නිරුවත පෙන්නලා මගේ සිංදු ප්‍රමෝට් කරගන්න මට ඕනෙ නැහැ

නිරුවත පෙන්නලා මගේ සිංදු ප්‍රමෝට් කරගන්න මට ඕනෙ නැහැ

නදිමාල් මොකද මේ දවස්වල වෙන්නේ ?

මගේ අලුත්ම සින්දුව “ මායම් කලාවේ “ මාර්තු නමවෙනිදා අවුට් වුණා. මේ වෙද්දී හිතා ගන්න බැරි තරම් හොඳ ප්‍රතිචාර තියෙනවා. සින්දුවේ වැඩි හරියක්ම කරේ සනුක.

තනු නිර්මාණය, වචන ඔක්කොම සනුකගේ. ඊට පස්සේ සින්දුව මික්ස් කරේ විනෝද් මෙල්පිටිය, මේකේ පියානෝ ගැහුවේ සුගත් අසංක හෙට්ටිආරච්චි, ඩ්‍රම්ස් කෞෂාන් විජේසූරිය, බටනලා ගැහුවේ ධනංජය. අපි හැමෝම එකතු වෙලා කරපු වැඩක් මේක.

මේ සින්දුව රිලීස් වෙන්නත් කලින්ම YouTube එකේ තිබ්බා නේද ?

ඒක වුණේ මෙහෙමයි. වීඩියෝ එකයි ඕඩියෝ එකයි දෙකම එකට රිලීස් කරේ පහුගිය 9 වෙනිදා. හැබැයි මම මිට කලින් ඒක අවස්ථා දෙක තුනකදී මායම් කලාවේ සින්දුව නිකම් එවෙන්ට්වල දී ලයිව් කියලා තිබුණා.

ඒවාවල දී කට්ටිය වීඩියෝ කරලා ඒවා නම් යූ ටියුබ් එකේ ෂෙයාර් වෙලා තිබුණා.

youth එකේ කට්ටියගෙන් හම්බෙන ප්‍රතිචාර කොහොමද ?
සින්දුවට ප්‍රතිචාර වැඩියෙන් ම හම්බෙන්නේ ගෑනු ළමයින්ගෙන් නේද ?

එහෙම නැහැ ඉතින්. යූත් එකෙන් ලැබෙන ප්‍රතිචාර හොඳටම හොඳයි. යූත් එකේ අය සෑහෙන පිරිසක් සින්දුව එක්ක එකතු වෙලා තියෙනවා. ගෑනු ළමයින්ගෙන් වගේම පිරිමි ළමයින්ගේනුත් හොඳ ප්‍රතිචාර තියෙනවා. කරපු පළවෙනි සින්දුව වගේම පළවෙනි වීඩියෝ එකනේ මේක.

කොහොමද රඟපාන එක ලේසි වුණා ද ?

අපෝ නැහැ. සැහෙන්න වැඩේ අමාරු වුණා. මට කොහොමත් රඟපාලා පුරුද්දක් තිබුණෙත් නැහැ නේ. ඒ හින්දා සැහෙන්න අමාරු වුණා. මගේ වීඩියෝ එකේ ගර්ල්ට හිටියේ ෂෙහානි. මට සැහෙන්න උදව් කරා වීඩියෝ එක කරද්දී.

ලංකාවේ දැන් සින්දුවක් හිට් කරගන්න ඕනි නම් වීඩියෝ එකක් නැතිව බැහැ කියනවානේ. ඊට පස්සේ ආයේ මතයක් තියෙනවා වීඩියෝ එකක් හිට් කරගන්න මාකට් කරගන්න ඕනි නම් එකේ විවිධ රූපරාමු ඇතුළත් වෙන්න ඕනි කියලා ? ඒ ගැන මොකද හිතන්නේ ?

මිනිසුන්ගේ ආකල්ප දකින විදිය වෙනස් නේ. ආකල්ප තමයි හැමදේටම. අනික එහෙම එක එක දේවල් දැම්ම සින්දුව කොච්චර හොඳ වුණත් නරක වුණත් ඒවා බලන්න ඕනාවට නේ මිනිස්සු සින්දුව අහනවාට වැඩිය වීඩියෝ එක බලන්නේ.

ඊට පස්සේ කරන්නේ සින්දුව අහන්නේ නැතිව වීඩියෝ එක බලලා ඒකටම බැන බැන යන එකනේ වෙන්නෙත්. ඇත්තටම ඒක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. මම කරන නිර්මාණයක කවදාවත් එහෙම දේවල් දාලා ප්‍රමෝට් කරගන්න මට ඕනි නැහැ. මම එහෙම කරන්නෙත් නැහැ.

 මම හිතන්නේ මගේ සින්දුවක් බලන්න ඕනි අය ඉන්නවා නම් බලයි. අකැමති කට්ටිය නොබලා ඉඳිවී.කාවවත් සින්දුව අහන්න බලෙන් ගෙන්න ගන්න ඕනි නැහැ නේ.

පළවෙනි සින්දුව කිව්වට මීට කලින් තව සින්දුවක් ආවා නේද ළඟදී ?

මේක පළවෙනි සින්දුව තමයි ඇත්තටම. ඒක වුණේ මෙහෙමයි. මම මායම් කලාවේ සින්දුව කරලා ඉද්දි තිසර බණ්ඩාර අයියා එක්ක එකතු වෙලා රාත්‍රියක් කියලා සින්දුවක් කරා. මායම් කලාවේ සින්දුව එන්න කලින් එළියට ආවේ ඒ සින්දුවේ audio එක. හැබැයි ඇත්තටම ඒ මගේ දෙවෙනි සින්දුව. මම සින්ග් කරපු මගේ හරියටම පළවෙනි සින්දුව වෙන්නේ මායම් කලාවේ එක තමයි.

තාත්තායි සීයයි දෙන්නම සංගීත කේෂ්ත්‍රයේ සලකුණක් තියපු අයනේ. නදිමාල් ඒ අඩි පාරේ යන්නද අදහස ?

ඔව් ඒ අඩි පාරේ යන්න දැන් අසාවක් බලාපොරොත්තුවක් තියෙනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මියුසික් කරන අපි හැමෝගේම ආසාව කේෂ්ත්‍රයේ ඉහළට ම යන එක නේ. මටත් ඒ ආසාව තියෙනවා. සියා තමයි මට පොඩි කාලේදී ගිටාර් එකේ ඉඳන් ඉගැන්නුවේ. මෙහෙමයි කරන්නේ කියලා. අපේ ගෙදර ඉස්සර ඉඳන්ම සීය තාත්තා බාප්පාල එහෙම මියුසික් කරනවා ඇහෙනවා. මටත් ආසාවක් ආවා ඒවා දකිද්දී මියුසික් කරන්න ඉගෙන ගන්න.

දිගටම සංගීත ක්ෂේත්‍රයේ රැදේවි ද ඒ කියන්නේ ?

කවදාවත් වෘත්තියක් විදියට මියුසික් කරන්නේ නැහැ. වෘත්තියක් විදියට නොකරාම දිගටම සංගීත ක්ෂේත්‍රය එක්ක රැදෙනවා. මියුසික් කරන එක නවත්තන නම් කිසිම අදහසක් නැහැ. මම මියුසික් කරන්න පටන් ගත්තේ පොඩිම කාලේ. සින්දු කියන්න නම් පටන් ගත්තේ ස්කොලේ පහ වසරේදී විතර. ඒ කාලේ ස්කොලෙන් මාව එක එක තරගවලට එහෙම යවනවා. ඒවත් එක්ක එහෙම ඇවිල්ලා හරියටම මියුසික් කරන්න පටන් ගත්තේ ඇත්තටම මේ යාළුවො ටික හම්බුනායින් පස්සේ තමයි. එතැනට එනකම් මට කිසිම අයිඩියා එකක් තිබ්බේ මම දිගටම මියුසික් කරන්නවද කියවලාවත්. මගේම කියලා දෙයක් කරන්න ඕනි කියලා මට හිතුනේ ඊට පස්සේ තමයි.

නදිමාල්ගේ යාළුවො නදිමාල්ට සැහෙන සපෝර්ට් එකක් දෙනවා නේද ඒ කියන්නේ ?

ඇත්තටම ඔව්. එයාලගේ සැහෙන්න සපෝර්ට් එකක් තියෙනවා ඇත්තටම. මගේ වීඩියෝ එකේදී විතරක්ම නෙවෙයි අපි හැමෝගෙම වැඩවලදී අපි හැමෝම සපෝර්ට් කරගන්නවා. ඒක ඇත්තට අපි අතරේ තියෙන bond එක. අපි අපේ යාළුකම කවදාවත් නැති වෙන යාළුකමක් නෙවෙයි ඇත්තටම. මේ යාළුවො ටික හම්බුනායින් දිගටම කට්ටිය එක්ක මියුසික් කරන්න හිතුනේ. අනික මම වුණත් ඉස්සර එහෙම වැඩිය සින්දු අහන කෙනෙක් නෙවෙයි. ඉස්සර එක සින්දුවක් ඇහුවොත් ඒක එපා වෙනකම් අහලා ඊට පස්සේ ආයේ වෙන මොකක් හරි හොයා ගන්නවා. දැන් තත්ත්වය වෙනස්.

යාළුවො කට්ටිය එකතු වෙලා කොන්සර්ට් එකක් කරන්න අදහසක් නැද්ද ?

ඇත්තටම එහෙම අදහසක් තියෙනවා. ඒත් අපි ප්ලෑන් කරලා කිසිම කොන්සර්ට් එකක් තවම කරන්න බැරි වුණා. ඔය වෙනත් කට්ටිය මැදිහත් වෙලා සංවිධානය කරන ඒවා. අපි අදහසක් තිබුණා ට අපි යාළුවො එකතු වෙලා අපේ ම කොන්සර්ට් එකක් කරන්න තවම අපිට ඕනා විදියට ඒක කරගන්න බරී වුණා. කවදා හරි දවසක අපි ප්ලාන් කරලා එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

තාත්තා සින්දුව බලලා මොකද කිව්වේ ?

ඇත්තටම තාත්තා වීඩියෝ එක බලලා මොනවත් කිව්වේ නැහැ. තාත්තාගෙන් කමෙන්ට් එකක් ගන්න පොඩ්ඩක් අමාරුයි. හොඳ නැත්තම් හොඳ නෑ කියලා කියනවා. හොඳයි නම් මොකුත් කියන්නේ නැහැ. එයා මොකුත් කිව්වේ නැති නම් ඒක කියන්නේ හොඳයි තමයි.. එහෙම දෙයක් තමයි වුණේ. ඒ තාත්තාගේ හැටි.