ශාස්ත්‍රාල ජයවර්ධනපුර ගැටුම හෙට

ශාස්ත්‍රාල ජයවර්ධනපුර ගැටුම හෙට

මේ උදාවෙලා තියෙන්නේ බිග් මැච් සමයයි. හැම පාසලක ම වගේ ක්‍රිකට් තරු, ක්‍රිකට් ලෝලීන් බිග් මැච් වෙනුවෙන් ලකලෑස්ති වෙන වෙලාවෙ ඔන්න “ජයවර්ධනපුර සටන” පැවැත්වෙන තුරු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේත් ආනන්ද ශාස්ත්‍රාලයේත් ක්‍රිකට් රසිකයින් සියලු දෙනා ඉන්නෙ ඇඟිලි ගැන ගැන.

මෙවර 21 වන වරටත් “ජයවර්ධනපුර සටන” ආනන්ද ශාස්ත්‍රාලයත් ශාන්ත ජෝන් විද්‍යාලයත් එක්ව පවත්වන්නේ මාර්තු 17,18 දිනවල කිරුළපන පොලිස් ක්‍රීඩාංගනයේ දී.

ශාන්ත ජෝන් විද්‍යාලයේ ක්‍රිකට් ටීම් එකේ නායකයා විදිහට දක්ෂකම්වලින් පරිපූර්ණ අතීෂ් මලින්ද සෙල්ලම් කරනකොට ආනන්ද ශාස්ත්‍රාලයෙන් ක්‍රිකට් කැප්ටන් විදිහට සෙල්ලම් කරන්නෙ බිම්සර අවිනාශ්. ඔහු තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දක්ෂතා ඇති කීඩකයෙක්.

ශාන්ත ජොන් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රුක්මල් පෙරේරා ඇතුළු සාමාජිකයන් සුබපැතුම් එක් කරද්දී ආනන්ද ශාස්ත්‍රාලයේ බිග් මැච් සංවිධානයට අතහිත දෙන පාසල් ආදි ක්‍රිකට් කමිටුව ද දෙවිදුහල් මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් සුබපැතුම් එක්කරයි.

මේ විදුහල් දෙක එක්ව මේ තාක් පැවැත් වූ ක්‍රිකට් තරග 20 ඇතුළත ආනන්ද ශාස්ත්‍රාලය තරග 2ක් ජයග්‍රණය කරලා තියෙනවා. ඉතිරි තරග 18ක් ම අවසාන වෙලා තියෙන්නෙ ජය පරාජයෙන් තොරව.

මේ ජයවර්ධන පුර සටන පවත්වන්නේ විදුහල් දෙකෙහි සහෝදරත්වය වර්ධනය කිරීමේ අදහසින්.

අති දක්ෂ ක්‍රිකට් තරු රැසක් එක ම කුසලානයක් වෙනුවෙන් කරට කර තරග වදින ඒ තරගකාරී දෙදින මතක සැමරුම් ගොන්නක් සමඟින් පාසල් ක්‍රිකට් ඉතිහාසයට නිසැකවම එක් වේවි.