වික්ටර් සහ ජීවිතය

වික්ටර් සහ ජීවිතය

කලාකරුවෙකුගේ කලා කෘති මිසක් ඔවුන්ගේ ජීවිතය රස විඳින්නට වුවමනා නෑ. එහෙම අනුන්ගේ ජීවිත රස විඳින්නට අපට අයිතියක් ඇතැයි මා සිතන්නේත් නෑ.. අනෙක් මිනිසුන් ජීවත් විය යුත්තේ අප පිනවීම හෝ අපේ රස වින්දනය සඳහා නොවෙයි.. අනුන්ගේ ජීවිතය අයිති අනුන්ටයි.. එය වර්තමානයේ ශිෂ්ට යැයි සම්මත සමාජයක පොදු පිළිගැනීමක්.. පුද්ගල නිදහස කියන සංකල්පය සමාජයක ගොඩ නැගෙන්නේ මේ පිළිගැනීම තුළයි..

වික්ටර් රත්නායකගේ විවාහය හෝ එහි වැරදි, නිවැරදි බව හෝ ඒ ගැන ඇති කතාබහ ගැන කිසිවක් මට ලියන්නට වුවමනා නැත්තේ ඒ නිසයි.. මේ ලෝකයේ බොහෝ දේවල් හරි, වැරැද්ද කියන කෝදුවෙන් මනින්න බෑ. එහෙම මනින්න පුළුවන් නම් මේ ලෝකයවත්, ජීවිතයවත් මේ තරම් සංකීර්ණ වෙන්නෙත් නෑ.

‘ද ට්‍රැවලින්ග් රෙස්ට්‍රෝන්ට්’ පොත ලියූ බාබරා එල්ස් කියන ලේඛිකාව කීවේ ජීවිතයේ සංසිද්ධීන් වල හරි වැරැද්ද තෝරා ගන්නට දැන් තමන් මහලු වැඩියි කියලයි.. ඒ කතාව ඇත්ත. ජීවිතය තියෙන්නේ වැරැද්ද හෝ නිවැරැද්දට එපිටින්.

ඒත් ඒ බව තේරෙන්න බොහෝ කලක් ජීවත් විය යුතුයි.

මේ යථාර්ථය වික්ටර් රත්නායකටත්, අමරදේවටත්, සරච්චන්ද්‍රටත්, කහටගස්දිගිලියේ සිරිපාලටත්, හම්බන්තොට සමන්තිටත් පොදුයි..

කොහොම වුණත්, ආදරය විෂයෙහි මට වික්ටර් රත්නායක වැදගත් වෙන්නේ ඔහු කියන ගීත හා සබැඳුණු මතකයන් නිසයි. ඒ ගීත තුළ වික්ටර් දකින්නත්, වික්ටර් ගේ ජීවිතය තුළ ඒ ගීත දකින්නත් මට අවශ්‍ය නෑ.. මේ වගේ සමාජ ආර්ථික වටපිටාවක එහෙම එහෙම හිතන්න ගියොත් ඒක මුලාවක්..

මීට කාලයකට කලින් එක්තරා සැදෑවක අඳුර වැටීගෙන එන වේලාවක මා මිතුරන් දෙදෙනෙකු සමග උණවටුන වෙරළ තීරයේ අවන්හලක සිටියා.. සතියේ දවසක නිසා එදා වැඩි සෙනගක් හිටියේ නෑ. අපි බොහෝ දේ කතා කළා. දේශපාලනය ගැන, මාධ්‍ය ගැන, කවි ගැන, ජීවිතය ගැන විවිධ දේ ඒ කතා බහ තුළ තියෙන්න ඇති.. ඒත් තවත් මොහොතකින් මට දැනුණේ මගේ සිත තුළ මටත් නොදැනී කුමක් දෝ ගීතයක් මිමිණෙන බවයි..

මගේ සිත ඒ සංවාදයෙන් ඉවතට ගියා.. මට මිතුරන් කතා කරන කිසි දෙයක් ඇසුණේ නෑ.

ඒ වෙනුවට, අඳුරු අහසේ තරු එකින් එක දිලිසෙන හැන්දෑවක, නොනවත්වා හඬන මහ මුහුදත්, නොනවත්වා හමන සුළඟත් අතරින් මට වික්ටර් රත්නායකගේ සදාහරිත කටහඬ ඇසුණා.. ඒක ප්‍රේමකීර්ති ලියූ ගීයක්.

‘කතරට කුමටද වසන්තයක්

සයුරට කුමටද අනන්තයක්

ඔබ පිළිබඳ සිත මගෙ තනියට ඇත

මට කුමටද වෙන සිතක් කයක්..

දුහුවිලි සුළි සුළි නැගෙයි බිඳෙයි

දිය ඇලි දිය ඇලි ඇදෙයි රැඳෙයි

මතකය ලුහු බැඳ ඔබ වෙත එන සඳ

ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි..’

වික්ටර් රත්නායක කියන ගායකයාට ආදරය කරන්නට ඒ විනාඩි දෙක-තුන මට හොඳටම ඇති..