බඩු හින්දා ගුටි කන්නෙත් මල් වගේ ඉන්න අපිනෙ දෙයියනේ

බඩු හින්දා ගුටි කන්නෙත් මල් වගේ ඉන්න අපිනෙ දෙයියනේ

ට අන්තිමට කෙල්ලෙක් හායි කියනකොට ලංගම බස් කහ පාටයි කියාගෙන ඔන්න මං පෑන අතට ගත්තා. පින් මදිද දන්නෑ කරුමයද දන්නෑ කියලා හිතෙනවා මට සමහර වෙලාවට.

ඇයි යකෝ අවුරුදු විස්සක් වෙලත් තාම කෙල්ලෙක් නෑනෙ මට. ඒත් යාළුවො නම් කිව්වෙ වැලන්ටයින් දවසට කෙල්ලෙක් නෑ කිය කිය අඬන්න එපාලු.

මොකද ඒඩ්ස් දවසට අපට ඒඩ්ස් තිබ්බෙත් නෑලු. හරියට උන් ළඟ මගේ වෛද්‍ය වාර්තා තියෙනවා වගේ තමයි කතාව. ඒ වුණාට ඉතින් ඉර තනිකඩයි.

මුළු ලෝකෙම එළිය කරයි කිව්වලු. ඒ වගේ ම තමයි මමත්. මං තනිකඩයි මුළු ගම්මානෙ ම සිරියාවයි. සමහරුන්ට නම් මේවා කියද්දි රිදෙයිද මන්දා.

ඒත් ගමේ උන් හිතාගෙන ඉන්නෙ මට යන යන තැන කෙල්ලො කියලා. ගමේ උන් නම් කමක් නෑ කියමුකො. අපේ හාමුදුරුවනේ, අපේ අම්මත් හිතන් ඉන්නෙ එහෙමයිනෙ.

ඒත් ඉතින් මමනෙ දන්නෙ මං ගැන. හිත යන්නෙ අක්කි බබාලටමයි කියාගෙන, ඔන්න ඔහොමයි මේ දවස්වල මගේ ජාතක කතාව.

මගේ ජාතකේ යටගිය දවස බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගෙ කාලෙ සිද්ධ නොවුණට වැඩිය ගනන් ගන්න එපා. මොකද මගේ ජාතකේ මේ විදිහට සිද්ධ වෙන්නෙ යහපාලන ආණ්ඩුව කාලෙ සිරි ලංකාවෙ. ඒ හින්දා ඉතින් මාර සනීපයි.

අපි ඉතින් දවසෙ පැය 24න් පැය 23ක් ම ඉන්නෙ ෆේස් බුකියෙ තමයි.

පැයක් ඉතින් වෙන්කරලා තියෙන්නෙ කාලාබීලා අඩියක් ගහන්න ම තමයි. යකෝ ෆේස් බුකියෙත් මේ දවස්වල මලකෝලම් තමයි වෙන්නෙ. සමහර උන් හිතාගෙන ඉන්නේ Profile පික්චරෙත් යට ඇඳුම වාගෙ දවසින් දවස මාරු කරන්න තියෙන දෙයක් කියලා.

උන්ගෙ වැඩේ ම ඒ මඟුල මාරු කර කර අපෙන් like ඉල්ලන එක. ඒ වුණාට අපි නම් ඔය face බුකියට ඇබ්බැහි වෙලා නෑ.මගෙ වැඩේ ම ඉතින් දවස ම ඇඳට වෙලා එක එක දේවල් plan කරන එක. මං ඇඳට වෙලා plan කරන දේවල්වල හැටියට තව ටික දවසකින් ඉරට වුණත් යන්න බැරිකමක් නෑ. අවුලකට තියෙන්නෙ සම්පත් මදිකම.

නැතුව ඉතින් බුද්ධි මට්ටමේ එහෙම ලොකුවට අවුලක් නෑ. මොකද මට මතකයි පමා වෙලා වැහැපන් වැහි වළාවේ කිය කිය ඉන්නෙ නැතුව දවසක් වැස්ස දවසක ඉස්කෝලෙකට ගියා කියලා.

ඇත්තද බං අරක්කු තිත්තයි කියන්නෙ? කියාගෙන ඉන්නකොට ඔන්න මට ඉස්කෝලෙ කාලය මතක් වෙනවා. මේ දවස්වල මං හෙන අහිංසකයා වගේ හිටියට ඒ දවස්වල මං හෙන මැරයා. මොකද පොඩි සද්දයක් දාලා පොඩි උන්ගෙ සල්ලි බලෙන් උදුරගෙන ඉස්කෝලෙ කැන්ටිමෙන් ලැවරියා කාපු අපිත් පාතාලේ වගේ තමයි. අන්න ඒ හින්දා ඔයාලා මට බය වෙන්න. මොකද අහිංසක තමයි දවසක අංගුලිමාල විදිහට පාට මාරුවක් දැම්මෙත්.

 ඉතින් බලන්නකෝ ඒකෙත් හැටි නේද? මං ඉස්කෝලෙ යන කාලෙ අච්චු පොත් ඔක්කොම දාලා ගියේ ඩෙස් එක යට. මං එහෙම කළේ උස්සන් යන්න බැරිකමට කියලා පන්තියේ හැත්තබුරුත්ත ම මට විහිළු කළා. ඒත් උන් දන්නෙ නෑනෙ, රජයේ දේපල ළඟ තබා ගැනීම බරපතල වරදක් කියලා. ඒ වුණාට ඉතින් ඒ දවස්වල ගුරුවරු වුණත් හිතන් හිටියෙ අපි ගෙදර ඉන්න බැරිකමට ඉස්කෝලෙ එනවා කියලා. ඔව් ඉතින්. ඇත්තත් ඒක තමයි.

ආරේ ගති නෑරේ කියාගෙන ඊයේ හතර සැරයක් රජරට රැජිනගෙ පෙට්ටි ගැලවිලාලු බං. යකූ බලන් ගියාම රජරට රැජිනත් එසේ මෙසේ බඩුවක් නෙවෙයිනේ. ඇත්ත ම කියනවා නම් උඩරට මැණිකෙලත් පරාදයි. ඒ කොහොම වුණත් පිනා දවසක් අපේ පන්තියට ඇවිත් මට කන පැලෙන්න එකක් කෙළියා කියහන්කො. ඇත්ත කියන්න ගිහින් ගුටි කාපු එක ම කාලකණ්ණියා මං වෙන්න ඇති.

පිනා ඇවිත් අහපි “ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?” කියලා. හැම එකාගෙන් ම අහන් ඇවිත් අන්තිමේ දි මගෙනුත් ඒක ම ඇහුවා.

මමත් ඉතින් ගත් කටට ම “ගලක් කපාගෙන ඉන්නවා” කිව්වා. එහෙම කිව්වා විතරයි මට මතක. සිහිය එනකොට මං ඉස්කෝලෙ කුණු ගොඩටත් වීසි කරලා දාලා. යකූ උන් දන්නෙ නෑනෙ පරම්පරාවෙන් කරන් ආපු ගඩොල් කර්මාන්තෙ ඊළඟට run කරවන්නෙ මං කියලා.

කොහෙද ඉතින් ඉස්කෝලෙ මහතැන වුණාට බුද්ධි මට්ටම බින්දුවයි. අපෝ ඉතින් පිනා කියන්නත් ලැජ්ජයි.

දවසක් මගේ කෑල්ල මට කියනවා…මට බඩුවක් ගැන කියන්න තියෙනවලු. මං කිව්වා ඒකිට “මං බඩු ගැන දන්නවා” කියලා. ඒකි කියනවා හා එහෙනම් එයාට අහගන්න කියන්නලු. මං “අම්බපාලි” කියනවා විතරයි මතක. සිහිය එනකොට හිටියෙ අර නවලෝක ඉස්පිරිතාලෙ හයේ වාට්ටුවෙ කියහන්කො.

දොස්තරලත් කියනවා මගේ ජීවිතේ බේරගත්තෙ හරි අමාරුවෙන්ලු. යකෝ මේ කොහෙවත් නැති බඩු හින්දා ගුටි කන්නෙත් මේ මල් වගේ ඉන්න අපි. ඉස්සර ප්‍රේම දඩයම යන කාලෙත් ඔහොම මඟුලක් මට වෙලා තියෙනවා.

නිකමට වගේ ආච්චිගෙන් ඇහුවා “අන්තිමට ශේෂා කෙල්ල මැරෙයි නේද?” කියලා. යකෝ මූසල කතා කියන්න එපා කියලා ඇරියා කියහන්කො පුටුව පාතට වැටෙන්න. මේ කොහෙවත් නැති ගෑනු හින්දා අපි නිකන් බොරුවට ගුටි කනවා.

දැන් ඉතින් සමහරුන්ගෙ ඇස් උඩ ගිහින් ඇති මෙච්චර හොඳට article ලියපු මේ අයියට මේ මොකද වුණේ කියලා. තවත් උන්ට හිතෙනවා ඇති අඩියක්වත් ගහන ගමන් මූ මේ article එක ලිව්වද කියලා. ඒ හැමෝටමයි මේ කියන්නෙ ඔන්න. මං මේක ලිව්වෙ හොඳ සිහියෙන්. අම්බපාලිගේ කතාවෙන් පස්සේ මං ලියපු පළවෙනි ම article එක තමයි මේ. එහෙනම් මෙන්න වැන්දා. ඉන්න තැනක හොඳින් ඉඳපන්.