම්රිය දෙපාර්තමේන්තුව ඉලක්කම් වලින් බිංගෙවල්වලට අංක දැම්මට, මේ බිංගෙවල් වලට සේවකයෝ සහ ආශ්‍රිත පදිංචි කාරයෝ දාලා තියෙන්නේ අපූරු නම්... වැලි බිංගේ, වැල්කාර බිංගේ, ගල් ගේ වගේ නම් ඒ විදියට බිංගෙවල්වලට දාලා තියෙනවා....

අපිට ඊළගට හමුවුණු අංක 26 බිංගේටත් අපූරු නමක් තියෙනවා.... ඒකට කියන්නේ වට්ටක්කා බිංගේ කියලා... ඒ බිංගේ හැඩය වට්ටක්කාගෙඩියක් වගේ නිසා එහෙම කියනවයි කියල තමා දැනගන්න ලැබුණේ...

මෙන්න මේ විදියට දුම්රියකින් ගිහින් කිසිදාක විඳින්න බැරි අපූරු අත්දැකිම් ටිකක් සහ විශේෂ ස්ථාන ගණනාවක් දැකගෙන, සුන්දර ඡායාරූප ගොන්නකුත් එකතු කරගෙන පැය හයක විතර පාගමනකින් පස්සේ අපි ඉදල්ගස්හින්නට ළඟා වුණා...

අපේ දුම්රිය මාර්ග පාද චාරිකාව ඉදල්ගස්හින්නෙන් අවසන් වුණත් ඊළගට එන දුම්රියෙන් බදුල්ල දක්වා ගමන් කිරීමෙන් තමයි අපේ වැඩසටහන අවසන් වෙන්න නියමිතව තියෙන්නේ....

ඉදල්ගස්හින්න කියන්නේ බොහොම සුන්දර හුදකළා දුම්රිය ස්ථානයක්... කටුසු කොන්දක් වගේ කඳු ඉහත්තාවක විරාජමාන මේ ප්‍රතාපවත් දුම්රිය ස්ථානයේ සිට ඈත මාගම්පුරය දක්වාම අසිරිය බලාගන්න පුළුවන්. මේ දුම්රිය ස්ථානය සම්බන්ධ තවත් ලසසන කතාවක් තියෙනවා...

ඒ තමයි මේ දුම්රිය ස්ථානයේ වහළයේ දෙපසින් වැටෙන වැසි ජලය ගංගාවන් දෙකක් පෝෂණය කරන බව... ඉදිරිපස වහළයේ වතුර වැටෙන්නේ වැළිමඩ පැත්තට.. ඒ වතුර ගලා යන්නේ මහවැලි ගඟට... පසුපස වහළයේ වතුර වැටෙන්නේ උඩවළවේ පැත්තට... ඒ වතුර ගලායන්නේ වළවේ ගඟට....

අපි නියමිත දුම්රිය එනකම් ඔහියේ ගාමිණී අයියා එවපු කෑම ටික කන්න ගත්තා. ඊට පස්සේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ලස්සන ෆොටෝ එකතුවක් එහෙමත් ගත්තා. විනාඩි ගණනක් පමාවෙලා ආව පොඩි මැණිකේ දුම්රියට ගොඩවුණු අපි හැමෝම සුන්දර චාරිකාවක සාර්ථක අවසානය හොයාගෙන බදුල්ලට ගියා..

බදුල්ලෙන් වැඩසටහන අවසන් කරපු අපේ පිරිවර දෙපසට විසිරිලා ගියා... කට්ටියක් බදුල්ලෙන් රාත්‍රී තැපැල් දුම්රියට ගොඩවෙද්දී අනෙක් අය බස් එකේ කොළඹට ගියා. එහෙම වෙන්වෙලා ගියේ ළඟදිම දවසක අපේ ඊළඟ චාරිකාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් .. ඒ චාරිකාවේ තොරතුරුත් දිනමිණ Y අතිරේකයේ සහෘද පාඨක ඔබත් සමඟ බෙදාගන්න අපි සූදානම්....

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් හෝ Y by Road කණ්ඩායම සමග අපූරු සංචාර වල යෙදෙන්නට අවශ්‍ය නම් අපිට කතා කරන්න... Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...